පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම ලබන සඳුදා දක්වා කල් දැමුණා.
පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද පවුලේ ඥාතීන්ට සිරුර හඳුනාගත නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ එය ලබන සඳුදා දක්වා කල් දැමීමටයි තීරණය කළේ.
අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි.
පසුගිය 30 වැනිදා සිට අතරුදන්ව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නැමැති මෙම ව්‍යාපාරිකයාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් ඔහුට අයිති පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී පසුගිය 02 වැනිදා සොයා ගත්තා.
එය සොයාගන්නා අවස්ථාවේදීත් හඳුනාගත නොහැකි ලෙස නරක්වී තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.
පසුගිය 30 වැනිදා සිට තම සොහොයුරා නිවසට නොපැමිණි බව සඳහන් කරමින් එම ව්‍යාපාරිකයාගේ සොහොයුරිය වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි ඔහුගේ බවට සැකකෙරෙන මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
අදාළ පුද්ගලයා අවසන් වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත මෝටර් රථයෙන් ගොස් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ යතුර රැගෙන පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම පුද්ගලයා ද සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති නමුත් මෝටර් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද අස්ථානගත වී තිබෙන අතර, ඔහුගේ බැංකු කාඩ්පත් භාවිත කර ගුවන් ටිකට් පත් 2ක්ද මිලදීගෙන ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ වූවන් විදෙස්ගත වී ඇත්තද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි.
මේ අතර ව්‍යාපාරිකයාට අයත් බව කියන මෝටර් රථය ඊයේ (03) මීගමුව ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගැනුණා.
එම රථය පසුගිය 31 වැනිදා රාත්‍රියේ ආපදා රථයකින් අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.
දැනට පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත්, මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් දෙදෙනා ද එම ආපදා රථයේම නැගී පිටව යන ආකාරයක් සටහන් වී තිබෙනවා.
මේ වනවිට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ප්‍රශ්න කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන අතර, පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන සඳහා යොදවා තිබෙනවා.
dasathalankanews