අනුරව විනාශ කළේ කවුද?
මේ කියන්නේ අනුර කුමාර දිසානායක ගැන නොවේ. බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වූ අනුර බණ්ඩාරනායක ගැනය. අනුරව විනාශ කළේ වෙන කවුරුවත් නොව ඕල්ඩ් ෆොක්ස් නොහොත් නාකි නරියා, එහෙමත් නැත්නම් කපටි නරියා ලෙස විරුදාවලිය ලත් ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්. අනුරට බැල්ම හෙලුවේ ජේ.ආර්. විපක්ෂ නායක කාලයේමය. මේ, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය ඒ ගැන කියන කතාවය.Sri Lanka Latest News
‘හැඳින්වුණු පරිදි ‘ජනවේගය’ කල්ලියේ කටයුතුද එදින රැස්වීමේදී විවේචනයට භාජන විය. ශ්රීලනිපය ගොඩනැංවීමට පදනම් වූ ප්‍රතිපත්තිවලට මූලික වශයෙන් එරෙහිව, ඔවුන්ගේ කටයුතු මෙහෙයවනු ලබන්නේ යැයි චෝදනා එල්ල විය. කල් නොදාදීම ‘සිංහලේ’ නව ජීවනයක් ලැබූ අතර, පොදුවේ වමටත්, විශේෂයෙන් ‘ජනවේගය’ කල්ලියටත් තියුණු ප්‍රහාර එල්ල කරන්නට විය.
බණ්ඩාරනායක පවුල ඇතුළත හටගෙන තිබුණු මේ කලබලකාරී තත්ත්වය තම දේශපාලන වාසිය සඳහා හරවා ගැනීමට බලාපොරොත්තු රහිත ලෙස උදාවූ අවස්ථාවක් හැටියට ජේ.ආර්. දුටුවේය. අනුර බණ්ඩාරනායකගේ සහෝදරියන්ගේත්, මස්සිනාගේත් දේශපාලන අපේක්ෂාවන් සම්බන්ධයෙන් තමා තුළ ඇතිවී තිබුණු සැකයම, අනුර බණ්ඩාරනායක තුළත් ඇතිවී තිබෙනු දැකීමත්, ඔවුන්ගේ වාමාංශික අදහස්වලට ඔහු දැක්වූ විරෝධයත්, ජේ.ආර්.ගේ අමන්දානන්දයට හේතු විය. ජූලි මුල හරියේදී ජේ.ආර්. තම මස්සිනා වූ උපාලි විජේවර්ධනගේ නිවසේදී අනුර බණ්ඩාරනායක හමුවිය. අතිශයින් ක්‍රියාකාරී ධනවත් ව්‍යාපාරිකයකු වූ උපාලි විජේවර්ධන විවාහ වී සිටියේ අනුරගේ නෑනා කෙනකු වූ සීවලී රත්වත්තේගේ දියණිය සමගය. සීවලී රත්වත්තේ, බණ්ඩාරනායක මහත්මියගේ සහෝදරයෙකි. අනුර මේ හමුවීම අපේක්ෂා කළ බව ජේ.ආර්. මතකයට නැඟුවේය. සීවලී රත්වත්තේද මේ අවස්ථාවට සහභාගී විය.’
දිවයිනේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට එරෙහිව මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් තිබුණු බවට චෝදනා කරමින් මාර්තු 06 වැනිදා ජේ.ආර්. කළ කතාව මේ සාකච්ඡාවේදී අවධානයට යොමුවිය. පාර්ලිමේන්තුවේ ආගන්තුකයන්ගේ ගැලරියේ සිට ජේ.ආර්.ගේ කතාවට ඕනෑකමින් සවන් දුන් තැනැත්තකු වූ අනුර, එදා ජේ.ආර්. කී බොහෝ දේ ඇත්ත බව කීවේය. රජය පෙරළීමට රජය තුළින්ම ඇත්ත වශයෙන් කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව අනුර මෙන්ම එදින සාකච්ඡාවට සහභාගි වූ සෙසු අයද පැවැසූහ. මෙය වැළැක්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නයද මතුවිය. සිදුවන්නට යන අන්තරාය ගැන මහජනයාට අනතුරු ඇඟවීමටත්, ඔවුන් අවදියෙන් තැබීමටත්, තමාට සහ විපක්ෂයට කළ හැකි බවත්, එහෙත් යුද හමුදාවට ඇඟිලි ගැසීමක් හැටියට තේරුම්ගත හැකි කිසිවක් තමන් නොකරන බවත් ජේ.ආර්. ප්‍රතිචාර දක්වමින් කියා ඇත. පාර්ලිමේන්තුවට ඇතුළු වී අමාත්‍ය තනතුරකට පත්වීමෙන් කුමන්ත්රණකරුවන් දුර්මුඛ කළ හැකි වනු ඇතැයි ජේ.ආර්., අනුර බණ්ඩාරනායකට අවවාද කර ඇත. මෙය සිත් ඇදගන්නාසුලු යෝජනාවක් බව තරුණ බණ්ඩාරනායකට පෙනී ගියේය. ස්වකීය පියාගේ සමකාලීන දේශපාලනඥයකු මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සගයකුද වශයෙන් සිටි ජේ.ආර්.ගෙන් එවැනි උපදේශයක් ලැබුණද ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ මඟක් ඔහුට නොපෙනිණි. ජේ.ආර්. එක් මඟක් තිබෙන බව පෙන්නා දුන්නේය. ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වන ලෙස දන්වා, එසේ පුරප්පාඩු වන ආසනයට අතුරු මැතිවරණයකින් තේරීපත් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු එසේ කරන්නේ නම් ඔහුට නිතරගයෙන් එම අසුන ජයගැනීමට එජාපය අවකාශ සලසන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. එහෙත් රෝගාතුරව සිටි ගම්පහ මන්ත්‍රීවරයා එසේ ඉල්ලා අස්වීමට ඉඩ ඇති එකම තැනැත්තා හැටියට සලකනු ලැබුවද, අනුර බණ්ඩාරනායකට ඉඩ සැලැසීමට ඔහු එකඟ වූයේ නැත.
ජේ.ආර්. සහ අනුර බණ්ඩාරනායක දෙපළ නොපෑහෙන ජෝඩුවක් වුවද රජය තුළ විද්‍යමාන වුණු වමට බර ගමන තර කිරීමට තිබුණු වුවමනාව නිසා ඔවුන් එසේ පෑහුණු නමුදු, දෙදෙනාට වෙන වෙනම වැඩපිළිවෙළවල් තිබිණි. ජේ.ආර්.ගේ වැඩපිළිවෙළ අපි දැනටමත් දනිමු. තරුණ බණ්ඩාරනායක ව්‍යවස්ථාදායකයට ඇතුළු වීමට දැඩි උනන්දුවක් දැක්වීය. 1936දී ප්‍රථම වතාවට ඩඩ්ලි සේනානායක ජාතික ව්‍යවස්ථාදායකයට ඇතුළු වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් විය. 24 වැනි වියේ සිටි තරුණ බණ්ඩාරනායක ඔහුට බාල වූයේ අවුරුද්දකින් පමණි. එහෙත් ඉදිරියේදී සිදුවූ දෙයින් ඉක්මනින්ම පැහැදිලි වුණු පරිදි ඔවුන්ගේ සාකච්ඡා ඵල දැරුවේ නැත. ශ්‍රීලනිපයේ කලාවැව මන්ත්‍රීවරයා මියයෑමෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට පැවැති අතුරු මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් අනුර බණ්ඩාරනායක ඉදිරිපත් කරනු ලැබුවහොත් එජාපය අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතු යැයි ජේ.ආර්. තීරණය කළේය…’
මැතිවරණයට ශ්‍රීලනිපයෙන් අනුරව දමන්න ජේ.ආර්. ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ජේ.ආර්. අනුරට කැව්ව ලණුව අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ගිල්ලේ නැත. ඒත් ජේ.ආර්. අනුරව අතහැරියේ නැත. 1977 මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු බණ්ඩාරනායක මැතිනියව නායකත්වයෙන් ඉවත් කොට අනුරට පක්ෂ නායකත්වය ගෙන ශ්‍රීලනිපයේ වාමවාදී ප්‍රතිපත්ති වෙනස් කරන්න යැයි ජේ.ආර්. අනුරට උපදෙස් දුන්නේය. ඒ ලණුවත් කාපු අනුර ශ්රීලනිපය වාමාංශික පක්ෂ සමග සන්ධානගත නොවිය යුතු බවත්, ශ්රීලනිපය 1977 අන්ත පරාජයක් ලැබුවේ වාමාංශික ප්‍රතිපත්ති කරේ තියාගෙන ගිය නිසා බවත් අනුර කීවේය. ජේ.ආර්. 1980 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේද අනුරට පක්ෂ නායකත්වයට එන්න පාර කපාගන්නටය. ඒත් මැතිනිය සහ ඇයගේ හයියට සිටි චන්ද්‍රිකා සහ විජය එයට ඉඩ දුන්නේ නැත. අනුර අවසානයේ 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැති ධුරය දරපු මෛත්‍රීපාල සේනානායක සමග පක්ෂය කඩාගෙන ගියේය. පක්ෂය කඩාගෙන ගියා පමණක් නොව මැතිනියට එරෙහිව උසාවිත් ගියේය. 1982 ජනාධිපතිවරණයේදී යළි මැතිනිය ළඟට ගිය අනුර, ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුව කොන්ත්රාත්කාරයෙක් යැයි කියමින් වක්‍රව ජේ.ආර්.ට දිනන්න උදව් කළේය. එලෙසම 1982 ජනමත විචාරණයේදීද ජේ.ආර්.ට යටින් උදව් කළේ විජය සහ චන්ද්‍රිකා කල්ලිය පාර්ලිමේන්තු ඇවිත් ශ්‍රීලනිපයේ බලය අල්ලයි කියන බයටය. 1983දී විපක්ෂ නායක අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වූ විට ජේ.ආර්.ගේ ආශීර්වාදයෙන් අනුර විපක්ෂ නායක ධුරයට පත්විය. ජේ.ආර්. සහ අනුරගේ මේ ඩීල් එක නිසා ශ්රීලනිපය අනුරව ඊළඟ නායකයා ලෙස පිළිගන්න මැළි විය. අනුර නිතරම ඇමෙරිකා යෑමත්, ඔහුට මෙරට බටහිර තානාපති කාර්යාල සමග තිබූ සම්බන්ධයත් ශ්‍රීලනිපයේ නොසතුටට හේතු විය. අනුර හැම අවස්ථාවකදීම 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට පහර ගැසීමත්, ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරන අතරතුර එහි හොඳ තැන් දැකීමත් ශ්රීලනිපය ඉවසුවේ නැත. ශ්රීලනිපය තුළ තමන්ට තැනක් නැති බව තේරුම් ගත් අනුර, අවසානයේ නතර වූයේ යූ.ඇන්.පී.යේය.
ඒ ජේ.ආර්.ගේ බෑණා රනිල්ට මේ අනුර නොහොත් ජවිපෙ අනුර කුමාර දිසානායක හමුවන්නේ 2008 අයවැයෙන් මහින්දගේ ආණ්ඩුව පෙරළන්න ජවිපෙ සමග සාකච්ඡා කරද්දීය. ඒ වෙනකොට ජවිපෙ සිටි ජාතිවාදී යුදවාදී ප්‍රතිපත්තිය අතහරින්න අනුරට උපදෙස් දෙන්නේ රනිල් සහ මංගලය. එහි ප්‍රතිඵලය යුදවාදී සහ ජාතිවාදී ප්රතිපත්තියක සිටි විමල් පක්ෂය කඩාගෙන මහින්ද ළඟට යෑමය. අනුර සහ රනිල් සබඳතාව කොයි තරම් ශක්තිමත් වෙනවාද කියනවා නම් 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් දමන්න යූ.ඇන්.පී.ය සමග එක්වන්න ජවිපෙ කැමැති විය. 2010 ජනාධිපතිවරණයෙන් ෆොන්සේකා පරාජය වීමෙන් පසු රනිල්ට ෆොන්සේකා වදයක් වන්නේ ෆොන්සේකා විපක්ෂ නායක ධුරයට ඉව අල්ලමින් සිටි නිසාය. 2010 මහ මැතිවරණයේදී ෆොන්සේකා යූ.ඇන්.පී.යෙන් ඡන්දෙ ඉල්ලන්න කැමැති වුවත් ෆොන්සේකාට විපක්ෂ නායක ධුරය දෙන්න වෙයි කියා බයේ රනිල් ෆොන්සේකාව ජවිපෙට තල්ලු කරන්නේ දැනුවත්වමය. අනුරලා හිරේ සිටි ෆොන්සේකාව කරගහගෙන ගොස් ආසන 7ක් ගත්තේය.
2010 මහ මැතිවරණයට පසු රනිල්ට එරෙහිව සජිත්ගේ කැරැල්ල පටන්ගත් වෙලාවේ අනුරලා ප්‍රසිද්ධියේ පහර දෙන්නේ සජිත්ටය. ඔවුන් වක්‍රව උදව් කරන්නේ රනිල්ටය. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරද්දී මංගල ජවිපෙ නායක අනුරගේ නම යෝජනා කරද්දී රනිල් එයට එරෙහි නොවන්නේ යූ.ඇන්.පී.යෙන් සජිත් හෝ කරු නැතුව වෙන ඕනෑම පිට පක්ෂයක අපේක්ෂකයකුට රනිල් එකඟ වන ප්රතිපත්තියක සිටි නිසාය. 2015 ජනාධිපතිවරණයේදී ජවිපෙන් අපේක්ෂකයකු නොදමා මහින්දට පහර ගහන, වක්‍රව මෛත්‍රිපාලව දිනවන වැඩේ අනුර බාරගත්තේ රනිල් සමග එකඟතාවකින්ය. ජනාධිපතිවරණය දින්නාට පසු අනුරව දූෂණ විරෝධී කමිටුවට පත්කරන්නේත් රනිල්ය. 2015 මහින්දව පරද්දන්න අපේක්ෂකයකු නොදමන්න ජවිපෙ එකඟ කරගන්නා අනුර, 2019 සජිත්ට එරෙහි සටනට එන්නේ රනිල්, සජිත් පරද්දන්න වැඩකරන බව දැන දැනමය.
2020 මහ ඡන්දයෙන් රනිල් පරාජය වී යූ.ඇන්.පී.ය නැත්තට නැතිවීමෙන් පසු රනිල් ජාතික ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තු ආ යුතු යැයි කියන්නේ ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්තිය. සජිත් විපක්ෂ නායක වැඩේ කරන්න දන්නේ නැහැ කියන්නේ අනුරය. රනිල් යළි පාර්ලිමේන්තු පැමිණීමෙන් පසු තමන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නේ නැහැ යැයි කියා රනිල් සහ අනුර සජිත්ට එරෙහිව කඳවුරු ගසයි. අරගලයට පසු ගෝඨා රටින් පැනගොස් පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරද්දී අනුරලා 1990 දශකයේ මුල ජවිපෙ සමග එකට වැඩ කළ ඩලස්ට ඡන්දය නොදී ඡන්දය කුරුටු ගාන්නේ රනිල්ට ජනාධිපති වීමට ඉඩ හරිමිනි.
‘ජේ.ආර්. – අනුර නොහොත් මාමා – අනුර ඩීල් එකේදී ජේ.ආර්. අනුරව පාවිච්චි කොට අවසානයේ විපක්ෂ නායකකම දුන්නේය.’
‘ඒත් රනිල්-අනුර නොහොත් බෑණා – අනුර ඩීල් එකෙන් අනුරට ලැබී ඇත්තේ මොනවාද?’
දේශපාලන වශයෙන් නම් අනුරට හිමිවූ දෙයක් නැත. ඒ ඩීල් එක නිසා අනුර රතු අලි පැටියා කියා නමක් හදාගත්තේය. රනිල් ජනාධිපති වූවාට පසු රනිල් අනුර පාවිච්චි කොට ජවිපෙන් හොඳට ප්‍රයෝජන ගත්තේය.
රනිල් ජනාධිපති වීමෙන් පසු මේ වසර දෙකට ජවිපෙ රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව කොළඹ විරෝධතා දියත් කර ඇත්තේ දෙකතුනක් පමණි. ඡන්ද කල්දැමීමට එරෙහි විරෝධතාව එක් විරෝධතාවකින් නතර විය.
මහින්දලාගේ කාලයේ වැඩවර්ජන පිට වැඩ වර්ජන දියත් කළ ජවිපෙ, රනිල් ජනාධිපති වූ පසු එවැනි දැවැන්ත වැඩවර්ජනයක් දියත් කොට නැත.
ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව මුළු පාර්ලිමේන්තුවම එකට එක්වෙද්දී ජවිපෙ කරඇරියේය.
පොලිස්පති දේශබන්දු පත්කිරීමට එරෙහිව ජවිපෙ සටන් කළේ නැත.
රනිල් විනිසුරුවන් පත්කරද්දී ඊට එරෙහිව ව්‍යවස්ථාදායක සභාව සටන් කරද්දී ජවිපෙ ඒ ගැන වචනයක් කීවේ නැත.
නීතිපතිට සේවා දිගුවක් ලබා දෙද්දී ඊට එරෙහිව ව්‍යවස්ථාදායක සභාව සටන් කරද්දී ජවිපෙ ව්‍යවස්ථාදායක සභාවට හයියක් දුන්නේ නැත.
ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගෙන එද්දී ජවිපෙ ඒ විශ්වාසභංග යෝජනා මඟහැරියේය.
සජිත්-අනුර විවාදය සජිත්ගේ එකඟතාවකින් තොරව රනිල්ගේ අයි.ටී.එන්. මාධ්‍ය බාරගැනීම අනුර-රනිල් ඩීල් එකේ බළලා මල්ලෙන් එළියට පැන්න වෙලාවය. 2019 ජනාධිපතිවරණයේදී සජිත්, ගෝඨාට විවාදයට අභියෝග කළේය. ගෝඨා ආවේ නැත. සජිත් ටීවී එකට දුවලා ගිහින් හිස් පුටුවක් තියලා ගෝඨා ආවේ නැහැ කියා ටෙලිනාට්‍ය රඟපාන්න ගියේ නැත. ගෝඨා එන්නේ නැති නිසා ඒ බව ජනතාවට කියා නිහඬ විය. අනෙක සජිත්ට හිස් පුටු තියාගෙන තනියම විවාද කරන්න ටීවී ඉඩ දෙන්නේ නැත. හේතුව මාධ්‍ය ආයතනවල සදාචාරයක් තිබේ. මාධ්‍ය ආයතන විවාද සංවිධාන කරන්නේ දෙපාර්ශ්වයේ එකඟත්වයෙනි. ස්වාධීන රූපවාහිනියට එවැනි සදාචාරයක් නැත. ඒ චැනලය ආණ්ඩුවේ කුණු හෝදන චැනලයකි. ඒ චැනලයේ හතුරා සජිත්ය. ඒ රනිල් සහ රාජපක්ෂලාගේ හතුරා සජිත් නිසාය. ‘බිය නොවන්න ජනාධිපතිතුමනි, සජිත් නසන හැටි මම පෙන්වමි’ කියා රනිල් සජිත්ට ගහන්න අනුරට අයි.ටී.එන්. එක දෙද්දී පැනලා බාරගත්තේය.
අනුර බණ්ඩාරනායක ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස් කළා සේ අනුර ජවිපෙ ප්‍රතිපත්ති වෙනස් කොට ඇත. දැන් ජවිපෙ ඉන්දීය විරෝධය නැත. ඇමෙරිකානු අධිරාජ්‍ය විරෝධය නැත. අයි.එම්.එෆ්. විරෝධය නැත. රාජ්‍ය ආයතන විකුණන විරෝධය නැත.
ඒ අනුරව ලිබරල් කළේ ජේ.ආර්.ය. මේ අනුරව ලිබරල් කළේ රනිල්ය. රනිල් තම නායකත්ව ප්‍රතිරූපය හදාගත්තේ එක්කෝ ඉන්දියාවට නැතිනම් බටහිර රටවලට ගොස් ඉන්දියාවේ හෝ බටහිර රටවල තානාපතිවරු හමුවීමෙන්ය. අයි.එම්.එෆ්. රනිල්ට පේන්නේ දෙවියෙක් වගේය. දැන් අනුරත් යන්නේ රනිල්ගේ අඩිපාරේමය. රනිල්ගේ වැල් පාලමේ යන්න වෙනවා යැයි අනුරම කිව්වේ නිකම් නොවේ.
‘ජේ.ආර්.ගෙන් උපදෙස් ගත්ත අනුරට වෙච්ච දේ රනිල්ගෙන් උපදෙස් ගන්න මේ අනුරටත් වෙයිද…?’
තවම ඒ ගැන කියන්න කල් වැඩිය.