ශෙහාන් කරුණාතිලක. ආදරේට කියන්නේ ඇත්තටම උඹ යකෙක්. අපි හිටියේ නන්නත්තාර වෙලා. අපට ජයග්‍රහණ නෑ. අපි යන්තම් ක්‍රිකට් මැච් එකක් දිනුවට පස්සේ හූ කියලා සතුටු වුණේ අපට මොනවත් නැති හින්දා. අපි කන්න නැති රටක් කියලා අපට හිතෙනවා. අපට ඕනෙ තරම් ප්‍රශ්න තියෙනවා. මේ පිටුව පිරෙන්න ලැයිස්තුවක් ඕනෙ නම් ලියන්න පුළුවන්. පිටු දෙකක් පිරෙන්න ලැයිස්තුවක් ලියන්න ඕනෙ නම් ඒකත් ලියන්නම්. කවුරු හරි කෙනෙක් අභියෝග කරනවා නම් මේ මුළු පත්තරේම පිරෙන්න ප්‍රශ්න ලියන්න කියලා ඒකත් ලියන්න පුළුවන්. මගේ නෙවෙයි, මේ රටේ ප්‍රශ්න. මේ රට මෙතැනට ඇදලා දාපු එවුන්ට සාප වෙනවා කියලා හිත හිතා ඉන්නවා මිසක් දැන් අපි ජයග්‍රහණය නැති ජාතියක් බවට පත්වෙලා. ඒ අස්සේ එක පාන්දරක එනවා ප්‍රවෘත්තියක්. ශ්‍රී ලංකාවේ ශෙහාන් කරුණාතිලක ‘ද බුකර්’ සම්මානය දිනාගනී කියලා. මම මේක දැක්කේ ජනක ඉනිමංකඩගේ ෆේස්බුක් පිටිවේ. ඇඟ හිරිවැටිලා ගිහිල්ලා මොකක්දෝ අමුතු හැඟීමක් දැනුණා. ශෙහාන් කරුණාතිලකව පෞද්ගලිකව නොදන්නවා වුණාට, ‘චයිනමන්’ පෞද්ගලිකව දන්න නිසා ඒ හැඟීම තවත් වැඩි වුණා.
අපේ එකෙක් ලෝකෙ ඉහළ තැනක ඉඳලා ඒ හැඟීම දකිනකොට, සිංහලෙන් කතා කරනකොට, දෙමළෙන් කතා කරනකොට, අපට ආමන්ත්‍රණය කරනකොට අපට ආඩම්බරයි. කවුරු වුණත් මේ ලෝකෙ හොල්ලන්න පුළුවන් අපේ මිනිස්සු ඉන්නවා කියන එක. බුකර් සම්මාන ගත්ත ශෙහාන් එක්ක බී.බී.සී. එක කරපු සාකච්ඡාව මරු. මාධ්‍යවේදියා සුබ පතලා ශෙහාන්ගෙන් අහනකොට මේ පොත ලිව්වේ ඇයි කියලා, ශෙහාන් කිව්වේ ‘මම රසිකයන්ට පොත් රචනා කරන කෙනෙක්, කියවන මිනිස්සු වෙනුවෙන් පොත ලිව්වා’ කියලා. ‘මම හිතුවා පොත එළිදැක්වුවාට පස්සේ පොතට මිනිස්සු කැමැති වෙයි කියලා. මම මෙතැනට ආවේ ඩි්‍රන්ක් එකක් අරගෙන යන්න. සම්මානයක් තියෙයි කියලා මම හිතුවේ නෑ’ කියලා ශෙහාන් කියනවා.
මේ ජයග්‍රහණය ලබන ශෙහාන් කරුණාතිලක උපන්නේ 1972 ගාල්ලෙදී. නවසීලන්තෙ ඉගෙනගෙන, පසුව නෙදර්ලන්තයේ සහ සිංගප්පූරුවෙ ජීවත් වෙලා අද ඉන්නේ එංගලන්තෙ. ශෙහාන් මුල් කාලෙ මාධ්‍යවේදියෙක්. ‘ද ගාඩියන්’, ‘විස්ඩන්’, ‘ද ක්‍රිකට්’ වැනි පුවත්පත්වලට සඟරාවලට ලිපි ලියලා 2010 වසරේදී ඔහු සාහිත්‍යකරණයට පිවිසෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මුල් කරගෙන රචනා කරපු ‘චයිනමන්’ කෘතිය හරහා. චයිනමන් කියන්නේ අමුතු පොතක්. චයිනමන් ගැන ලෝකෙන් ඉහළ ප්‍රශංසා ලැබෙද්දී ලංකාවෙ මිනිස්සුන්ටත් චයිනමන් කියවන්න අවස්ථාව ලැබුණා.
චයිනමන් පොත ගැන ලෝකයෙ ඉහළම සම්මාන ලැබුණා. ඒත් බුකර් ලැබුණෙ නෑ. ලංකාවෙ මීට කලින් බුකර් සම්මානය ලබාගත්ත අවස්ථාව වෙන්නෙ මයිකල් ඔන්ඩච්චිගෙ ජයග්‍රහණය. ඒ විතරක් නෙමේ මේ ගැන අපි ලංකාවෙ අතිවිශිෂ්ට සාහිත්‍යවේදියෙක් සහ භාවිතාවක් සහිත මනුස්සයෙක් වෙන ජනක ඉනිමංකඩ එක්ක අපි කතා කළා.
‘බුකර් සම්මානයට වසර පනහක් පිරීම වෙනුවෙන් ලෝකය පුරාම සම්මානලාභීන් වෙනුවෙන් ‘ද බුකර්’ කියලා සම්මානයක් දුන්නා හොඳම බුකර්ලාභී පොත තෝරලා. ඒක ගත්තෙත් ශ්‍රී ලාංකිකයෙක්. ඒ ගැන අපිට ආඩම්බරයි.’
අන්තිමට ශෙහාන් කරුණාතිලකට ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න වෙලා තියෙන්නෙ මේක.
‘මෙවර බුකර් සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතියේ මෘදු පිටපතක් අන්තර්ජාලය තුළ සැරිසැරීම සම්බන්ධයෙන්, මෙම අන්තර්ජාතික සම්මානයට පත් ලේඛකයා පාඨක ප්‍රජාවගෙන් ආයාචනයක් කරයි.
වසර හතක් තුළ ගණන් කළ නොහැකි පර්යේෂණාවලියක යෙදෙමින් දැඩි ආයාසයකින් යුතුව නිර්මාණය කළ මෙම කෘතියේ නිල නොවන මෘදු පිටපතක් තමා වෙත ලැබුණහොත් එය වෙන අයකු සමග බෙදාගැනීමෙන් වළකින ලෙස කතුවර ශෙහාන් කරුණාතිලක සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
තවද ලංකාවේ කලාවට අවංකවම ආදර ගෞරවයක් දක්වන අයෙක් වෙත්නම් කෘතිය මිලදී ගෙන කියවන ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.’
එතකොට අපි ආඩම්බර වෙනවද නැත්නම් දුක් වෙනවද කියලා තීරණය ගන්න ඕනෙ ඔබ.
ලංකාවෙ යුද්ධය ගැන ලෝකෙට කියන එකෙන් ඔබ මොකක්ද බලාපොරොත්තු වුණේ කියලා.
‘මම එහෙම දේවල් හිතුවේ නෑ. මම මිනීමැරුම් අබිරහසක් ගැන ලිව්වා විතරයි. මළවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කතාවත් රචනා කරන එක් නවකතාවකට හොඳයි කියලා හිතුණා. 1989 ඇත්තටම අපේ ඉතිහාසයේ අඳුරු යුගයක්. ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙනවා. ඒ ගැන නැවතත් අධ්‍යයනය කිරීම රසවත් වුණා.’
එතකොට මේ කතාව කාගෙ ද?
ඒ ගැන විවිධ කතා තියෙනවා. මේ මාලි කියන්නෙ කවුද? ඒක ශෙහාන්ගෙ හිතේ මැවුණු නූපන් චරිතයක්ද? එහෙම නැත්නම් ශෙහාන්ට මේ ගැන කිව්වෙ මියගිය හැබෑ චරිතයක් ද?
කොහොම වුණත් මේක ලංකාවෙ අපේ ප්‍රකාශන ආයතනයක පොතක් වුණා නම්, දන්නවද අපට මේ පොතෙන් අපේ රටේ ණය ගෙවලා ඉවර කරන්න තිබ්බා.

ජීවන පහන් තිළිණ