‘පාකිස්තානයේ මැතිවරණ කොමසාරිස්ට එරෙහිව මම රුපියල් බිලියන 10ක් වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරනවා. මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා සහ ඔහුගේ සිවු පුද්ගල මණ්ඩලයක් විසින් මම වත්මන් පාකිස්තාන ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර නුසුදුස්සකු බවට පත්කර තිබෙනවා. කොමසාරිස්ගේ මේ ක්‍රියාවලිය නිසා මාගේ කීර්ති නාමය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සිකන්දර් සුල්තාන් ඔබ හොඳින් මතක තබාගන්න. මම ඔබව අධිකරණයට ගෙන යනවා. ඔබ එවිට ඉදිරියේදීවත් මේ විදියට කිසිවකුගේ කීර්ති නාමය විනාශ කරන එකක් නැහැ. ඔබ වැඩ කරලා තියෙන්නේ දේශපාලන හොරුන්ගේ කියමනට සහ අදහස්වලට අනුවයි. ඔය හොරුන් ඔබගේ හොඳම මිතුරන්. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මම මැතිවරණ කොමසාරිස්ගෙන් සහ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට කියලා. මට එරෙහිව බොරු චෝදනා ගෙනැවිත් තිබෙනවා. ඒ චෝදනාවලට මම වැරැදිකරු වුණොත් මම මොහොතක් කිසිම තනතුරක රැඳී සිටින්නේ නැහැ. පාකිස්තානයේ පාලනය අද මංකොල්ලකාර කණ්ඩායමකට දීලා තියෙනවා. ජාතිය සිටින්නේ කොතැනකදැයි හොඳින් බලන්න. අද පාලකයන් බලවත් අයගේ සපත්තු ඔපදමනවා. දුර්වල අයට පීඩා කරනවා. මම පාකිස්තානයේ ජීවත්වන සහ මියයන පුද්ගලයකු හැටියටයි කටයුතු කරන්නේ…’
කුමක්ද මේ ආවේගශීලී කතාව? මෙලෙස රුපියල් බිලියන 10ක් වන්දි ඉල්ලා සිටින්නේ කවුරුන්ද? මෙම වගතුග පසුගියදා අසන්නට ලැබුණේ ලොව සිටින සුවිශේෂ පුද්ගලයකුගෙනුයි. ඔහු නම් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ය. ඔහු ඉහත වන්දිය පාකිස්තාන රුපියල්වලින් ඉල්ලා සිටින්නේ පාකිස්තානයේ වත්මන් මැතිවරණ කොමසාරිස්වරයාගෙනි. හිටපු අගමැතිවරයා පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයකින් පරාජයට පත්විය. එහෙයින් ඔහුට අගමැති ධුරය අහිමි වූ අතර, 2022 ඔක්තෝබර් මාසයේදී ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි කෙරිණි. එය සිදුකරනු ලැබුවේ පාකිස්තානයේ වත්මන් මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා ප්‍රධාන සිවු දෙනකුගෙන් සමන්විත මැතිවරණ කටයුතු මණ්ඩලයක් විසිනි. ඒ අනුව ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය පමණක් නොව තමන්ගේ පාකිස්තාන ජාතික සභාවේ මන්ත්‍රී ධුරයද අහිමි විය. සමීප කාලවකවානුවකදී පාකිස්තානයේ සිටි ජනතා ප්‍රසාදය ඉහළින්ම දිනාගත් අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන්ට මහත් ගරුත්වයක් හිමිව තිබුණේය. එහෙත් පසුගිය වසරේදී ඔහුට එරෙහිව යම් විපක්ෂ කණ්ඩායම් විසින් ගෙන එන ලද මූල්‍යමය දූෂණ චෝදනා හේතුවෙන් විශ්වාසභංගයක් ගෙන ආ අතර ඔහු එහිදී පරාජයට පත්විය. අවසානයේදී මෙයට මාස 03කට පෙරදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි විය. ඉම්රාන් ඛාන් මෙහිදී තදබල ලෙස චෝදනා කළේ වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා වත්මන් පාකිස්තාන රාජ්‍ය පාලකයන්ගේ නියෝගවලට යටත් වෙමින් මෙම අසාධාරණ තීන්දුව ගත් බවකි. ඉහත රුපියල් බිලියන 10ක වන්දි නඩුව ගොනු කරන්නට සැරසුණේ එහෙයිනි. මෙතෙක් එම නඩුව ගොනුකර නැත.
2022 අප්‍රේල් 10 වැනිදා පාකිස්තානයේ අගමැති පුටුවෙන් බැසගියද ඉම්රාන් ඛාන්ට විශාල ජනතා ප්‍රසාදයක් හිමිව තිබිණි. එහෙත් එය ඔහු 2018 වසරේදී අගමැති ධුරයට පත්වීමට පෙර තිබූ තරම් සුවිශාල ජනතා ප්‍රසාදයක් නොවීය. නිරන්තරයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ විපක්ෂයේ කුමන්ත්‍රණ හේතුවෙන් තමන්ට බලයෙන් පහවීමට සිදුවූ බවකි. එසේ නැතිනම් තමන්ට හිමි ජනතා ප්‍රසාදය කිසි විටෙකවත් අඩුව නැතැයිද ඔහු පවසා සිටියේය. ඒ අනුව වත්මන් රාජ්‍ය පාලකයන්ගේ වුවමනාව මත තමන්ගෙන් පලිගැනීමට තම මැතිවරණ ආසනය පවා අහිමි කළ බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ඔහු සහ ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් පසුගිය 2022 දෙසැම්බර් මාසයේදී අතිවිශාල විරෝධතා රැලියක්ද සංවිධාන කළේය. මෙම විරෝධතා පාගමන ලාහෝර් නගරයේ සිට පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දින 04ක් පුරා දිවා-රාත්‍රී අඛණ්ඩව පැමිණියේය. මේ සඳහා පාකිස්තානයේ ජනතාව දස දහස් ගණනින් සහභාගි වූ අතර රථ වාහනද සිය ගණනින් එක්ව තිබිණි. කිලෝමීටර් 378ක දුරින් යුත් එම පාගමන අතරවාරයේදී පිහිටා ඇති නගර රාශියක් තුළදී රැස්වීම් පැවැත්වීමද සිදුකෙරිණි. මෙම සුවිශාල ජන රැලියේ ප්‍රධානතම තේමාව වූයේ පළාත් පාලන මැතිවරණයක් ඉක්මනින් පැවැත්විය යුතුය යන්නය. එනම් ඉම්රාන් ඛාන් නියෝජනය කරනු ලබන පන්ජාබ් ප්‍රාන්තයේ පළාත් පාලන මැතිවරණය ප්‍රථමව පැවැත්විය යුතු යැයි ඔහු සහ ආධාරකරුවන් එක හඬින් ප්‍රකාශ කර සිටියේය. තමන්ගේ සහ තම පක්ෂයේ ජනප්‍රියත්වය ඒ හරහා හොඳින්ම අවබෝධ කරගත හැකි යැයි ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේය.
ඔබට පාකිස්තානයේ මෙම වගතුග ලියා තැබීමට හේතු වූයේ ඇයි? එනම් මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු නවතම පුවතක් හේතුවෙනි. එනම් ඉම්රාන් ඛාන් ඉල්ලා සිටි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පාකිස්තාන රජය තීරණය කිරීම එම කතාන්දරයයි. මෙම මැතිවරණ පැවැත්වෙන්නේ නිසි මැතිවරණ කාලසීමාවට පෙර පැවැත්වෙන හදිසි මැතිවරණයක් ලෙසිනි. මෙහිදී එම හදිසි මැතිවරණය පැවැත්වෙන්නේ පාකිස්තානයේ සුවිශාලතම ප්‍රාන්තය වන පන්ජාබ් ප්‍රාන්තය උදෙසාය. පන්ජාබ් ප්‍රාන්තය යනු ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික බලය ඉතා උච්ච ලෙස පවතින ප්‍රාන්තයකි. එයට හොඳම උදාහරණයක් වූයේ ඔහුට අගමැති ධුරය අහිමි වීමෙන් පසුවත් පසුගියදා එම ප්‍රාන්තයේ පැවැති අතුරු මැතිවරණයකින් ඔහුගේ පක්ෂය ආසන බහුතරයක් ඉහළින්ම ජයග්‍රහණය කර තිබීමය. එහෙත් එම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් නොවුණු අතර, ග්‍රාමීය මට්ටමේ මැතිවරණයක් පමණක් විය. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය නිසා හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිරන්තරයෙන්ම ප්‍රකාශ කර සිටින්නේ තමන්ට සහ තම පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (Pakistan Tehreek-e-Insaf) පක්ෂයට තවද විශාල ජනතා ප්‍රසාදයක් ඇති බවය. ඉම්රාන් ඛාන් මෙම පක්ෂයේ නිර්මාතෘවරයා වන අතර එය පිහිටුවනු ලැබුවේ 1996 අප්‍රේල් 25 වැනිදාය. එදින සිට දැනට වසර 27කට ආසන්න කාලයක් පුරා එම පක්ෂයේ සභාපති ධුරය සහ නායකත්වය දරන්නේද ඔහු විසිනි. 2018 වසරේදී ඔහු අගමැති ධුරයට පත්වන්නේද මෙම පක්ෂයේ සුවිශාල ජයග්‍රහණය හරහාය.
මෙලෙස හදිසි පළාත් මැතිවරණය පැවැත්වෙන පන්ජාබ් ප්‍රාන්තය යනු කිනම් ප්‍රදේශයක් දැයි සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. පන්ජාබ් යනු ඉන්දියාව සහ පාකිස්තානයද පුරා පැතිරී තිබෙන අතිවිශාල ප්‍රාන්තයකි. මෙහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,58,354ක් වන අතර සමස්ත ජනගහනය මිලියන 190ක් වෙයි. කෙසේ හෝ මෙම සුවිශාල භූමි ප්‍රමාණයක් ඇති පන්ජාබ් ප්‍රාන්තයේ බහුතර කොටස අයත් වන්නේ පාකිස්තානයටය. එනම් පාකිස්තානයට අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,05,344ක් වෙයි. මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව මෙන් තුන්ගුණයකටත් වඩා වැටිය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610ක් පමණ වෙයි. එසේම පන්ජාබ් ප්‍රාන්තයේ පාකිස්තානයේ පාලනය යටතේ ඇති කොටසේ ජීවත්වන ජනගහනය මිලියන 110ක් වෙයි. එනම් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩකි. මේ ආකාරයට බලන විට ශ්‍රී ලංකාව මෙන් තුන්ගුණයක් විශාල වූ වෙනම රටක පැවැත්වෙන මැතිවරණයක් ලෙසින් ඉහත පන්ජාබ් ප්‍රාන්තයේ මැතිවරණය අර්ථකථනය කළ හැකිය. තවද එයින් පෙනී යන්නේ එවැනි අති දැවැන්ත ප්‍රාන්තයක් සඳහා මැතිවරණයක් පැවැත්වීම කෙතරම් භාරධූර කාර්යයක්ද යන්නය. පන්ජාබ් යන නාමය ගෙතී ඇත්තේ ‘පංච ජලය’ යන අර්ථය හරහා වන අතර, මෙම සුවිශාල ප්‍රාන්තය හරහා අතිවිශාල ගංගා 05ක් ගලාබසියි. පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධානතම නගරය වන්නේ ලාහෝර් නගරයයි. එනම් පාකිස්තානයට අයිති කොටස තුළ පිහිටි එම නගරය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි. මෙහිදී අනෙක් සුවිශේෂ කරුණක් ලෙසින් හෙළිවන්නේ පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුවේ) මන්ත්‍රී ආසන 342කින් ආසන 183ක්ම නියෝජනය කරන්නේ පන්ජාබ් ප්‍රාන්තය විසින් වීමය. මෙම ප්‍රාන්තයේ ජනතාවගේ සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය 66.3%කි. මේ අනුව අපට පෙනී යන්නේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය යනු අති සුවිශේෂ වැදගත්කමක් ඇති භූමි භාගයක් ලෙසිනි.
දැන් ඔබට මේ වටපිටාව හොඳින්ම පැහැදිලි වනු ඇත. කෙසේ හෝ මෙහිදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ නම් පාකිස්තානයේ සමස්ත ජනගහනයෙන් හරි අඩක්ම වාසය කරන්නේ මෙම පන්ජාබ් ප්‍රාන්තය තුළ වීමය. එහෙයින් එම ප්‍රාන්තය තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමද ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් පාකිස්තාන රජය තීරණය කර ඇත්තේ එම මැතිවරණය පැවැත්වීමටය. මෙහිදී හෙළිවන අනෙක් විශේෂිත කරුණ නම් මෙම මැතිවරණයේ ප්‍රතිඵල මගින් ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික බලය මැනගැනීමට හැකි වීමය. එසේම එම ප්‍රතිඵල හරහා පාකිස්තානයේ ඉදිරි දේශපාලන අනාගතයද තීරණය වනු ඇත. මෙම 2023 වසරේ අගභාගයේදී පාකිස්තානයේ මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතය. එහෙයින් මෙම මැතිවරණය අතිශය තීරණාත්මක එකක් වනු ඇත.
තත්ත්වය කෙසේ වුවත් පාකිස්තානය මේ වන විට මැතිවරණයක් පැවැත්වීමට තරම් ආර්ථික සහ මූල්‍යමය වටපිටාවක සිටින්නේද? පැහැදිලිවම එයට දේශපාලන විචාරකයන් ලබාදෙන උත්තරය නම් ‘නැත’ යන්නය. එයට හේතුව නම් වර්තමානයේදී පාකිස්තානයද මුහුණ දී සිටින දැඩි ආර්ථික සහ මූල්‍යමය අර්බුදයයි. පාකිස්තානයේ වත්මන් ඒකපුද්ගල ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් 1,658ක් වැනි අල්ප ප්‍රමාණයකි. එය ලෝකයේ රටවල් අතරින් 177 වැනි ස්ථානයෙහි ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් ඒකපුද්ගල ආදායම වන්නේ ඩොලර් 3,293ක් වන අතර, එය ලෝකයේ රටවල් අතර 132 වැනි ස්ථානයය. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා පාකිස්තානයේ ජනතාව සමස්ත වත්කම් අතින් අඩු තත්ත්වයක සිටින බවයි. මෙහිදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ නම් පාකිස්තානයට ඇති විදේශ ණය බරයි. පසුගිය දශක ගණනාවකම සිට එරට තවත් බොහෝ විදේශ රටවලින් ණය මුදල් ලබාගැනීම සිදුකරනු ලැබුවේය. අද වන විට එරට නැවත ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය අදහාගත නොහැකිය.
පාකිස්තානයේ වත්මන් විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකනු ඩොලර් බිලියන 274ක් හෙවත් පාකිස්තාන රුපියල් ටි්‍රලියන 62.46කි. ශ්‍රී ලංකාවට දැනට ගෙවීමට ඇති විදේශ ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 86.61ක් වෙයි. එයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට තිබෙන විදේශ ණය ප්‍රමාණය මෙන් තෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් පාකිස්තානයට ගෙවීමට තිබෙන බවය. ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද බහුතර ණය ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ චීනයටය. ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානයේ විදේශ සංචිත ප්‍රමාණය ඉළ බව පෙනීයයි. පාකිස්තානයේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5ක් බව වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,896ක් පමණි. ඔබට මෙම රටවල් දෙකෙහි යම්කිසි සංසන්දනයක් සිදුකළේ වඩාත් තත්ත්වය අවබෝධ කරගැනීම උදෙසාය. එනම් දැන් ශ්‍රී ලංකාවේද හෙට අනිද්දාම පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදෙමින් පැවැතීමය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ එම මැතිවරණයට නම් ඇත්තේ අනේකවිධ බාලගිරි දෝෂයන්ය. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට වත්මන් රාජ්‍ය පාලකයෝ මැතිවරණයන් කෙරෙහි ඇති අධික බියයි. එහෙයින් විවිධාකාර හේතු දක්වමින් මැතිවරණ කල්දැමීමට මාන බලති. මෙවර ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේද නියමිත කාලයට වඩා වසරක් ගතවීමෙන් පසුවය. එහෙත් එයද කල්දමා ගැනීමට මෙරට පාලකයන් සිහින දකිමින් සිටියි. එසේ වුවද පාකිස්තානයට කෙතරම් ආර්ථික හෝ මූල්‍ය ප්‍රශ්න තිබුණද ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් තම මැතිවරණයන් පවත්වති. ශ්‍රී ලංකාවේ පාලකයන්ද එම තත්ත්වය ආදර්ශයට ගත යුතුය. ජනතාවගේ පරමාධිපත්‍යය සුනුවිසුනු කරමින් තමන්ට අවශ්‍ය තීරණ ගැනීමට පාලකයන්ට නොහැකිය. ලෝකයේ ‘හිට්ලර්ලා’ වන්නට ගිය රාජ්‍ය නායකයන්ට අත්වූ ඉරණම අප හොඳින්ම දැක ඇත්තෙමු. චාලි චැප්ලින් වැනි මහා විකටයකුද හිට්ලර්ගේ චරිතය රඟපෑ බව අප අමතක කළ යුතු නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ