1965 තරම් ඈත අතීතයේ ශ්‍රී ලංකාවට ආසියානු රටක නායකයකු පැමිණියේය. ශ්‍රී ලංකාවේ අගනගරය කොළඹ දුටු ඔහුට එක් අහිංසක බලාපොරොත්තුවක් සිතට නැඟුණි. ඒ, ඔහුගේ රට කවදා හෝ කොළඹ නගරය තරමට දියුණු කරගැනීමය. ඔහු ලී ක්වාන් යූය. සිංගප්පූරුව නම් විශ්ව පාරාදීසය ගොඩනංවන්නට යන ගමනේදී ඔහුට තිබුණු එකම ඉලක්කය සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ තත්ත්වයට ගෙන ඒමය. එදා සිංගප්පූරුවට ලෝකය දිනන්නට ඉලක්ක සැපයූ ශ්‍රී ලංකාවේද 1977 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණේය. ඒ මෑතිවරණයේ ප්‍රබලතම අපේක්ෂකයා වූයේ ජේ.අර්. ජයවර්ධනය. ඔහු මහත් ගාම්භීරතා ප්‍රමුඛව මැතිවරණ සටනේදී ‘ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට මට ඡන්දය දෙන්න’ යයි කීවේය.
එදා 1977 දී ජේ.ආර්.ගේ ඉල්ලීම පිළිගත් ශ්‍රී ලංකිකයෝ ඔහුට අති දැවැන්ත මැතිවරණ ජයක් ලබාදුන්ණෝය. සංඛ්‍යාත්මකව 6/5ක් වූ එකී බලය සමග ජේ.ආර්. ලංකාව සිංගප්පූරුවක් කරන්නට පටන් ගත්තේය. එකී උත්සාහයට දැන් වසර හතළිස් පහක්ම ගෙවී ඇත්තේය. ජේ.ආර්.ගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ආර්. ප්‍රේමදාසද, අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ අවසන ගෝඨාභය රාජපක්ෂ යන විධායක ජනධිපතිවරුන්ද ජේ.අර්.ගේ සිංගප්පූරු සිහිනය වෙනුවෙන් වෙහෙසුණෝය. අද ශ්‍රී ලාංකිකයෝ එකී සිංගප්පූරු සිහිනයෙන් පිබිදී සිටින්නෝය. දෑස් පොඩිකර නිදිගැට හැරපියා බලද්දී ඔවුන් පිබිදී ඇත්තේ සිංගප්පූරුවේදී නොව ඉතියෝපියාවෙදී බව සක්සුදක් සේ පැහැදිලිය.
සිංගප්පූරුව දෙව්ලොව සේ පෙනෙන ලෝකයක ඉතියෝපියාව අපායක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. දිගුකල් පවතින නියඟය, ඒ නිසාම ඇතිවූ සාගතය, කාන්තාරකරණය, වගා හානි, මන්දපෝෂණය වැනි කරුණු නිසා පසුගිය දශක දෙකක කාලයක් පුරා ඉතියෝපියානු ජනතාව පත්වූයේ අන්ත දුක්ඛිත තත්ත්වයකටය. අද වන විට එකී දරිද්‍රතාව නිසා එරට සමාජ ක්‍රමය ගොඩගත නොහැකි තරමට විනශ වෙමින් පවතී. නූතන දේශාපාලනය විසින් එරට ආර්ථිකය යම් තරමකට ඔසවා තබා ඇති මුත් එහි සමාජ ජීවිතය යළි ගොඩගත නොහැකි මට්ටමට පුපුරා ගොසිණි. ළමා මන්දපෝෂණය, ගණිකා වෘත්තිය, බාලවයස්කාර ශ්‍රමිකයන්ගෙන් එරට අගනගරය වන අඩිස් ආබාබාහි වීදි පිරී ගොසිණි. ඒඩ්ස් වැනි ලිංගාශ්‍රිත රෝග ඉතියෝපියානු සමාජය ගිලගෙන අවසානය. වයස අවුරුදු පහළොවට අඩු අධ්‍යාපනය ලබන දැරියන්ගෙන් 60%කට ආසන්න ගණනක් අර්ධකාලීනව ගණිකා වෘත්තියේ යෙදෙන බව වාර්තාවේ. පසුගිය දශකය පුරා එරට ඒඩ්ස් නිසා සිදුවූ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියේය. බොහෝ තැන්වල ගණිකාවන්ගේ තැරැව්කරුවා පවුලේම සාමාජිකයෙකි. මව, පියා සහෝදරයා කියා එහි වෙනසක් නැත.
ලංකාව තවමත් ඒ තත්ත්වයට වැටී නැතැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් අප ගමන් කරමින් සිටිනුයේ එතැනට නොවේයැයි ඔබට පැවසිය නොහැක. කුමන ප්‍රශ්න තිබුණද ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සෞඛ්‍ය සංරක්ෂණය ඉතා ඉහළ මට්මක පැවැතියේය. මැලේරියාව, කොළරාව වැනි වසංගත රෝග මෙන්ම මන්දපෝෂණයද ප්‍රශස්ත මට්ටමින් ජය ගැනීමට අපට හැකිවූයේ ඒ නිසාය. දශක ගණනක කැපකිරීම් නිසා ලත් එකී ජයග්‍රණ සියල්ල පසුගිය මාස කිහිපයේ ආපසු හරවා අවසානය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනුයේ එම රෝහල මගින් කරන ලද සමීක්ෂණයකදී ළමුන්ගෙන් 20%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හඳුනාගත් බවය. එහෙත් මේ තත්ත්වය මීට වඩා බොහෝ සේ නරක අතට පත්ව ඇති බව දිවයිනේ විවිධ පළාත්වලින් ලබෙන සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කිරීම හරහා තහවුරු කරගත හැකිය. ග්‍රාමීය සහ වතුකරය ආශ්‍රිත දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ සේ පිරිහී ඇත. පොහොර තහනම නිසා කෘෂිකර්මයේ සිදුවූ බිඳවැටුම පැහැදිලි ලෙසම රටේ ජනතාවගේ බත්පත උදුරා ගන්නට සමත්ව ඇත්තේය. එය දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද පෝෂණ තත්ත්වය බිඳදමමින් සිටියි. දැන් වාර්තාවන පරිදි පෝෂණ තත්ත්වය බිඳවැටීම නිසා බරපතළ ගැටලුවලට මුහුණදෙමින් සිටින අනෙක් කාණ්ඩය වනුයේ ගැබිනි මවුවරුන්ය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බිඳවැටීම නිසා නිරක්තිය, ගබ්සා වීම්, අඩු බර සහ මළ දරු උපත් වාර්තා වීම ඉදිරි කාලයේදී ඉහළ යනු ඇත. විශේෂයෙන් දරුවන් එක් අයෙක් හෝ දෙදෙනෙක් සිටින පවුල්වල මෙම තත්ත්වය දැකිය හකි බව බිම් මට්ටමේ සෞඛ්‍ය සේවකයෝ පවසති.
මෙරට ගැබිනි මවුවරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සැපයූ ප්‍රධාන මාධ්‍ය වූයේ ත්‍රීපෝෂ බව රහසක් නොවේ. එහෙත් ආණ්ඩුවේ පොහොර තහනම මගින් බඩඉරිඟු වගාවට කළ හානිය නිසා මේ වන විට ත්‍රිපෝෂ නිෂ්පාදනය බිඳවැටී අවසානය. එහෙයින් ඉදිරියේදී ළමා සහ මාතෘ මන්දපෝෂණය ඉහළ යාම අනිවාර්ය වනු ඇත. කිරිපිටි, මාළු, පරිප්පු, කඩල, කරවල වැනි සාමාන්‍ය ජනයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් වැඩි කොටසක් සැපයූ ආහාර අද වන විට වෙළෙඳපොළේ අධික මිලකට අලවි වීමත් රටම මන්දපෝෂණ තත්ත්වයට ඇද දමන්නට හේතුවක් වී ඇත්තේය.
මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වළකාලූ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෞරවයට ලක්ව සිටි රටකි. ඊට හේතුව වූයේ පූර්ව ප්‍රසව සායන මට්ටමෙ සිට පවත්වාගෙන ආ ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී. පරීක්ෂාවන් සහ ඉහළ මට්ටමේ දැනුවත් කිරීම්ය. එහෙත් පසුගිය සතියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසූයේ පරීක්ෂණ කට්ටල හිඟය නිසා එච්.අයි.වී. සහ වී.ඩී.ආර්.එල්. පරීක්ෂණ අවම වී ඇති බවයි. මෙම තත්ත්වය ඉතා භයානක බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉතා සාර්ථකව පාලනය කර තිබූ මවගෙන් දරුවාට ඒඩ්ස් බෝවීම නැවත හිස එසවීමට පවතින තත්ත්වය හේතු වන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය පවසයි. ඊට අමතරව සෙසු ලිංගාශ්‍රිත රෝග පැතිර යාමටද පවතින මෙම තත්ත්වය හේතුවක් වනු ඇත.
අත්‍යාවශ්‍ය බෙහෙත් සහ වෙනත් යෙදවුම් විශාල ප්‍රමාණයක හිඟයක් රටේ පවතී. මීට දෙසතියකට පෙර සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් පළකරමින් වෛද්‍යවරයෙක් පවසා සිටියේ සිසේරියන් සැත්කම් මැසීමට අවශ්‍ය නූල් පවා හිඟ බවය. පසුගිය සති දෙක තුළ පමණක් සර්ප විෂට ලබාදෙන ඇන්ටි වෙනම් එන්නත නැති නිසා රජරට ප්‍රදේශයේ ජීවිත දෙකක් විනාශ වී ගියේය. දින දෙකක් සිය දරුවන්ගේ බඩගින්න නිවීමට ඇල්වතුර පමණක් ලබාදුන් තරුණ මවක් දිවි තොරගැනීමට කනේරු ඇට කෑ පුවත වාර්තා වූයේ පසුගිය සතියේය. වත්තලට නොදුරුව තරුණ මවක් සිය දරුවා කැලණි ගඟට වීසිකර තමාද ගඟට පැන දිවිනසා ගැනීමට යාමේදී ප්‍රදේශවාසීන් ඇය බේරාගෙන පොලිසියට භාරදුන් පුවතක් වාර්තා වූයේ පසුගිය 16 දා උදයේය.
පසුගිය වසරේ 01%ක් ලෙස වාර්තා වූ මෙරට ළමා ශ්‍රමිකයන් ගණන වේගයෙන් ඉහළ යමින් පවතින බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන්ම වතුකරයේ මෙම තත්ත්වය උග්‍රව දැකිය හැකිය. ළමා ශ්‍රමිකයන්ගෙන් 34%ක් කරනුයේ අනතුරුදායක රැකියාවන් වීමද මෙහිලා සැලකිය යුතු වේ. අද වන විට පාසල් දරුවන් අතරද මන්දපෝෂණය ඉහළ යමින් පවතින බවත්, ආහාරයේ ප්‍රමාණය මිස එහි ඇති පෝෂණීය බව සමාජය අමතක කර දැමීම ඊට හේතුව බවත් වාර්තා වේ. ග්‍රාමීය පළාත් ආශ්‍රිතව දුප්පත්කම වේගයෙන් ඉහළ යමින් තිබේ. ආසන්න නගරවල රැකියාවන්ට ගිය බොහෝ දෙනකුගේ රැකියා අවස්ථා මේ වන විට අහිමි වෙමින් තිබේ. දෙආකාරයක කරුණු ඊට බලපාන බව වාර්තා වේ. රටටම දැනෙන ආර්ථික ගැටලුව නිසා රැකියා ස්ථාන වැසීයාම ඉන් එකකි. ඒ යටතේ ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා වියුක්තිය වේගයෙන් ඉහළ යමින් තිබේ. අනෙක් කරුණ බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන වියදම දරාගත නොහැකිව මිනිසුන් සිය ගම් පළාත්වලින් බැහැරට නොයා අවට ඇති කුලී වැඩ ආදිය කිරීමට පෙලඹීමය. මේ සියල්ල ඔවුන් පෙළෙන ආර්ථික අර්බුදය තව තවත් තීව්‍ර කරමින් සිටී. ආදායම් අහිමි වීම නිසා අධ්‍යාපන සහ පෝෂණ අවශ්‍යතා බිඳවැටීම සුලබව දැකිය හැකිය. වර්තමාන ආර්ථික පීඩනයේ ඍජු ගොදුර බවට පත්ව ඇත්තේ කන්තාවෝය. විශේෂයෙන්ම ස්වාමියාගේ රැකියාව අහිමිව දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය බිඳවැටී යන එන මං නැතිව සිටින ග්‍රාමීය කාන්තාවෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලෙමින් සිය ජීවිත විනාශ කරගනිමින් සිටිති. ණය ගෙවීමට ක්‍රමයක් නැති තැන ලිංගික අල්ලස්දී තාවකාලික අස්වැසිල්ලක් සොයන කාන්තාවන් පිළිබඳ තොරතුරු උතුරුමැද, උතුර, නගෙනහිර මෙන්ම වතුකරයේද සුලබය. මේ ආකාරයෙන් අසරණ වන කාන්තාවන් පසුකාලීනව මුදලට ඇඟ විකුණන්නියන් බවට පත්වන අතර ඒ නිසා පවුල් පදනම් විනාශව ගොස් දරුවන් අනාථ වූ අවස්ථා බොහෝය.
වකුගඩු ආසාදන සහ වෙනත් බෝ නොවන රෝග සඳහා අවශ්‍ය බෙහෙත් වර්ගවල අධික මිල සහ නියමිත පරිදි ඖෂධ නොලැබීම නිසා එවැනි රෝගීන් සිටින පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටියි. පවතින ආර්ථික අර්බුදයේ ඍජු ප්‍රතිඵල ඉදිරි වසර කිහිපයේ දැකගත හැකිවනු ඇත. රෝගීන් සහ නිසි රැකවරණය අහිමි වීමෙන් වැඩිහිටියන් අකාලයේ මියයාම ඉදිරියේදී බහුලව සිදුවිය හැකිය. එමෙන්ම මාතෘ සහ ළමා සෞඛ්‍යයද බරපතළ කඩාවැටීමකට ලක්වීමට ඉඩ තිබෙන බව නිසැකවම කිව හැකිය.
සමස්තයක් ලෙස ගත්විට මේ අර්බුදය විසඳීමට නොහැකි නම් එහි හානි අවම කිරීම ආණ්ඩුවේ වගකීමය. එහෙත් එවැනි කිසිදු උත්සාහයක් ආණ්ඩුව ගන්නා බව පෙනෙන්නට නැත. එහෙයින් පවතින සීමිත සම්පත් සඳහා උග්‍ර තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉදිරියේදී සම්පත් හීන වීම මත දරුවන්ගේ පාසල් සහ මවුපියන්ගේ රැකියා අහිමිවීම වැනි දේ පමණක් නොව එකිනෙකා කාකොටා ගන්නා විෂම සමාජයක් බිහිවීමද අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එවැනි අවස්ථාවක නිෂ්ක්‍රීයව පවතින වෛරී සමාජ තත්ත්වයන් සක්‍රියවී අප නොසිතන අන්දමේ ව්‍යසනයන් පවා ඇතිවිය හැකිය. එවන් අර්බුදයක් අබියස පසුවන ශ්‍රී ලාංකික සමාජය මේ වන විටත් පසුවන්නේ ගිනි කන්දකින් ගිනි තපිනා මිනිසුන් පිරිසක් ලෙසය. වාසනාවට හෝ අවාසනාවට ඒ බව ඔවුන් තවමත් දන්නේ නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු









