ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩනගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, ශක්තිමත් විධායක බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැගීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බව ද පැවසීය.
අද වන විට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද මීට පැය කිහිපයකට පෙරතුව ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන ගොස් ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වතුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී අද (08) පැවැති ජාතික ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කර සිටියේය.









