ලයිට් හවුස් හෝටලයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු තිදෙනා මගින්ම මාරුවෙයි!
මහින්දගෙන් රනිල් අන්තිමට ඉල්ලපු දේ!
මූල්‍ය අරමුදල සජිත් ගැන විශ්වාසය තියයි!
ආණ්ඩුවට බහුතරය නැතිවෙයි!
පොහොට්ටුව කැඩුවා
පොහොට්ටුවේ මන්ත්‍රීවරු 134 දෙනකුගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රති උපකාර ලෙස පොහොට්ටුව දෙකට කැඩූ බව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පසුගිය සතියේය. එය තහවුරු කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුව සහ පොහොට්ටුව අතර පැහැදිලි බෙදීම සනිටුහන් කරමින් පැහැදිලි ඉරක් ගැසීමට පසුගිය සතිය වනවිට කටයුතු කොට තිබිණි. ජනාධිපතිවරයා එය සිදුකළේ එක්වරම නොව කාලයක් පුරා හීන්සීරුවේ දියත් කළ සූක්ෂ්ම මෙහෙයුමක් හරහාය. අප එම මෙහෙයුමේ තොරතුරු වරින්වර ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමටද කටයුතු කළෙමු. මෙහි උච්චතම සිදුවීම් කිහිපය දැකගන්නට ලැබුණේ පසුගිය සතියේය. ඉන් පළමුවැන්න වූයේ පසුගිය සති අන්තයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති ජනාධිපතිවරයා සහභාගි වූ මහජන රැස්වීමය.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීමක් පැවැත්වෙද්දී එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන්ට ආරාධනා කළද මෙවර ගාලු රැස්වීමේදී තරමක විශේෂත්වයක් දැකගන්නට ලැබිණි. එහිදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ආණ්ඩුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට පණිවුඩ යොමුකොට තිබුණේ ගාලු රැස්වීමට පෙරාතුව සුපිරි ලයිට්හවුස් හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක්ද සමග ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇතැයි කියාය. ඉන් තවත් එහාට යමින් වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට කඩාගැනීමේ මෙහෙයුමක්ද මේ හරහා දියත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුටද මෙම ලයිට් හවුස් හෝටලයේ රැස්වීමට ආරාධනා කර තිබීම හරහාය. එම මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ අලි සහීර් මවුලානා, ෆයිසාල් කාසීම් සහ එච්.එම්.එම්. හාරිස් යන මන්ත්‍රීවරුන්ය. පසුගිය කාලය පුරාම මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමග ඉතා සමීප හිතවත්කමක් පවත්වාගෙන ගොස් තිබූ අතර, ඊට එරෙහිව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා එම මන්ත්‍රීවරුන් තිදෙනාට යම් යම් අවස්ථාවලදී අවවාද කිරීමටද පියවර ගෙන තිබිණි. නමුත් පක්ෂ නායකයාගේ එම අවවාද නොතකා මෙම මන්ත්‍රීවරුන් තිදෙනා නිතර නිතර ජනාධිපති ලේකම් කාර්යාලයට යන එන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, ආණ්ඩුවෙන් උදව් උපකාර ලබාගන්නා ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පසුගිය කාලයේදී ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවට හකීම්ට දිගින් දිගටම දැනුම් දී තිබුණත් හකීම් ඒ සෑම අවස්ථාවකදීම ඔවුන්ට කියා තිබුණේ නිසි වේලාවේදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මගින් ජනාධිපතිවරණයට අදාළ තීන්දුව ගැනීමට නියමිත යැයි කියාය. එම නිසා හදිසි වී ඉක්මන් තීරණ නොගන්නා ලෙසද හකීම් එම මන්ත්‍රීවරුන් තිදෙනාට දැනුම් දී තිබිණි. නමුත් එම උපදෙස්ද නොතකා මුස්ලිම් කොංග්‍රසයේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනාද ඉකුත් සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව ගාල්ල ලයිට් හවුස් හෝටලයට පැමිණ සිටියහ.
මුස්ලිම් තිදෙනා මගින්ම යයි
කෙසේ වෙතත් මෙම දැනුම්දීමට අනුව ආණ්ඩුව සිතා සිටියේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 75 දෙනකු පමණ ලයිට් හවුස් හෝටලයේ පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහයට පැමිණෙනු ඇතැයි කියාය. නමුත් මුස්ලිම් කොංග්‍රසයෙන්ද පැමිණ සිටි මන්ත්‍රීවරුන් තිදෙනා සමග ලයිට් හවුස් හෝටලයට පැමිණ තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් 40කට ආසන්න ප්‍රමාණයක් පමණි.
සෙනසුරාදා මෙම හමුව පැවැත්වීමට පෙර පොහොට්ටුවේ සහාය කෙසේ හෝ ජනාධිපතිවරයාට ලබාගැනීම සඳහා විවිධ උපාය උපක්‍රම කිහිපයක්ම තිරය පිටුපස ක්‍රියාත්මක වී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ පසුගිය සිකුරාදා (26) දිනයේදී ජනාධිපතිවරයා විසින් පොහොට්ටුවේ නායක මහින්ද වෙත නිල වශයෙන් ලිපියක් යවමින් පොහොට්ටුවේ සහාය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටීමය. නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබීමත් සමග සෙනසුරාදා පෙරවරුවේම තවත් විශේෂ පුද්ගලයන් දෙදෙනකු විිජේරාමේ පිහිටි මහින්දගේ නිල නිවෙස වෙත පැමිණියහ. එම විශේෂ පුද්ගලයන් දෙදෙනා වන්නේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයකු වන සාගල රත්නායකත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්රේමජයන්තත්ය. මෙහිදී සාගල ගැන කෙසේ වෙතත් සුසිල් ගැන නම් විශේෂ සටහනක් තැබිය යුතුය. ඒ, පසුගිය කාලයේදී රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් සුසිල් දැරූ දැඩි මතය හේතුකොට ගෙනය. එම මතය කොතරම් දැඩි වූවාද කියනවා නම් නැවතත් රාජපක්ෂවරුන් සමග කිසිදු ඇයිහොඳැයියක් නොපවත්වන බව සුසිල් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශයට පත්කොට තිබිණි. යූටියුබ් නාලිකාවල ඇති එවැනි ප්‍රකාශ හෝ පරණ පත්තර පිටු පෙරළා බලන්නෙකුට සුසිල් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශ පහසුවෙන්ම සොයාගත හැකිය. එසේ කියූ සුසිල් එදින සාගලත් සමග නැවත වතාවක් මහින්දගේ නිවෙසට පැමිණ ජනාධිපතිවරයාට සහාය දක්වන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්හ. මෙහිදීද මහින්ද ඒ දෙදෙනාටම දුන්නේ එකම පිළිතුරකි. එනම් සඳුදා දිනයේදී පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත්, එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත්ය. කෙසේ වෙතත් මෙම පිළිතුරු ලබාදීමේදී මහින්දගේ මුහුණේ ඉරියව්වලින් පොහොට්ටුව සඳුදා දිනයේදී ගනු ලැබීමට නියමිත තීරණය පිළිබඳ ලියවී තිබූ ආකාරය සාගලටත්, සුසිල්ටත් දැකගන්නට ලැබිණි. ඒ බව බොහෝ දුරට සුසිලුත්, සාගලත් එදින සවස ගාල්ල රැස්වීම ආරම්භ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට දැනුම් දුන්නාට කිසිදු සැකයක් නැත. ඒ බව ලයිට් හවුස් හෝටලයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණයෙන්ම වටහා ගැනීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට හැකියාවක් ලැබුණාට සැකයක් නැත. කෙසේ වෙතත් බලාපොරොත්තු වූ තරමේ මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් රැස්වීමට සහභාගි වී නොතිබූ නිසා මුස්ලිම් කොංග්‍රසයෙන් පැමිණි මන්ත්‍රීවරුන් තිදෙනාද කාටත් හොරා රැස්වීමට සහභාගී නොවීම හෝටලයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
නැග්ග සජබ රහුමාන් කව්ද?
එමෙන්ම ගාලු රැස්වීමෙන් පසු ආණ්ඩුවේ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියේ සජබයේ මන්ත්‍රීවරයකු වන ඉෂාක් රහුමාන් මහතා ගාලු රැස්වීමේදී ජනාධිපතිවරයාට සහාය ලබාදෙමින් වේදිකාවට ගොඩවී ඇතැයි කියාය. කෙසේ වෙතත් පසුව සජබ ප්‍රධානීන් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉෂාක් රහුමාන් ආණ්ඩුවට එක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020දී 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේ යැයි කියාය. එවක සිට ඉෂාක් රහුමාන් ආණ්ඩුව සමග සිටින බවත්, පසුව රනිල් ජනාධිපති වූ පසු දිගටම ඔහුත් සමග සිටි බවත්, ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීමට ඇමෙරිකාවට ගිය අවස්ථාවේ ඉෂාක් රහුමාන්ද ජනාධිපතිවරයා සමග ඇමෙරිකාවට ගිය බවත්ය. ඒ අනුව කාලයක් තිස්සේ කරවල කෑල්ලක් මෙන් සිටි ඉෂාක් රහුමාන් මේ වනවිට අලුත් මාළු කෑල්ලක් සේ පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද සජබ මන්ත්‍රීවරු සඳහන් කර සිටියහ.
පොහොට්ටුව නැතිව බෑ
කෙසේ වෙතත් මේ ආකාරයට තමන්ට පොහොට්ටුවේ සහාය නොලැබෙනු ඇති බවත්, කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරයා වෙත ලබාගත යුතු බවත්, ජනාධිපතිවරයා සමීපයේ සිටින පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් වන රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ යන මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ වරක් දෙවරක් නොවේ. ඊට හේතු වශයෙන් ඔවුන් කියා සිටියේ මොන තත්ත්වයක් යටතේ වුවද මැතිවරණයක් දියත් කළ හැකි ශක්තිමත්ම පක්ෂ යාන්ත්‍රණය තවමත් පවතින්නේ පොහොට්ටුව සතුව යැයි කියාය. ගම් දනව් සිසාරා විහිදී ඇති එම පක්ෂ යාන්ත්‍රණයේ ශක්තිය කෙසේ හෝ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්කර ගත යුතු බවත්, එසේ නොවුණහොත් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය දියත් කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් එම ඇමැතිවරු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. මේ බව තහවුරු වන එක්තරා සිදුවීමක් මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාගේ ප්රචාරක කණ්ඩායම් අතර පැවැති සාකච්ඡාවකදී සිදුව තිබිණි. එහිදී එක්තරා එජාප ප්‍රබලයකු ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් වාදනය කර ඇති අතර, ඊට ශ්රීලනිපය නියෝජනය කරන දුමින්ද දිසානායක දැඩි විරෝධය පළ කොට තිබිණ.
‘මේ ඔබතුමාලා සින්දු හදන්න… කැම්පේන් හදන්න ඉස්සෙල්ලා ගම් මට්ටම හදාගෙන ඉන්න. යූ.ඇන්.පී. එකක් කියලා කිසිම දෙයක් දැන් ගමේ ඉතුරු වෙලා නෑ. නිකං හරි පොහොට්ටුව ගැළවුණොත් අපි ඡන්ද කරලා හමාරයි…’ යනුවෙන් එහිදී දුමින්ද පැවැසීමත් සමග ඔහු හා එජාප ප්‍රබලයා අතර උණුසුම් සංවාදයක් සිදුව ඇති බවක්ද ආරංචිය.
මේ අනුව, යම් හෙයකින් පොහොට්ටුවේ සහාය තමන්ට නොලැබුණහොත් බරපතළ තත්ත්වයකට මැතිවරණ ව්‍යාපාරය ඇදවැටෙනු ඇති බවට යම් වැටහීමක් ජනාධිපතිවරයාටද තිබුණාට සැක නැත. ඒ නිසාමදෝ ගාලු රැස්වීම නිමවා කොළඹ පැමිණි වහාම ජනාධිපතිවරයා කළේ පසුගිය ඉරිදා උදේම නැවත වතාවක් මහින්ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. ඒ අනුව එදිනද සාගල සමග මහින්දව මුණගැසී සාකච්ඡා කළත් එහිදීද මහින්දගෙන් නිශ්චිත පිළිතුරක් දැකගන්නට තිබුණේ නැත. මෙහිදීද මහින්ද කියා සිටියේ පක්ෂය ගන්නා තීන්දුව සමග තමන්ද සිටිනවා යැයි කියාය.
නාමල් ලොහාන්ව දොට්ට දමයි
මේ සිදුවීම් අතරවාරයේ කෙසේ හෝ මහින්දව ජනාධිපතිවරයා වෙත නම්මවා ගැනීම සඳහා තවත් මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කොට තිබිණි. ඉන් එක් මෙහෙයුමක් බාරදී තිබුණේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේටය. ලොහාන් යනු පසුගිය කාලය පුරාම මහින්ද සමග ඉතා සමීපව දේශපාලනය කළ අයෙකි. ජනාධිපතිවරයා ලොහාන් හරහා මහින්දගේ සහාය ලබාගැනීමට සැලසුම් කර තිබීම නිසා, ලොහාන්ද පසුගිය කාලය පුරාම රෑට රෑට මහින්දගේ විජේරාම නිවසට පැමිණ රනිල්ගේ ගුණ වයමින් මහින්දගේ ඔළුව සේදීමට පියවර ගෙන තිබිණි. මේ බව වටින් ගොඩින් නාමල්ටද දැනගන්නට ලැබී තිබිණි. මේ නිසා නාමල්ද පසුගිය කාලය පුරාම උදේ සිට රෑ වනතුරු මහින්දව මුණගැනීම සඳහා යන එන අයගේ තොරතුරු ගැනීමට කටයුතු කොට තිබිණි. එසේ පැමිණෙන පිරිස් මහින්ද සමග කතාකරන්නේ මොනවාද, මහින්දට ගෙන එන යෝජනා මොනවාද යන්න පිළිබඳ විමසිල්ලෙන් පසුවිය. එහිදී නාමල්ට දැනගන්නට ලැබුණේ නිතර නිතර රාත්‍රී කාලයේදී ලොහාන් මහින්දව හමුවීමට පැමිණ ඔළුව හෝදන වැඩේ බාරගෙන ඇතැයි කියාය. මේ නිසාම නාමල් මහින්දගේ නිවසේ සිටින දෙතුන් දෙනකුටම දැනුම් දී තිබුණේ ලොහාන් පැමිණෙන වෙලාව පිළිබඳ තමන්ට දැනුම් දෙන්නැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ මහින්දගේ නිවසින් පැමිණි හදිසි ඇමතුමකින් කියවුණේ ලොහාන් පැමිණ මහින්ද සමග සාකච්ඡා කරමින් සිටින බවකි. ඒ අනුව නාමල් වහාම කළේ කඩාගෙන බිඳගෙන මහින්දගේ නිවසට පැමිණීමය. ඒ එන විටද ලොහාන් සිටියේ රනිල් ගැන හොඳ කිය කියා මහින්දගේ ඔළුව සෝදමින්ය. මෙය දුටු නාමල්ට යකා වැහිණි. ඒ අනුව නාමල් කෙළින්ම ලොහාන්ගේ මුහුණටම කියා සිටියේ, ‘ලොහාන් මේ එක එක්කෙනාගේ කොන්ත්‍රාත් අරගෙන අපේ පවුල ඇතුළේ ඔයා ප්‍රශ්න හදන්න එන්න එපා…’ යැයි කියාය. එහිදී ලොහාන්ද රනිල්ගේ පැත්ත ගෙන දිගින් දිගටම අදහස් දක්වද්දී නාමල් නැවත වතාවක් කිව්වේ දේශපාලනය කළාට ගැටලුවක් නොමැති නමුත්, එක එක්කෙනාගේ කොන්ත්‍රාත් ගෙන ඒ අනුව කටයුතු නොකරන ලෙසය. මෙහිදී දෙදෙනා අතර තරමක් උණුසුම් සංවාදයක් යද්දී එය තවත් උණුසුම් වූයේ ලොහාන්ගේ කටින් පැන්න එක්තරා ප්‍රකාශයක් නිසාය. පවුල කඩන්න එන්න එපා යනුවෙන් නාමල් කී කතාවට ප්‍රතිචාර දක්වමින් එහිදී ලොහාන් කියා තිබුණේ ‘ඕගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම බණ්ඩාරනායක පවුල කැඩුවෙත්’ යැයි කියාය. ලොහාන්ගේ මේ කතාවට නාමල්ට අසූහාරදාහට තදවිය.
‘ඕගොල්ලෝ අපේ තාත්තව විකුණගෙන තාත්තගෙ නමින් පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් මෙතන එනවා අපේ පවුල ඇතුළේ ප්‍රශ්න ඇතිකරන්න. ඒවට එන්න එපා. කරුණාකරලා එළියට යන්න. ආයෙ මෙහෙට එන්න එපා.’ යනුවෙන් කියමින් නාමල් එහිදී ලොහාන්ව මහින්දගේ විජේරාම නිවසින් එළියට දැමීමට පියවර ගත්තේය. එමෙන්ම මෙම සිදුවීම සිදුවී මොහොතක් යෑමට මත්තෙන් විවිධ මාධ්‍ය හරහා එය පුවතක් ලෙස එළියට ආ ආකාරයක්ද දැකගත හැකි විය.
ප්‍රසන්නට ප්‍රහාර
මේ ආකාරයට ආණ්ඩුව සහ පොහොට්ටුව අතර මතුවෙමින් පැවැති ගැටුමේ ඊළඟ උච්ඡතම අවස්ථාව සනිටුහන් වූයේ සඳුදා පැවැති අතිශය තීරණාත්මක පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල රැස්වීම හරහාය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයන්, පක්ෂයේ නිලධාරී මණ්ඩලය ඇතුළුව එහි 80කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
ආරම්භයේදීම රැස්වීම උණුසුම් වූයේ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වීමත් සමගය. මෙහිදී ඊට එරෙහිව පළමුව අදහස් පළ කළේ ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න කියා සිටියේ පොහොට්ටුවේ සහයෝගය රනිල්ට නොදුන්නොත් නැවත වතාවක් පොහොට්ටුවට පාරේ ගුටිකන්න වෙයි කියාය. නැවත වතාවක් ගෙවල් ගිනිතබාගන්න වෙයි කියාය. ඒ සමගම කිසිවකුත් නොසිතූ ආකාරයට ප්‍රසන්නට හතර වටෙන්ම ප්‍රහාර එල්ල වීම ආරම්භ වුණු අතර, ඊට මූලිකත්වය ගත්තේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයන්ය.
‘මේ ඔබතුමා අපිට තර්ජනය කරන්න එන්න එපා. රනිල් ආවා කියලා වෘත්තීය සමිති දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. ගෙවල් ගිනිතිබ්බා කියලා අපි කවදාවත් පක්ෂය පාවාදුන්නේ නැහැ. 77ත් අපේ ගෙවල් ගිනිතිබ්බා. ඒත් අපි පක්ෂයත් එක්ක දේශපාලනය කළා. මේ හදන්නේ රනිල් ශ්‍රීලනිපයට කරපු දේම පොහොට්ටුවටත් කරන්න. රනිල් යූ.ඇන්.පී. එකට කරපු දේම පොහොට්ටුවටත් කරන්න. මේවට අපි බය නෑ’ යනුවෙන් වෘත්තීය සමිති නායකයන් ප්‍රකාශ කිරීමත් සමග පිරිස දෙපැත්තට බෙදී විශාල වාදයකට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී ඉදිරිපස සිටි මහින්දානන්ද පිටුපස හැරී බලමින් ‘කවුද හූ කියන්නේ’ යැයි කියමින් වෘත්තීය සමිති නායකයන් සමග පැටලීමට අවස්ථාවක් උදාකරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.
කංචන සමාව ගනී
ඒ සමගම කතා කළේ කංචන විජේසේකරය. කංචන කීවේ මෙය කාලයක් තිස්සේ පැවැති කුමන්ත්‍රණයක් යැයි කියාය.
‘මට පේන්නේ මේක කාලයක් තිස්සේ තියෙන කුමන්ත්‍රණයක් වගේ. එක වෙලාවක බැසිල් ඇමැතිතුමා අපිට ඇමැතිකම්වලින් අයින් වෙලා එන්න කිව්වා. ඒක කළේ නැති එකේ පළිය තමයි මේ ගන්නේ’ යැයි කියමින් කංචන බැසිල්ගේ නම සඳහන් කිරීමත් සමග දැඩි ලෙස කෝපයට පත් බැසිල් උස් හඬින් විමසා සිටියේ ‘කංචන නිකම් බොරු කියන්න එන්න එපා. මම කවද්ද ඕගොල්ලන්ට ඇමැතිකම් දාලා එන්න කිව්වේ…?’ යැයි කියාය. බැසිල්ගේ මේ ප්‍රශ්න කිරීමෙන් තමන්ට කට වැරැදුණු බව කංචනට වැටහිණි. ඒ අනුව දෙවරක්ම බැසිල්ගෙන් සමාව ඉල්ලූ කංචන කියා සිටියේ තමන්ට එය වැරැදීමකින් කියවුණා යැයි කියාය.
මේ සංවාදයෙන් පසුව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් පක්ෂයට යෝජනාවක් ගෙන එමින් ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර සිටියේය. ඊට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් පමණක් ලැබීම විශේෂ සිදුවීමක් විය.
වජිරගෙ ගෙදරත් හමුවක්
කෙසේ වෙතත් පොහොට්ටු පක්ෂ කාර්යාලයේ මේ අයුරින් පොහොට්ටු දේශපාලන මණ්ඩලය රැස්වෙද්දී කොළඹ මල් පාරේ වජිර අබේවර්ධනගේ නිවසේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබිණි. ජනාධිපතිවරයා කැඳවූ රැස්වීමක් බව ප්‍රකාශ වූ නිසා පොහොට්ටු රැස්වීමට සහභාගි වී සිටි සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් ඊටද එක්ව සිටි ආකාරය දැකගත හැකි විය. මෙම හමුවේදී ප්‍රසන්න – මහින්දානන්ද ආදීන් පොහොට්ටුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරද්දී කිහිප දෙනකුම ඊට එරෙහිව යමින් කියා සිටියේ පොහොට්ටුව සමග මේ මොහොතේ අවුලක් හදාගැනීමට ගියහොත් ඡන්දය කිරීම අසීරු බවත්, ප්රචාරක ව්‍යාපාරය ගමට ගෙන යෑමට පොහොට්ටුවේ පක්ෂ යාන්ත්‍රණය අවශ්‍ය නිසා කෙසේ හෝ පොහොට්ටුවද ඊට එක්කරගත යුතු බවත්ය. එහි යම් සත්‍යතාවක් තිබීම නිසා නැවත වතාවක් මහින්ද සමග කතාකිරීම කංචනට පැවරීමට පිරිස කටයුතු කළහ. ඒ අනුව සාකච්ඡාව අවසන් වුවද ඉන් අනතුරුව එම සාකච්ඡාවේ සිටි පිරිසක් මහින්ද හමුවීමට විජේරාමේ නිවසටද, බැසිල් හමුවීමට බත්තරමුල්ලේ නිවසටද ගිය ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය.
92ක් ජනාධිපතිට
ඉන් අනතුරුව තවත් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ පසුගිය බදාදා දිනයේදීය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් වීම නිසා කිසිදු භේදයකින් තොරව ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. නමුත් බොහෝ දෙනාට මෙය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට වඩා එය දේශපාලන රැස්වීමක් බවටත්, මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදඟා උපක්‍රමයක් ලෙස මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලෙස හඳුන්වා දී ඇති බවටත් වැටහී ගියේ රැස්වීම ආරම්භ වී සුළු මොහොතක් ගතව යනවිටය. එහිදී රමේෂ් පතිරණ නැගී සිටිමින් මන්ත්‍රී කණ්ඩායමට යෝජනාවක් රැගෙන එමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු දෙනාම ජනාධිපතිවරයාට සහාය දැක්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. එම යෝජනාව ස්ථිර කළේ එස්.බී.ය.
මේ ආකාරයට කලින් සැලසුම් කළා සේ සාකච්ඡාවේදී විවිධ අය අදහස් දක්වද්දී ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට වඩා වෙන යමක් මෙහි සිදුවන ආකාරයක් ඇතැම් මැති ඇමැතිවරුන්ට වැටහිණි. ඒ අනුව මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සාකච්ඡාව ආරම්භයේදීම රැස්වීමෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ පිටව ගිය එක් අයකු වූයේ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිය. පවිත්‍රා ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දී රැස්වීමෙන් පිටව යෑමට කටයුතු කළාය.
ආණ්ඩුවට බහුතරය නෑ
රැස්වීමේ ඊළඟ ගිනිගෙඩිය පත්තු වූයේ සාකච්ඡාව අවසාන වූ වහා ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ විශේෂ නිවේදනයක් හේතුවෙනි. එම නිවේදනයෙන් දැක්වුණේ එදින පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් 92ක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට තීන්දු කළා යැයි කියාය. මූලිකවම එම නිවේදනය සැලසුම්සහගතව මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ පොහොට්ටුවට එරෙහිව යම් ‘මානසික මෙහෙයුමක්’ හෙවත් ‘සයි-ඔප්’ එකක් ලෙසය. නමුත් ප්රශ්නය වූයේ ජනාධිපති මාධ්‍ය ඒකකය කී ආකාරයට පොහොට්ටු මන්ත්‍රීවරු 92ක් එහි සිටියාද, සිටියා නම් ඒ කවුරුන්ද යන්න මුල්කරගෙනය. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් එහි සිටි බව කියවුණද පොහොට්ටුවෙන් පරිබාහිර පාර්ශ්ව වූ නිමල් සිරිපාල පාර්ශ්වය, ඩග්ලස් දේවානන්දා පිල, ජීවන් තොණ්ඩමන් පිල, නිමල් ලන්සා පිල, පිල්ලෙයාන් පිල ආදී පාර්ශ්ව කිහිපයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන් එහි සිටි ආකාරයක් දැකගත හැකි විය.
මෙම රැස්වීමේදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ රැස්වීම අතරතුර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පමණක් අස්සන් කිරීමට වෙනම කොලයක් සූදානම් කොට තිබීමය. ඊට කිහිප දෙනකු අස්සන් තැබීම සිදුකළද අස්සන් නොකළ පොහොට්ටු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එහි සිටියහ. රැස්වීමට පොහොට්ටු මන්ත්‍රීවරු 92ක් එක්ව සිටි බව කියවුණද අස්සන් ගැනීමෙන් පසු එහි සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 58ක් බව තහවුරු වී තිබිණි. නමුත් එම ප්‍රමාණය මාධ්‍ය මගින් හෙළිදරව් නොකළේ සහභාගි වී සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය අවම වීම නිසාය.
බැසිල් වැඩ පටන් ගනී
මෙම රැස්වීම අවසන් වී ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92කගේ සහාය ජනාධිපතිවරයාට හිමිවන බවට නිවේදනයක් නිකුත් වීමත් සමග පොහොට්ටුවද කලබලයට පත්ව වහාම එම පුවතේ ඇත්ත නැත්ත සොයන්නට පියවර ගත්හ. ඒ අනුව ඔවුන් රැස්වූයේ පොහොට්ටු කාර්යාලයේ මේ වනවිට පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේය. මෙම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිළිබඳ පළමු වරට රටට හෙළි කළේ වෙන කවුරුවත් නොව ‘රාජ්‍ය රහස්’ තීරයය. මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ කාටත් හොරා බැසිල් බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාල පරිශ්‍රයේ අලුත්ම පරිගණක සහ කාර්යාලයීය උපකරණ ස්ථාපිත කොට නවීන පන්නයේ දැවැන්ත මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. ඊට අදාළ ඡායාරූපද අප එහිදී පළමු වරට රටට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව බැසිල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මෙම නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ අදාළ හමුව පිළිබඳ රැස්වීමේ සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග යම් සමාලෝචනයක නිරත විය.
මෙහිදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ ඡායාරූප සියුම් නිරීක්ෂණය කෙරුණු අතර, එහිදී ඔවුන්ට පැහැදිලිව දැකගන්නට ලැබුණු කාරණාව වූයේ මන්ත්‍රීවරුන් 92ක් පැමිණි බව සඳහන් වුවද එම රැස්වීමට පැමිණ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 80ක් පමණ බවය. ඉන්ද 58ක් පමණ පොහොට්ටු මන්ත්‍රීවරුන් බවත්, අනෙක් සියල්ල වෙනත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවත් බැසිල්ට පෙනී ගියේය. එමෙන්ම පැමිණ සිටි පිරිස කතා කළේ මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡාවට එක්ව සිටි මන්ත්‍රීවරු බැසිල්ට දැනුම් දීමට පියවර ගත්හ.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ජනාධිපතිවරයාට සහායට පොහොට්ටුවේ 92ක කණ්ඩායමක් සිටින බවට මාධ්‍ය නිවේදනයක් පළකරද්දී ඔවුන්ට අමතකව ගිය තවත් විශේෂ කරුණක් පිළිබඳවද මෙම හමුවේදී අවධානයට ලක්විය. ඒ, දැන හෝ නොදැන එම නිවේදනය හරහා ආණ්ඩුවට බහුතරය නොමැති බවට මෙම නිවේදනයෙන් තහවුරු කොට ඇති බවය. ආණ්ඩුව මෙතෙක් කල් 113ක බහුතරය ආරක්ෂා කරගෙන ආවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිවය. නමුත් මෙම නිවේදනයෙන් පසු ඉදිරියේදී ආණ්ඩුවට අණ පනත් සම්මත කරගැනීමේදී බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. මන්ද යත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වුණද මහ මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට තවත් මාස 3ක පමණ කාලයක් ගතවන නිසාය. ඒ අනුව ඉදිරි මාස 3ක කාලය ඇතුළත මතුව ඇති වාතාවරණය හමුවේ ආණ්ඩුවට කිසිදු ආණ පනතක් සම්මත කරගැනීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
එසේම මේ 92ක කණ්ඩායම පිළිබඳවද මේ වනවිට බරපතළ අර්බුදයක් මතුව තිබේ. ඒ, එම රැස්වීම අවසන් වීමෙන් පසු පොහොට්ටුවේ බහුතර මන්ත්‍රී පිරිසක් මහින්ද හමුවීමට මහින්දගේ නිවසටත්, බැසිල්ව හමුවීමට බැසිල්ගේ නිවසටත් පැමිණිම නිසාය. එසේ පැමිණි මෙම මන්ත්‍රීවරු රැස්වීමේ සිදුවූ සියලු සිදුවීම් අකුරක් නෑර මහින්දටත් බැසිල්ටත් දැනුම් දීමට පියවර ගත්හ. ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයාත් සමග සිටිනවා යැයි කියන පොහොට්ටු කණ්ඩායමේ ප්‍රමාණය තවදුරටත් අඩුවීමේ ලකුණු දැනටමත් පහළ කොට අවසානය. මෙහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහින්දට දැනුම් දී තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බවට දැනුම් දී තිබුණු නිසා ඊට සහභාගි වූ බවත්, කිසිසේත්ම මහින්ද සහ පොහොට්ටුව අතහැර දේශපාලනය කිරීමට කටයුතු නොකරන බවත්ය.
ප්‍රසන්න තිරුපතිවල
කෙසේ වෙතත් මේ ආණ්ඩු පක්ෂ රැස්වීමට මේ වනවිට ජනාධිපතිවරයාගේ අති සමීපතමයකු බවට පත්ව සිටින ප්‍රසන්න රණතුංග සහභාගි වී සිටියේ නැත. ඒ පිළිබඳ සොයා බලද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබුණේ ‘තිරුපති’ දෙවියන් වන්දනාමාන කිරීම සඳහා ප්‍රසන්න ඒ වනවිට ඉන්දියාව බලා ගොස් සිටින බවකි. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බාරයක් වීමට ගිය බවක්ද එහිදී කියවිණි. කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු ප්‍රසන්න ඉන්දියාවේ සිටම මහින්දට ලිපියක් යොමුකරමින් කියා සිටියේ තමන්ගේ සහාය ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බවකි.
මහින්ද හිනාවෙනවා
මේ සියලු සිදුවීම් දෙස බලන විට මේ වනවිට රනිල් සහ මහින්ද අතර තිබුණු දීගය නිල වශයෙන් බිඳවැටී අවසානය. ඒ බව ප්‍රසිද්ධ කෙරුණු පසුගිය සඳුදා දින රාත්‍රියේ ජපාන තානාපතිවරයාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඊට මහින්ද සහ ශිරන්තිද එක්ව සිටි අතර, රාත්‍රී භෝජන සංග්‍රහයේදී සියලු දෙනාම වට කරගත්තේ වෙන කාවවත් නොව මහින්දවය. අප මීට සතියකට ඉහතදී ‘මව්රට’ පුවත්පතේ පළකළ විශේෂ ලිපියක් මගින් දේශපාලනයේ රියල් ගේම්කාරයා රනිල් නොව මහින්ද බව තහවුරු කෙරෙන විග්‍රහයක් පළකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ බොහෝ දෙනා දේශපාලනයේ හොඳම ගේම් ගසන්නේ රනිල් බව සිතා සිටියත්, රනිල් ගැසූ ඒ සියලු ගේම් ආපිට කැරකී ගිය බවත්, මහින්ද ගැසූ ගේම් තිතට වැඩකළ ආකාරයත්ය. රනිල් පොහොට්ටුව දෙකට කඩා තිබෙන මේ මොහොතේ පවා මහින්ද එම රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වී සිටියේ කිසිදු දෙයක් නොවූ පරිද්දෙන් සිනාමුසු මුහුණින් යුතුවය. තමා සමග කතාබහ කළ සියලු දෙනා සමගම මහ හඬින් සිහාසෙමින් විහිළු තහළු කළ මහින්ද සිදුවෙමින් පවතින පිල් මාරුකිරීම් පිළිබඳ සියල්ලන්ම විමසද්දී ඊටද ලබාදුන්නේ ඉතා අපූරු පිළිතුරකි.
‘අයියෝ… ඔය එකඑක්කෙනා ගියාට ප්‍රශ්නයක් නෑ. රනිල්ට අපේ අයගේ ඔළු ටික ගන්න පුළුවන්. හැබැයි ඡන්ද ටික තියෙන්නේ අපි ළඟ….’ යන්න එහිදී මහින්ද සිනාසෙමින් දුන් පිළිතුර විය.
ගේම පටන්ගත්තා
සැබැවින්ම නියම ගේම් ගැසීමේ චරිතය පිළිබිඹු කරමින් පසුගිය දින කිහිපයේදීම රාත්‍රී කාලයේ විජේරාමයට පැමිණි බොහෝ පිරිස් සමග මහින්ද දැන් යළිත් සිය ගේම් ගැසීම ආරම්භ කොට තිබේ. අපට ඇති ආරංචිවලට අනුව කියැවෙන්නේ රනිල් ළඟට ගියා යැයි කියන බොහෝ දෙනා පසුගිය දින කිහිපය පුරාම නැවතත් මහින්ද ළඟට පැමිණ ඒ පැත්තේ සිදුවන සියලු දෑ අකුරක් නෑර මහින්දගේ කනේ තියනවා යැයි කියාය. මීට අමතරව පසුගිය සතියේ පළාත් පාලන ආයතන සියල්ලගේම පාහේ හිටපු සභාපතිවරුන් දිගින් දිගටම පැමිණ මහින්ද සහ බැසිල් හමුවෙමින් දැනුම් දී තිබුණේ රනිල් සමග දීග ගිය මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් ඔවුන්ට ලබාදෙන ලෙසත්, ඔවුන් කළාට වඩා හොඳට ඒ ආසන සංවිධාන කර පෙන්වීමට සූදානම් බවත්ය. ඒ අනුව මහින්ද මේ වනවිට සූදානමින් සිටින්නේ රනිල් පොහොට්ටුවට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දැක්වීමට සැලසුම් කරමිනි. ඒ අනුව කොටස් වශයෙන් මෙම ප්‍රතිප්‍රහාරය සැලසුම් කර ඇති බවත්, යම් හෙයකින් රනිල් ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුනහොත් ඉන් අනතුරුව දරුණු ඝනයේ ප්‍රතිප්‍රහාර කිහිපයක් පොහොට්ටුව පැත්තෙන් සූදානම් කර ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
රනිල් ආයෙත් ඇවිත්
මේ අතර පොහොට්ටුවෙන් පැමිණි මැති ඇමැතිවරුන්ගේ දැඩි ඉල්ලීම හේතුකොට ගෙන කෙසේ හෝ පොහොට්ටුව යළිත් ජනාධිපතිවරයාට සහාය දක්වන ස්ථාවරයකට ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී නැවත වතාවක් මහින්ද හමුවීමට පියවර ගෙන තිබිණි. මෙම හමුව සඳහා අවශ්‍ය කපුකම සහ පසුබිම සකස් කළේ වෙන කවුරුවත් නොව මහින්ද ජනාධිපතිවරයාව සිටි සමයේ මහින්ද ළඟම සිටි ප්‍රබල ලේකම්වරයෙකි. ගෝඨා ජනාධිපති ධුරය අතහැර ලංකාවෙන් පලායෑමෙන් පසු රනිල්ට ජනාධිපති ධුරය ලබාදීම සඳහා තිරය පිටුපස විශාල වැඩකොටසක් සිදුකළේද මේ කියන ලේකම්වරයාමය. ඒ අනුව මහින්ද – රනිල් හමුව පැවැත්වුණේ එම ලේකම්වරයා විසින් ග්‍රෙගරි පාරේ ඉදිකොට ඇති සුවිසල් මන්දිරය තුළය.
මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා මහින්දගෙන් විමසා ඇත්තේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාදැයි කියාය. මහින්ද ඊට කෙළින්ම පිළිතුරු දෙමින් කියා සිටියේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, ඒ ධම්මික පෙරේරා බවත්ය. එවිට සිනාසෙමින් පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ නම් ධම්මික පෙරේරා ගනු ඇත්තේ 5%ක ඡන්දය ප්‍රමාණයක් පමණක් වනු ඇති බවත්, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත්ය. ඊට මහින්දද සිනාසෙමින් සඳහන් කොට ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල එන විට ජයග්‍රාහකයා කවුරුන්ද යන්න රටටම බලාගැනීමට හැකිවනු ඇතැයි කියාය.
මහින්දගේ උත්තරේ
මේ ආකාරයෙන් මුලදී තරමක චණ්ඩි ටෝක් දෙමින් ජනාධිපතිවරයා කතා කළද අවසානයේදී මහින්දගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කිරීමට කටයුතු කළේය. ඒ, තමන්ට කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ලබාදෙන ලෙසත්, තමන්ට සහාය පළකරමින් පැමිණෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත වතාවක් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්ය.
ඊටද මහින්ද දී තිබුණේ අපූරු පිළිතුරකි.
‘ඔයා මාව විතරක් මේ විදියට හම්බ වෙන්න එන එකේ කිසිම තේරුමක් නෑ. මොකද පොහොට්ටුව කියන්නේ පක්ෂයක්. මේක එක පුද්ගලයෙක් නෙවෙයි. දැන් ඔයා අපේ පක්ෂය කඩලනේ තියෙන්නේ. ඒ හින්දා පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා තීරණයකට එන්න. ඔයාට කවුරු හරි උපදෙස් දෙනවා නම් මගෙත් එක්ක කතාකරලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා, ඒක වෙන්නේ නැති දෙයක්. ඔයා කොච්චර කට්ටිය කඩලා ගත්තත් කමක් නෑ. හැබැයි පක්ෂයත් එක්ක කතාකරලා ඒවා විසඳගන්න. අනෙක ඔයත් එක්ක එන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට නාමයෝජනා දෙනවද නැද්ද කියන එක මම නෙවෙයි පක්ෂය තීන්දු කරාවි….’ යන්න එහිදී මහින්ද රනිල්ට කී අවසාන දැනුම් දීම විය.
අලුත් නොම්මර මෙහෙයුමක්
මේ ආකාරයට පොහොට්ටුව ජනාධිපතිවරයාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පැමිණ තිබියදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පසුගිය සතිය වන විට අලුත් මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර තිබිණි. ඒ, නැවත වතාවක් සජබ මන්ත්‍රී කණ්ඩායමක් කෙසේ හෝ ජනාධිපතිවරයාගේ පැත්තට ගැනීම සඳහාය. දිගින් දිගටම මේ සඳහා ඉල්ලීම් කරමින් ලැබුණු දුරකතන ඇමතුම් සජබ මන්ත්‍රීවරුන්ට කරදරයක් වී තිබීම නිසා පසුගිය කාලය පුරාම එම දුරකතන අංකවලින් එන ඇමතුම් ප්‍රතික්ෂේප කිරීමට හෝ නොතකා සිටීමට සජබ මන්ත්‍රීවරුන් කටයුතු කොට තිබිණි. නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අලුත් දුරකතන අංක ඔස්සේ නැවත වතාවක් සජබ මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදෙමින් කෙසේ හෝ ආණ්ඩුවට එක්වන ලෙස ඉල්ලීම් කරමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
දෙන්නෙක් පොහොට්ටුවට
කෙසේ වෙතත් මේ වනවිට පොහොට්ටුව සැලසුම් කරමින් සිටින්නේ ලබන බදාදා දිනයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටය. බොහෝ දෙනා එම අපේක්ෂකයා වනු ඇත්තේ ධම්මික පෙරේරා මහතා බව සිතා සිටියද, පසුගිය සතියේ සිදුවූ යම් යම් දේශපාලන පෙරළි හේතුකොට ගෙන පොහොට්ටුවට මේ වනවිට අපේක්ෂකයන් කිහිප දෙනකුගෙන්ම අලුත් යෝජනා ඉදිරිපත් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත. දැනට වෙනත් පක්ෂ දෙකකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු පසුගිය සතියේ මහින්දවත්, බැසිල්වත් හමුවීමට පැමිණ තමන්ට පොහොට්ටුවේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කොට තිබිණි. මෙහිදී පොහොට්ටුව ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට යටත්ව මෙම සහාය ලබාගැනීමට සූදානම් බවද මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා මහින්දටත්, බැසිල්ටත් දැනුම් දී ඇති බවක් ආරංචිය. කෙසේ වෙතත් මේ එම යෝජනාව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පසුගිය සතිය අවසන් වනවිටත් පොහොට්ටුව කටයුතු කර තිබුණේ නැත.
සජිත්ට දුන් සහතිකය
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ හමුවක් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබුණු බවකි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පවා පිළිගත් ආයතන මගින් සිදුකර තිබූ සියලු මත විමසුම්වලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ඉදිරියෙන් සිටින බව වාර්තා කර තිබීමෙන් පසු මූල්‍ය අරමුදල මෙම හමුව ඉල්ලා සිටි බවක්ද අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව සජිත් අදාළ සාකච්ඡාව සඳහා පසුගිය බදාදා දිනය ලබාදීමට පියවර ගෙන තිබිණි. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සජිත්ට යළිත් වතාවක් දැනුම් දී තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමගින් මෙම සාකච්ඡාව පවත්වමු යැයි කියාය. එමෙන්ම හමුවට පෙර සජබයේ ආර්ථික ප්‍රතිපත්ති ලිඛිතවම මූල්‍ය අරමුදල වෙත මෙම සාච්ඡාවේදී ලබාදෙන ලෙසද එම පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබිණී. ඒ, සජබ ආණ්ඩුවක් යටතේ එම සංශෝධනයන් කල්තියාම සූදානම් කර තිබීම හරහා ඉදිරියට ගනුදෙනු කිරීම පහසු වීම සඳහාය. මැතිවරණ සමයන්හිදී මූල්‍ය අරමුදල වෙනත් රටවල් සමගද ගනුදෙනු කරනු ලබන්නේ මේ ආකාරයටමය.
කලින් යොදාගත් පරිදි බදාදා දිනයේදී සජිත් මෙම සාකච්ඡාවට ගියේ තනිවම නම් නොවේ. පක්ෂයේ ආර්ථික විශේෂඥයන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සමගය. එමෙන්ම සාකච්ඡාවට සජිත් තවත් විශේෂ පුද්ගලයන් දෙදෙනකුද කැඳවාගෙන විත් තිබිණි. ඒ, තවමත් තරුණ වියේ පසුවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ නිලධාරීන් පවා හොඳින් දන්නා හඳුනන ආර්ථික විශේෂඥයන් දෙදෙනෙකි. මේ හරහා රට ගොඩනැගිය හැකි ශක්තිමත්ම ආර්ථික විශේෂඥ කණ්ඩායම සිටින්නේ තමා සමග බව මූල්‍ය අරමුදලට පෙන්වීමට සජිත්ට හැකියාව ලැබී තිබිණි. එමෙන්ම මෙහිදී සජිත් ඉදිරි සජබ ආණ්ඩුවක් යටතේ මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුමේ සංශෝධනය විය යුතු වගන්ති ලිඛිතවම ඔවුන් වෙත ලබාදීමටද පියවර ගත්තේය.