මේක ලියන්නෙ පට්ටම හැන්දෑවක. ලිපිය ලියන්න පටන් ගන්නෙ විසිහත් වැනිදා. වෙලාව හවස හයයි පනහයි. (Sri Lanka Latest News)
අපේ කෙල්ලන්ට කප් එක දුන්නා විතරයි. අවුරුදු ගානකට පස්සෙ ක්‍රිකට් නිසා ඇස්වලට සතුටු කඳුළු ආවා. අම්මෝ ඒ රෑ තමයි රෑ. සතපහකට ගණන් නොගත්ත ක්‍රිකට් එකක් උඹලා උඹලගෙ පාඩුවෙ කාලයක් ගැහුවා. අර පොඩි එකී කියනවා අපිට ඇහුණා, ‘මම මෙච්චර ක්‍රවුඩ් එකක් එක්ක ක්‍රිකට් ගැහුව පළවෙනි වතාවට’ කියලා.
ඒ කිව්වෙ උඹටයි මටයි. උන්ව තනිකෙරුවෙ අපි. උන්ගෙ මැච් නොබැලුවෙ අපි. අපි හෙන ලොකු සීන් එකෙන් බදාගෙන හිටියෙ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කියලා එකක්. උන් අපිට හොඳම එකෙන් ඇරියා. අපි අපේ කියලා බදාගෙන හිටපු එවුන් අපිට දරාගන්න බැරි ක්‍රිකට් එකක් ගහන කොටයි අපිට මතක් වුණේ, ‘ලංකාවෙ කෙල්ලොත් ක්‍රිකට් ගහනවා’ කියලා.
ලංකාවේ කෙල්ලෝ කප් එකක් දිනුවා කිව්වම ඒකෙ හැඟීම මාර විශාලයි. අපට දැනුණේ අපි පිරිලා කියලා. අපිට දැනුණේ අපි දිනුවා වගේ. අපිට කෑගහන්න හිතුණා ඉන්න තැනම ඉඳගෙන. අපි ක්‍රිකට් බලන තව යාළුවෙකට කුතාකරලා ‘පට්ට මැච් එකක් නේද?’ කියලා ඇහුවා. ඒ හැඟීම අපට දැනුණේ සෑහෙන කාලෙකින්. ඒත් අපට අමතක නෑ මේ විදියටම දකුණු ආසියාවේ වීරයෝ වෙලා, ආසියානු කුසලානය අපේ අතේ තිබිච්ච දවසක්. එදා ඒ කුසලානය අතට ගත්තු දසුන් ශානක අද වෙද්දී මැච් එකෙත් නෑ. ඔහුට යන්න වෙලා. එදා කණ්ඩායමේ තිබුණේ දක්ෂකම නෙවෙයි. එදා කණ්ඩායමේ තිබුණේ එකමුතුකම. ‘අපේ’ ‘මගේ’ කියන හැඟීම. අද අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ දැක්කේ ඒක. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඇතුළේ මහ වීරයෝ නෑ. නම් ගම්වලින් අපට මතක කීප දෙනයි ඉන්නේ. ශෂිකලා සිරිවර්ධන දැන් කණ්ඩායමේ නෑ. ශෂිකලා ලංකාවේ ක්‍රිකට් හදන්න විශාල වශයෙන් මහන්සි වෙච්ච බව අපි දන්නවා. හැබැයි ශෂිකලා අද අපිට මතකයක් ඉතුරු කරලා කණ්ඩායමෙන් සමුගෙන ගිහිල්ලා. චමරි අතපත්තු විතරයි ජාත්‍යන්තර මට්ටමේ වීරවරියක් විදියට ඉන්නේ. විශ්මි ගුණරත්න ගැන පහුගිය දවස්වල කතාකළා. හර්ෂිතා මේ වෙලාවේ ප්‍රසිද්ධ වුණා. ඒ ලස්සන හිනාව ගැන මුළු ලෝකෙම කතාකරන්න පටන් අරගත්තේ දැන්. එහෙම නැත්නම් මේ කළු කෙට්ටු කෙල්ලෝ ටික එහෙට මෙහෙට දුවනකොට උඩ පනිනකොට එක එකාට පහවල් දාගන්නකොට, කෑගහනකොට මැච් එක ඉවරවෙලා දුවගෙන ඇවිල්ලා පිට්ටනියේ එක එකා බදාගෙන බිම පෙරළෙනකොට විකට් කූරු ගලවාගෙන දුවනකොට අපිට එක එකාව හඳුනාගන්නවත් බැරුව ගියා. ඒ තරමටම මේ ක්‍රීඩිකාවෝ අපිට හරි දුරයි. ඒත් ක්‍රිකට් අපිට ළඟයි.
අපි අර්ජුන රණතුංග ලෝක කුසලානය ලංකාවට ගෙනාපු කාලේ ක්‍රිකට් හදපු විදිය ඇස් දෙකෙන් දැකපු මිනිස්සු. එදා ඒ වෙච්ච දේවල් තැන් තැන්වල කියනවා ඇහිච්ච මිනිස්සු. අර්ජුන රණතුංග ක්‍රිකට් හදපු විදියටම චමරි අතපත්තු ක්‍රිකට් හැදුවා කියලා අපට හිතෙනවා. චමරි අතපත්තු මේ ක්‍රිකට් හදන්නේ රට වටේම ඉන්න පුංචි පුංචි කෙල්ලෝ ටිකක් එකතු කරගෙනයි. ටීම් එකේ ඉන්නවා බට්ටි. එයා ආවේ මොනරාගලින්. මොනරාගල ඈත පිටිසර දුෂ්කර ඉස්කෝලෙක ඉඳලා අමාරුවෙන් කොළඹ ඇවිල්ලා ක්‍රිකට් ගහන මේ පොඩිඑකී සමහර විට කොළඹ එන්න ඇත්තෙම ක්‍රිකට් ගහන්න. ඒත් අද ක්‍රිකට් විසිතුරු කරන තරුවක් බවට පත්වෙලා ඒ පුංචි කෙල්ල අවුරුදු 15ක 16ක විතර වීරයෙක් බවට පත්වෙලා ලෝකෙ ඇතුළේ. ඒ ක්‍රීඩිකාවෝ ගමට යනවා අපි දකිනවා. උන් ගමට යන්නේ පොඩි කාර්වලින්. උන්ගේ පිටිපස්සෙන් එන්නේ ලොකු අවුඩි, බෙන්ස් නෙවෙයි. පොඩි පොඩි කාර්. චොකලට් බිස්කට් දාපු පිඟානක් අම්මා කෙනෙක් අල්ලනවා. ඒ අම්මා එක්ක හිනාවෙලා කතාකරන්න මේ ක්‍රීඩිකාවන්ට තාම ලොකු හදවතක් තියෙනවා. හැබැයි අපේ රටේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ පාට පාට කොණ්ඩ හදාගෙන, වළලු, මාල, මුදු, කරාබු බෙල්ලේ, කනේ, අතේ පුරෝගෙන, පච්ච ගහගෙන ලොකු වාහනවලින් යද්දී එයාලට ආදරේ කරන ෆෑන්ස්ලා හිනාවුණත් හිනා වෙන්නේ නෑ. ඒ තරම් තක්කඩි බවට පත්වෙලා. හැබැයි ලංකාවේ කෙල්ලෝ තාම එහෙම වෙලා නෑ.
අප්සාරි මැඩම් ගැන මේ වෙලාවේ කතාකරන්නම ඕනේ. අප්සාරි තිලකරත්න. නැත්නම් නැත්නම් අප්සාරි සිංහබාහු. මේ මනුස්සයා ගමින් ගමට ගිහිල්ලා, තැනින් තැනට ගිහිල්ලා හොයාගෙන ආපු මුතුකැට ටික තමයි මේ පොලිෂ් කරලා අපි රන් දම්වැලක අමුණාගත්තේ. එයාගේ මහත්තයා හෂාන් තිලකරත්න. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු විදියට ඉන්න කාලේ පටන් අරගත්ත වැඩේ හෂාන් අයින් වුණා කියලා එයා නතර කළේ නෑ. හැම ක්‍රීඩිකාවක්ම තමන්ගේ ජීවිතේ පිටිපස්සේ තියෙන සාධක ගැන කියද්දී එක තැනකදී කියනවා ‘අප්සාරි මැඩම් තමයි අපිව දැක්කේ, අප්සාරි මැඩම් තමයි අපිව හොයාගත්තේ’ වගේ එකක්. ඉතින් අප්සාරි තිලකරත්නටත් මේ ගෞරවයෙන් විශාල කොටසක් හිමිවෙන්න ඕනේ.
ඒ වගේම ස්ටාර් ස්පෝර්ට්ස් කියලා කියන්නේ ලෝකෙ තියෙන ප්‍රධාන ක්‍රීඩා නාලිකාවක්. හැබැයි ස්ටාර් ස්පෝර්ට්ස්ලා මේ ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ පූර්ව ප්රචාරක පටවල පෙන්නුවේ ඉන්දියාව විතරයි. ඒගොල්ලෝ පෙන්නුවේ ඉන්දියාව කුසලානය දිනාගන්න හැටි. ඒගොල්ලෝ නොකියා කිව්වේ ඉන්දියානුවන්ට ඉන්දියානු කාන්තා කණ්ඩායම තවත් කුසලානයක් දිනාගන්නා අවස්ථාව දැකබලා ගන්න ටීවී එක බලන්න කියලා. ඒකෙදී චමරි අතපත්තුවවත් පෙන්නුවේ නෑ. පාකිස්තානයේ, බංග්ලාදේශය වගේ රටවල ඉන්න ක්‍රීඩිකාවන්ව පෙන්නුවේ නෑ. බංග්ලාදේශය එක වතාවක් ඉන්දියාව පරද්දලා කුසලානය දිනාගත්ත කණ්ඩායමක්. එහෙම තියෙද්දිවත් ඒගොල්ලෝ බංග්ලාදේශය ගැන කතාකළේ නෑ. ‘මේ ක්‍රිකට් මගේ, අපි තමයි දිනන්නේ, වෙන එකෙකුටවත් දිනන්න දෙන්නේ නෑ’ කියන ගොං පාට් එක පරද්දලා ටේ්රලර් එකේ වත් පෙන්නුවේ නැති ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය දිනුවාට පස්සේ ස්ටාර් ස්පෝර්ට්වලට වහාම සිදුවුණා මැච් එකෙන් පස්සේ විරාට් කෝලිගේ ශතක ටික පෙන්නන්න. මොකද නැත්නම් ස්ටාර් ස්පෝර්ට්ස් එක හෙළිවැලි වෙනවා. ඔවුන්ට ඕනෙ වෙලා තිබුණු ‘අපි තමයි වීරයෝ, අපිට විතරයි පුළුවන්’ කියන අභිමානනීය ගොං පාට් එක ස්ටාර් ස්පෝර්ට්ස්ලට අහිමි වෙන්නයි ගියේ. ඒ නිසා අපේ රටේ ක්‍රිකට් වෙනුවෙන් අපිට දැන් ආඩම්බරයක් තියෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොං තාලෙට පරදිනකොට, එදා හැන්දෑවෙමත් ආයෙත් ඔන්න අපේ ක්‍රිකට්, මේ කෙල්ලන්ට පිස්සු කියලා අපේ එකම පෙන්නනකොට රැලට අවුට් වෙනකොට, පරිපාලනයට තීරණයක් ගන්න බැරුව ඔක්කොම අසරණ වෙනකොට, විකට් එකක් ගියාම ඊළඟට යවන එකා හිතාගන්න බැරුව ඔක්කොම පිස්සු නටනකොට, අලුතින් ගත්ත එකාවත් හරියට පාවිච්චි කරගන්න බැරි වෙනකොට, ටීම් එකේ එකෙක් කපලා අනිත් එකා තියාගන්න නායකයා දඟලනකොට, පුද්ගලික හිතවත්කම් ක්‍රිකට්වලට එනකොට ඒ කිසි දෙයක් නැතුව අපේ කෙල්ලෝ වීරයෝ බවට පත්වෙලා.
ඉතින් අපට ආඩම්බරයි. හිත් අස්සේ ඉපදෙන සතුට ඇස්වලින් කඳුළු වෙලා එන හැටි දැකබලා ගන්න අවුරුදු ගානකට පස්සේ අපට ඉඩ දුන්නට චමරි අතපත්තු ඇතුළු මේ ටීම් එකේ ඉන්න කෙල්ලෝ ටිකට පින්. ඒ වගේම අර්ජුන 96 ක්‍රිකට් ටීම් එක හදපු විදියටම අතපත්තු ටීම් එකක් හදලා, අර්ජුන රට වටේම කොල්ලෝ ටිකක් එකතු කරලා ටීම් එකක් හදාගත්තු විදියටම මේ ටීම් එක හදලා අපට අලුත් ක්‍රිකට්, පරණ ක්‍රිකට් එක්ක සම්බන්ධ කරලා මතක් කරලා දුන්නට උඹලට බොහොම ස්තුතියි.
හැබැයි මේ කෙල්ලො ආවෙ ඈත පිටිසර ගම්මානවලින්. කොළඹ ප්‍රධාන ඉස්කෝලෙක කියන්න හිටියෙ දේවිබාලිකාවෙ විතරයි. චමරිගෙ ඉස්කෝලෙ ඉබ්බාගමුව. තව එක්කෙනෙක් ආණමඩුවෙ. ඒ අතරෙ මඩම්පැල්ල ඉස්කෝලෙන් ආපු කෙල්ලක් හිටියා. තව මොනරාගලින් ආපු අය, ගම්පහ රත්නාවලියෙන්, ශාන්ත ඇන්තනියෙන්, මොරටු විද්‍යාලයෙන් කෙල්ලො මේ කණ්ඩායමට එකතු වුණා. ශ්‍රී සුමංගලේ, තිහගොඩ ඉස්කෝලෙ, රත්ගම දේවපතිරාජෙ වගේම ඉස්කෝලවලින් ආපු අය මේ ඉන්නෙ. සිරිමාවෝ ජාතික පාසල කියන්නෙත් ඈත ඉස්කෝලයක්.
උදේශිකා ප්‍රබෝධනී මැච් එක ඉවර වෙලා ගෙදර යන්නෙ බස් එකේ. උදේශිකා පිළිගන්න බයිසිකල් අරවා මේවා අරගෙන ගමේ අය එන්නෙ බස් නැවතුමට. සමහරු එක්ක ගියේ බොලෙරෝ ජිප්වල පිටිපස්සෙ. හැබැයි ඒ ආසියානු කුසලානෙ දිනලා. ඉන්දියාව පරද්දලා.
ක්‍රිකට් බෝඩ් එකේ අය ලක්ෂ ගණන් වියදම් කරලා ඩ්‍රෝන් ෂෝ කරනකොට, මේ කෙල්ලන්ට මීට වඩා සාධාරණයක් මීට කලින් කරලා තිබ්බ නම් නියමයි කියලා අපිට හිතෙනවා. ක්‍රිකට්වලට අම්බානක ගෙවීම් කරන රටක ජාතික කණ්ඩායමේ කෙල්ලො තවම යන්නෙ බස් එකේ කියද්දී කාටද ආඩම්බර? ඇත්තටම ක්‍රිකට්වලින් ප්‍රකෝටිපතියො වුණු ක්‍රීඩකයෝ කීදෙනෙක් ලංකාවෙ ඉන්නවද? ඒ එකෙක්ට පුළුවන් එක ටුවර් එකක සල්ලිවලින් දෙකෙන් පංගුවක් වියදම් කරලා අර බස් එකේ ගිය කෙනාට වාහනයක් අරගෙන දෙන්න. එහෙම තවත් අය ඇති. එයාලව නැගිට්ටවන්න.
එදා සනත්ට වාහනයක් නොතිබ්බ කාලෙ අරවින්දගෙ වාහනෙන් ගෙදර ගිය හැටි සනත් කියලා තිබ්බා. ඒ අතීතය හරි ලස්සනයි. ඒත් දැන් ක්‍රිකට් කැතයි. දේශපාලනය, සල්ලි, ලොකු ඉස්කෝල, ආගම්, කළමනාකාරයෝ අරුං මුං ඔක්කොම එකතු වෙලා අපේ ක්‍රිකට් කාලා දැම්මා. දැං අපිට තියෙන්නෙ මෙච්චරයි. ඒ නිසා පුළුවන් නම් මේ ක්‍රිකට් එකවත් උඹලගෙ එක එක ආසාවන්වලට පාවිච්චි නොකර අපිට ආසාවට බලන්න ඉතිරි කරපල්ලා… පින් සිද්ධ වෙනවා.
ජීවන පහන් තිළිණ