2011 ඊජිප්තුවේ අරාබි වසන්තය (Arab Spring) නැඟී එන විට ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ විදේශ කුමන්ත්රණකරුවන් ලංකාවේද එවැනි කැරැල්ලක් ඇති කරන්න ගියහොත් එය සාර්ථක නොවන බවය. එහෙත් ඇරැබ් ස්ප්‍රින්ග් රැල්ල ලංකාවට ආවේ 2022 දීය. අද මහින්ද පමණක් නොව රාජපක්ෂ පවුලම ඒ රැල්ලට හසුවී විනාශ වී ඇත.
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දී රාජපක්ෂවරු ඉවත් විය. අරාබි වසන්තයට ලංකාවේ කිව්වේ අරගලය කියා. එම අරගලයෙන් ජනාධිපති වූ රනිල් අද ඊජිප්තුවේ පාරිසරික සමුළුවට සහභාගි වීමට ඊජිප්තුවට ගොස් තිබේ. ඊජිප්තුවේ ජනාධිපති එල් සිසීද ඊජිප්තුවේ ඇරැබ් ස්ප්‍රින්ග් එකෙන් ජනාධිපති වුණු අයෙකි. ඔහු ඇරැබ් ස්ප්‍රින්ග් එන විට ඊජිප්තුවේ මිලිටරි ඉන්ටලිජන්ස් ඩිරෙක්ටර් විය. ඒ, ජනාධිපති හොස්නි මුබාරක්ගේ ආණ්ඩුවේය. ඇරැබ් ස්ප්‍රින්ග් එකෙන් මුබාරක් බලයෙන් වීසිවිය. 2011දී මොහොමඩ් මොර්සි ජනාධිපති විය. ඔහු එල් සිසීව 2012දී ආරක්ෂක ඇමැති ධුරයට පත් කළේය. මොහොමඩ් මොර්සිගේ ආණ්ඩුව ඇරැබ් ස්ප්‍රින්ග් එකට නායකත්වය දුන් විප්ලවකාරයන් පිළිගත්තේ නැත. ඔවුන් යළිත් විප්ලවය පටන් ගත්තේය. එල් සිසී මෙම විප්ලවයට මුවාවී ජනාධිපති වෙන්න කුමන්ත්‍රණයක් කළේය. ඔහු විප්ලවයට විසඳුමක් කියා හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේ ආරක්ෂක ඇමැති ලෙසය. හමුදා කුමන්ත්රණයෙන් ඔහු ජනාධිපති මොහොමඩ් මොර්සිව බලයෙන් පහ කළේය. බලයෙන් පහ කළ ජනාධිපති මොර්සි වෙනුවට ඔහු සම්දීන් සබාදිව අන්තර්කාලීන ජනාධිපති ලෙස පත් කළේය. ඔහුටද රට පාලනය කළ නොහැකි වූයේ විප්ලවය දරුණු වී කැරැලි කෝහාලහල ඇති වීමෙනි. 2014 දී සිසී තමා හමුදාවෙන් අයින් වී ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළේ විප්ලවයේ ඉන්නා ඔහුගේ ආධාරකරුවන්ගේ සහාය පතමිනි. ජනාධිපතිවරණයෙන් සිසී අති විශිෂ්ට ජයක් ලැබීය. ඉන් පසු ඔහු ඉතා කෲර ලෙස විප්ලවය සහ එහි නායකයන්ව මර්දනය කළේය. ඔවුන්ව ත්රස්තවාදීන් ලෙස නම්කොට හිර ගෙදරට දමනු ලැබීය. සිසීගේ වාසනාවට ඔහු මේ මර්දනය දියත් කරන විට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. සිසී, ට්‍රම්ප්ගේ ප්‍රියතම ඒකාධිපතියා විය. ඒත් බයිඩන් බලයට ආ විට සිසීට ට්‍රම්ප්ගේ කාලයේ ලැබුණු පිළිගැනීම ඇමෙරිකාවෙන් ලැබුණේ නැත. සිසී, බයිඩන්ට දුරකතනයෙන් කතා කරන්නට විය. ඒත් මේ වන විට බයිඩන් සහ සිසී අතර හොඳ සම්බන්ධතාවක් ඇති වී තිබේ. සිසී ඊජිප්තුවේ පාරිසරික සමුළුව පවත්වන්නේ ඔහුට අහිමි වුණු ජාත්‍යන්තර පිළිගැනීම ලබාගන්නටය. මේ සමුළුව සම්බන්ධයෙන් Tampa Bay Times කී කතාවය.
ලංකාවේ රනිල් ජනාධිපති වුණේත් සිසී වගේ අරගලයෙන්ය. සිසී ඊජිප්තු අරගලය ප්‍රයෝජනයට ගෙන ජනාධිපති ධුරයට රිංගා ගත්තා සේ රනිල් ද ලංකාවේ අරගලය ප්‍රයෝජනයට ගෙන අගමැති වී ජනාධිපති විය. සිසී වගේ රනිල් ද අරගලය මර්දනය කළේය. රනිල් පාරිසරික සමුළුවට යන්නේත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාගන්නටය. අරගලය මර්දනය කොට අරගල නායකයන් සිරගත කොට ඔවුන් ත්රස්තවාදීන් ලෙස හඳුන්වමින් රනිල් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල සහාය පතයි. සිසී මැදපෙරදිග සාමය පෙන්වා ඇමෙරිකාව දිනාගන්න යනවා වගේ රනිල් චීනය පෙන්වා ඇමෙරිකාව දිනාගන්න උත්සාහ කරයි. සිසී යම්තාක් දුරට සාර්ථකය. රනිල්ට සිසී වගේ සාර්ථක වෙන්න පුළුවන් වෙයිද යන්න සැක සහිතය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු