මචං දස්සා…
උඹලට පින්… අපි හිටියෙ නන්නත්තාර වෙලා. තෙල් පෝලිම්වල ඉඳලා මොබයිල් ෆෝන් එකෙන් මැච් එක බලපු මිනිස්සු පෝලිම් දෙවනත් වෙන්න කෑගැහුවා. තෙල් ඉවර වෙලා ගෙදර යන්න විදියක් නැතුව ෂෙට් එක පල්ලමේ බිම ඉඳගෙන මැච් එක බල බල හිටපු එවුන් හුරේ දැම්මා. ගෑස් පෝලිමේ ගෑස් නැතුව හිටපු මිනිස්සුන්ගේ හිත් පිරිලා ඉතිරිලා ගියා දස්සා. ඒ උඹලා හින්දා. ලංකාවෙ හිටියෙ නන්නත්තාර වෙලා. අපිට එල්ලෙන්න වැලක් තිබුණෙ නෑ. අපිට කියන්න කෙනෙක් හිටියෙ නෑ. අපිට බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. අපි මුළු ලෝකෙන්ම අතපල්ලට වැටිලා හිටියෙ. පිටරටවල ඉන්න මිනිස්සුන්ගෙන් නිකන් අහලා බලපන්. උන් කියන්නේ අපිට දැන් ලංකාවෙ කියන්නත් ලැජ්ජයි කියලා. සමහර එවුන් කියනවා අපි කියන්නේ ඉස්සර බංගලිදේසේ එවුන්ට ‘බංගලියො’ කියලා හිනාවෙච්ච එවුන් දැන් ලංකාවට හිනාවෙනවා. ඒ තරමටම අපි මේ ලෝකෙ ඉස්සර වෙලා අසරණ වෙලයි හිටියෙ. අපි අසරණ වුණේ නෑ, අපිව අසරණ කළා. අපිව නැති නාස්ති කරලා විනාශ කරලා දැම්මා. උන් උන්ගෙ බඩ වඩාගන්න අපේ තිබිච්ච තුට්ටු දෙක හූරගෙන කෑවා දස්සා. දැන් අපට සල්ලි නෑ. අපිට තෙල් ටිකක් ගහගන්න විදියක් නෑ. පෝලිම් විතරක් නෙවෙයි දස්සා ප්‍රශ්නෙ. අපිට දැන් පෝලිමේ හිටියත් තෙල් ගහගන්න සල්ලි නෑ.
උඹලට ආරංචිද දන්නෙ නෑ, ලංකාවෙ හාල් කිලෝ එක රුපියල් 300 පනින්න ඔන්න මෙන්නයි තියෙන්නේ. ලංකාවෙ බාගෙට බාගයක් එවුන් ඉන්නේ බඩගින්නේ. පාන් ගෙඩියක් අරගෙන හොදි ටිකක් හදාගෙන කන්න බැරි තරමට අපි නන්නත්තාර වෙලා ඉවරයි. පරිප්පු කිලෝව රුපියල් 500 පැනලා. පාන් ගෙඩිය රුපියල් 180යි. එළවළු ටිකක් සල්ලිවලට ගන්න විදියක් නෑ. ගෙදර මොනව හරි දේකට තියෙන විදුලි උපකරණයක් කැඩුණොත් ඒක ආයෙ හදාගන්න විදියක් නෑ. වොෂින් මැෂින්, ෆ්‍රිජ් ඔක්කොම දැන් ලක්ෂෙ පැනලා. මිනිස්සුන්ගෙ ජීවිත උඩුයටිකුරු වෙලා ගිහිල්ලයි තියෙන්නේ. මිනිස්සු හිටියෙ අඬන්න බලාගෙන. ඒත් අඬන්න බලාගෙන හිටපු මිනිස්සුන්ට එක රැයක් ගතවෙලා තව දවසක් උදාවෙනකොට හිනාවෙන්න බලාපොරොත්තුවක් අරන් උඹලා ආවා. ඒක පටන් ගත්තේ ටී ටුවෙන්ටිය දිනුවට පස්සේ. ඇල් මැරිච්ච ඕලාරික ක්‍රිකට් තරග අස්සේ උඹ පිට්ටනියට ඇවිල්ලා යකෙක් වගේ ලකුණු පනස් ගානක් ගහලා ඔස්ටේ්‍රලියාවට පාඩමක් ඉගැන්නුවා. මතක තියාගනින් දස්සා අපි ඉස්සර වගේ දැන් ඔස්ටේ්‍රලියාවත් එක්ක තරහ නෑ. ඉස්සර අපිට ග්‍රිල් ක්‍රිස්ට්ව පෙන්නන්න බෑ. ඒත් දැන් අපි වෝන්ට ආදරෙයි, ස්ටාර්ක්ට ආදරෙයි, ස්මිත්ට ආදරෙයි. ඒ ආදරේ හදාගත්ත එවුන් දැන් නන්නත්තාර දේසේ කන්න බොන්න නැති මිනිස්සුන්ගෙ දේසේ උද්ධමනය අතින් ලෝකෙ දෙවැනි තැනට වැටිච්ච පල්ලෙහාටම වැටිච්ච පට්ට අසරණ දේසෙට කැංගරුවො ආවා. ඒකයි අපි උන්ට ආදරේ. අපේ රටේ පැය ගණන් කරන්ට් එක කපනවා කියලා දැන දැනත් අපේ රටේ මිනිස්සුන්ට කන්න නෑ කියලා දැන දැනත්, අපේ රටේ මිනිස්සුන්ට තෙල් නැති බව දැන දැනත් උන් අපේ රටට ආවා. එහෙම ආපු එවුන්ට ගහලා, තලලා, රිදවලා කප් එක අරගෙන ඕයේ ඔජායේ කියන්න නෙවෙයි අපි මේ හදන්නේ. ඒත් බලාපොරොත්තුවක් නැතුව නන්නත්තාර වෙලා හිටපු අපිට ජාතිය ආගම කුලය සියල්ලම අමතක කරලා දාලා පාට පක්ෂ භේද අමතක කරලා දාලා එක විදියකට එක පොදියට තුරුළු වෙලා එකට කෑගහලා හුරේ දාන්න අවස්ථාවක් දුන්නට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හැම එකාටම, දස්සා උඹටයි උඹේ ටීම් එකටයි ජාති ජාතිත් පළ දෙන කුසල කර්මයක් වෙයි. උඹලගෙ ආගම අනුව උඹලා හිතපල්ලා. මේ නන්නත්තාර වෙච්ච මිනිස්සුන්ගෙ ඇස්වල තිබුණු කඳුළු පිහලා උන්ට කෑගහලා සතුට සමරන්න පුළුවන් එක රැයක් හරි දුන්න එක ලොකු දෙයක්.
ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් කාලා තිබුණේ. ඒ කෑවෙ කොයි එකාද කියලා නම්ගම් ඇතුව කියන්න ඕනෙ නෑ. ලංකාවෙ ක්‍රිකට් දේශපාලනීකරණය කරලා දේශපාලකයන්ට ඕනෙ විදියට ක්‍රිකට් ටීම් එක හසුරුවලා, ක්‍රිකට් ගැන හාංකවිසියක්වත් දන්නෙ නැති රේස් ඔට්ටුකාරයො ක්‍රිකට්වලට ඇවිල්ලා අපේ ක්‍රිකට් වික්කා. අපේ ක්‍රිකට් කෑවා. ක්‍රිකට් කන එක දිහා බලාගෙන ක්‍රිකට්වල මහ ලොකු කෙරුම්කාරයො කියපු එවුන් ලෝකෙ අනෙක් රටවලට ක්‍රිකට්වලට බණ දේශනා කරද්දී උන් අපේ රටේ එවුන්ට ක්‍රිකට්වලට උදව් කළේ නෑ. නිකන් බොරුවට කමිටුවලට පත්වෙලා අරකයි මේකයි කියලා දේශපාලකයො උඩ තියපු ලෝක පූජිත ක්‍රීඩකයන්ට වඩා මට නම් උඹලා වටිනවා. එහෙම වටින්න හේතුව ක්‍රිකට් කියන්නේ අපේ ලේවල තියෙන එකක් නිසා. උඹලා හම්බකරන එක ඇත්ත. සල්ලි ලැබෙන එක ඇත්ත. උඹලා ලෝකෙට ගියාට පස්සේ උඹලා දැන් ඉන්නේ සුරංගනා ලෝකවල බවත් ඇත්ත. ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ. අපි කවදාවත් උඹලගෙන් සල්ලි ඉල්ලුවෙ නෑ. උඹලට පුළුවන් නම් අපිට උදව් කරන එක ලොකු දෙයක්.
දිමුත් ඇතුළු ටීම් එක එකතු වෙලා අපේ රටේ ප්‍රශ්න විසඳන්න අපිට සල්ලි ගොඩක් දුන්නා කියලා එහෙන් මෙහෙන් ආරංචි වුණා. ඒක නෙවෙයි දස්සා උඹලා අපට දුන්නු ලොකුම තෑග්ග. ඇත්තටම මේ රටේ එවුන්ට කන්න නැතුව ඉන්නකොට, මේ රටේ දහ දෙනකුට හරි කන්න දෙන්න උඹලට පුළුවන් නම් ඒක පිනක්. ඒක එහෙම නෙවෙයි කියලා කියනවා නෙවෙයි. ඒත් මේ මොහොතේ අපි කියන්නේ ක්‍රිකට් දේශපාලනීකරණය කරගෙන දේශපාලනයෙන් ක්‍රිකට්වලින් ගොඩ යන්න හදලා, ජාතික ලැයිස්තුවට නම් දාගෙන, අයියට මල්ලිට ටිකට් එක අරගෙන දීලා, මහින්දට කඩේ ගිහිල්ලා, දේශපාලකයන්ගෙ යටි පතුල් ලෙවකාලා අන්තිම මොහොතේ දේශපාලකයන්ට උම්මා දෙන එවුන්ට වඩා අපිට වටින්නේ අපි වෙනුවෙන් ක්‍රිකට් ගහන එවුන්. උඹලගෙ දාඩිය සුවඳට අපි ආදරෙයි. උඹලට වේදනාවක් දැනෙනවට අපි බයයි. මැච් එකක් අස්සේ උඹලගෙ අසරණ මූණු දකිද්දි අපිට රිදෙනවා. මේ ලෝකෙ හොඳම ක්‍රිකට් ප්‍රේක්ෂකයො ඉන්න රටක් ලංකාව කියන්නේ. උඹලා නන්නත්තාර වෙන්න පරදිනකොට අපි කවදාවත් උඹලගෙ ගෙවල්වලට ගල් ගහන්න ගියෙ නෑ. මේ රටේ ක්‍රිකට් විකුණනකොට අපේ රටේ මිනිස්සුන්ට තනියම අඬනවා හැරෙන්න ගිනි පන්දම් අරගෙන පොලු අරගෙන සටන් පාඨ අරගෙන පාරට බහින්න හිතුණෙ නෑ. උඹලා පැරදිලා ලංකාවට ආවත් අපි උඹලට අත්පුඩි ගැහුවා. උඹලා නන්නත්තාර වෙනකොට අපි උඹලත් එක්ක හිටියා. ලංකාවෙ ක්‍රිකට් පහතටම වැටිලා තියෙද්දී මීගමුවෙන් ආපු කොල්ලෙකුට ක්‍රිකට් ටීම් එකේ නායකකම ලැබීමත් ආශ්චර්යයක්. ලංකාවෙ ක්‍රිකට් එක එකාට ඕනෙ විදියට පාලනය වෙච්ච කාලෙ දැන් ගතවෙලා ගිහිල්ලා. දැන් උඹලා ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් බවට පත්කර ගත්තා. ක්‍රිකට් කියන ඒ ක්‍රීඩාවෙන් රට දිනවන්න උඹලට පුළුවන් වුණා. සමහර අය හිතාගෙන ඉන්නේ ක්‍රිකට් කියන්නේ සෙල්ලමක් කියලා. තමන්ට අවශ්‍ය සභාපතිවරු දාගෙන, ක්‍රිකට්වලට තමන්ගෙ ටීම් එකේ එක එකාව රිංගවාගෙන, දේශපාලකයන්ට ආතල් දෙන ක්‍රිකට් ටීම් එකක් වෙනුවට මිනිස්සුන්ගෙ සිත් සතුටින් පුරවන ක්‍රිකට් ටීම් එකක් අපට ලැබිලා තියෙනවා. කන්න නැති දේශයක මිනිස්සුන්ට මේ සතුට දුන්නට උඹලට පින්. ආයෙත් කියන්නේ ඒකයි. දාඩිය මහන්සියෙන් ක්‍රිකට් ගහපල්ලා. අපි වෙනුවෙන් ක්‍රිකට් ගහපල්ලා. අපි උඹලා වෙනුවෙන් අත්පුඩි ගහනවා. කන්න නැතත්, බොන්න නැතත් උඹලා වෙනුවෙන් බලාගෙන ඉන්න අහිංසක මිනිස්සු මිලියන 20ක් ලංකාවෙ ඉන්නවා කියන එක නිතරම හිතට ගනිල්ලා. ඒ අම්මලගෙ තාත්තලගෙ කඳුළු බින්දුවලට දියමන්ති කැට වගේ දිළිසෙන්න පුළුවන් වෙන්නේ අන්තිම මොහොතේ උඹලා පිට්ටනිය මැද්දට ඇවිත් හූ කියනකොට කෑගහනකොට චියර් කරනකොට. උඹලා අන්ත අසරණ වෙලා කරබාගෙන ගෙදර යන දිහා බලාගෙන අපිට සතුටෙන් නිදාගන්න බෑ දස්සා. ඒ නිසා උඹලගෙ සතුට තමයි අපෙත් සතුට. කෑගහපල්ලා හයියෙන්. අපි ඉන්නවා උඹලත් එක්ක. උඹලා අපේ, අපි උඹලගෙ. මේ රට උඹලගේ. අපි ඔක්කොම එකතු වෙලා කවදා හරි දවසක මේ රට බේරගනිමු දස්සා. එතෙක් සුබ ගමන් දස්සා. ඊළඟ මැච් එකත් හොඳට කරපන්. ඊළඟ ටුවර් එකත් හොඳ කරපන්. පුළුවන් නම් ළඟ එන ඒෂින් කප් එක ගනින්. පුළුවන් නම් ලෝක කුසලානය ගෙනල්ලා මේ කන්න නැති මිනිස්සුන්ගේ ඇස් ඉස්සරහා තියලා මිනිස්සුන්ගෙ හිත පුරවපල්ලා. හාල් පෝලිම්, තෙල් පෝලිම් නැති කරන්න උඹලට බැරි වුණාට, ගෑස් ටික දෙන්න බැරි වුණාට, කිරිපිටි ටික ගෙනැල්ලා දෙන්න බැරි වුණාට, මේ කන්න බොන්න නැති මිනිස්සුන්ට සතුට දෙන්න උඹලට පුළුවන්. ඒ නිසා උඹලට පින් දස්සා.
ජය වේවා….

ජීවන පහන් තිළිණ









