මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන දෙගුණ කිරීම ඉලක්ක කරගත් ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) අත්සන් තැබිණ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මරියානෝ බෙයිලාර්ඩ් මහත්වරුන් අදාළ අවබෝධතා ගිවිසුමට අස්සන් තැබූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහභාගී වූ අතර ඇය ඒ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහන් තබා ඇත.
“ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීමටත්, ආර්ථික ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත් ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය කිරීමට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක ආධාරය 80,000කට අධික ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ සම්පත් වර්ධනය කරගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමට ප්‍රයෝජනවත් වේවි”










