දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය ආයතනවල භාවිතයට ඩබල් කැබ් රථ ආනයනය කිරීමේ සූදානමක් ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනතාවට සේවය කිරීමට තමන්ට එවැනි වාහන කිසිවක් අවශ්‍ය නැතැයි කියමින් බලයට පැමිණි වත්මන් රජය මෙබඳු තීරණයකට යාම ගැන විපක්ෂ දේශපාලනඥයෝ මෙන්ම ජනතාව රජයට ඍජු චෝදනා එල්ල කරති.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු, එතෙක් මන්ත්‍රීවරුන්ට රේගු බදු නොමැතිව වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අත්හිටුවනු ලැබීය.
තත්ත්වය එසේ තිබියදී රජය ඩබල් කැබ් ආනයනයට සූදානම් වන්නේ, රජය බදු රහිත බලපත්‍ර අත්හිටුවීමට ගෙන තිබූ තීරණය නැවත අවලංගු කරන නිසාදැයි කළ විමසුමකට පිළිතුරු වශයෙන්, පාර්ලිමේන්තු කටයුතු හා රාජ්‍ය ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ ආයතනවලට ඩබල් කැබ් රථ ගෙන ඒමට රජය සලකා බලමින් සිටින බවය.
‘මෙවැනි අදහසක් දැනට අපට තිබෙනවා. එය සිදු කෙරෙන්නේ කවදාද යන්න තාම තීරණය කර නැහැ. නමුත් මේ වසරේදී හෝ ලබන වසරේදී එය සිදුවේවිදැයි අප බලාසිටිනවා’ යැයිද ඇමැතිවරයා කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










