පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම් නමුත් එහි ගෝඨාභය රාජපක්ෂ මහතාත්, මහින්ද රාජපක්ෂ මහතා සිටිය නොහැකි බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.
සමගි ජන බලවෙිගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ එම මාධ්‍ය නිවෙිදනය මෙසේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.
වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝගය හමුවේ ව්‍යවස්ථාදායකය සතු වගකීම අත්හල නොහැකි වගකමක් බව සමගි ජන බලවේගය යලි යලිත් අවධාරණය කරමු.ඒ සදහා පියවර ගැනිමේදී රටේ ජනමතය පසෙක ලා කටයුතු කිරිම යථාර්තයක් නොවන බවද සියලු පාර්ශවයන් වටහා ගත යුතුය .
ගරුතර මහා නායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, ඇතුලු සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම වනුයේද සියලු දේශපාලන පක්ෂ එකතුවක් තුළින් ගැටලුවට විසදුම් සෙවිය යුතු බවයි.මෙම යෝජනාව සදහා සමගි ජන බලවේගයේ පුර්ණ සහාය ලබාදීමට කිසිදු පැකිලිමකින් තොරව කටයුතු කරමු .
එහිදි රටේ ජනතාව ඉල්ලා සිටින දේශපාලන වෙනස්කම් සිදුවීම අත්‍යවශ්‍ය වන බවද අප අවධාරණය කරමු. යෝජිත විශ්වාසභංග යෝජනාව පිලිබඳ වු ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ගෙනයාමට පියවර ගනු ඇත.
දැනටමත් පාර්ලිමේන්තුවට බාර දී ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය. පවතින ව්‍යවස්ථාව තුළ ලබාදිය හැකි සාධනීය විසඳුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පිහිටුවීමට කටයුතු කළ යුතුය.
එම සර්ව පාක්ෂික පාලනය තුළ වර්තමාන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු අතර, සියලු පක්ෂ නියෝජනය කරන කමිටුවක් මගින් නිශ්චිත කාල සීමවකට මාර්ග සැලසුමක් සකසා ක්‍රියාත්මක කළ යුතුය .එම කාල සිමාව තුල ජනතාව දැනට මුහුණ දි ඇති ගැටලු නිරාකරණය කොට ව්‍යවස්ථා සංශෝධනය සදහා වු වෙනස්කම් සිදුකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය. මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය බහුතරය පටු අරමුණු හෝ බධාකිරීම් වලින් තොරව ලබාදීමට සියලු පාර්ශවයන් පැහැදිලි ප්‍රතිඥාවක් දිය යුතු වේ.
රංජිත් මද්දුම බණ්ඩාර
මහ ලේකම්,
සමගි ජන බලවේගය.










