මරණය පෙනි පෙනී ජීවත් වෙන මිනිසුන්ට හුස්ම දෙන කීර්තිගේ ‘මනමාල හැන්දෑව’ ජනවාරි 29 නෙළුම් පොකුණේදී…

සංගීත ලෝලීන් අතර කීර්තියට පත් කීර්තිමත් ගායක කීර්ති පැස්කුවෙල් (Keerthi Pasquel) ගැන පුන පුනා වතගොත කියන එකත්, කලකට ඉහත ඔහු කළ කී දෑ මොනවාද යන්න ගැන පැටිකිරිය ලිවීමත් මෙතැනදී ඵලක් නැතැයි සිතන්නෙමු. නමුත් ‘රන් තරු පායන අහස’ දෙස බලාගෙන ඉඳ ‘කඳුළට සමාවෙන්නැ’යි කියමින් අතිශය සංවේදී වූ සින්දු අහුරක් රසික සිත කොනක තැන්පත් කළ කීර්ති පැස්කුවෙල් අලුතෙන්ම කරන්නට යන හරි අලංකාර වූ ‘මනමාල මෙහෙවර’ ගැන යමක් සටහන් නොකර සිටීම බොහෝ විට ඔහුට කරන මදි පුංචිකමකැයි ‘මව්රට’ අපට සිතුණු බව නම් නොකියාම බැරිය.
‘මනමාල මෙහෙවර’ කියන කොට කියවන ඔබට මොකක්දෝ සැකයක් විචිකිච්චාවක් හිතට ආ බවට සැකයක් නැත. කලබල වෙන්නේ මොනවාටද? ඔන්න කීර්ති පැස්කුවෙල් දැන් ඇවිදින් ඉන්නවා. ‘මව්රට’ සමග කතිකාවකට. අපි බලමු, මොකක්ද ඔහු කරන්නට යන මේ ‘මනමාල මෙහෙවර’ කියලා.

ආයුබෝවන්… කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ…?
ඇත්තටම කියනවා නම් ජීවිතේ නීවීහැනහිල්ලේ ගලාගෙන යනවා.

ඊයේ පෙරේදා දූත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කළාලු නේද?
ඔව්. මගේ දුව චාරුණීට හරිම ලස්සන කටහඬක් තියෙනවා. මම එයාගේ තාත්තා නිසා එහෙම වර්ණනා කරනවා කියලා හිතන්න එපා. ඇත්තෙන්ම කියනවා නම් චාරුණීට අපූරුවට සින්දු කියන්න පුළුවන්. ඉතින් මට හිතුණා ඇගේ ඒ ලස්සන හඬෙන් හොඳ වැඩක් ගන්න. ජනවාරි දෙවැනි සතියෙ තමයි මම ඇය සමග ඒ ලස්සන ඩුවට් එක කළේ.

චාරුණීගේ කල්පනාව ඔබ වගේ සංගීත ක්ෂේත්‍රයට එන්නද?
නැහැ. චාරුණී වෘත්තියෙන් නීතිඥවරියක්. හැබැයි ඇය සංගීතයට බොහෝ ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීම තුළ තියෙන්නේ මානසික සුවදායී බව සහ ආත්ම තෘප්තිය මිසක ගායිකාවක ලෙස ජනප්‍රිය වීමේ ආශාව නෙවෙයි.

කොහොම නමුත් නිර්මාණකරණය පැත්තෙන් ඔබ තවමත් කටයුතු කරනවා නේද?
ඔව්. ඒක මට ලොකු සතුටක්. කීර්ති පැස්කුවෙල් කියන ගායකයා තවමත් රසික හිත් තුළ ජීවත් වෙනවා.

දැවැන්ත ප්‍රසංගයකට අතගැහුවෙත් ඒ සතුට සහ විශ්වාසය මතද?
ඔව් කියන වචනය තමයි ඒ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම උත්තරය.

තොරතුරු කියනවා නම් ඔබේ ඒ සොඳුරු මෙහෙවර ගැන?
හරියටම කියනවා නම් 2019 අවුරුද්දෙන් පස්සේ මම පවත්වන පළමු සංගීත ප්‍රසංගය මෙයයි.
අවුරුදු ගණනක ඉඳන් හැම වසරකම පාහේ පවත්වන මේ සංගීත ප්‍රසංගය 2019 අවුරුද්දෙදි නතර කරන්න වුණේ කොරෝනා අවදානම නිසයි. කොහොම හරි මෙය නැවත කෙදිනක හෝ පවත්වනවාමයි කියන අධිෂ්ඨානය මා තුළ තිබුණා. මට හිතෙනවා ප්‍රසංගය පවත්වන්න අවශ්‍ය පරිසරය මට ලැබුණා කියලා.

ප්‍රසංගයට නම තිබ්බේ ‘මනමාල හැන්දෑව’ කියලයි?
ඔව්. උපාලි බණ්ඩාර වීරසේකර කලකට ඉහත මං වෙනුවෙන්ම ලියපු ගීතයක පද පෙළක් තමයි ඒ. හිතට තදින් කාවදින ඒ වචන දෙකට මගේ හිත හුඟක් ආශා කළා.

සින්දු විසි අටයි. අලුත්ම ගීත පහයි…?
‘මනමාල හැන්දෑව’ වෙනුවෙන් සින්දු හදන්න ගත්තේ, ලියන්න ගත්තේ අවුරුද්දක දෙකක ඉඳන්. සෞම්‍ය බව, ආදරය සහ සංවේදී හැඟීම් මුසු නිර්මාණශීලී බවක් කැටිකොට එය ඉදිරිපත් කරන්න මට ඕනෑ වුණා. ඉතාම අලංකාර යුග ගී හතක්ද මෙයට එක්කාසු වී තිබෙනවා.

සුමධුර හඬින් ඔබට අත්වැල් දෙන ගායිකාවන් කවුද?
ඔවුන් බොහොමයක්ම ප්‍රවීණයන්. සමිතා මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා බණ්ඩාර, නිරෝෂා විරාජිනී ‘මනමාල හැන්දෑව’ හැඩ කරන්න මා හා එක්වෙනවා. ඒ අතර මගේ ලේලිය මේනකා රණසිංහ සමග දූ චාරුණීද ගීත සඳහා හඬ සහාය දෙනවා. වස්තර කථනය මෙහෙයවීම සාරංග දිසාසේකරට දුන්නේ ලොකු සතුටකින්. මොකද සාරංග කියන්නේ මම පුද්ගලිකව ප්‍රිය කරන කලාකරුවෙක්. බොහෝ තැන්වලදී මගේ කලා රසය සමග සාරංගගේ කලා රසය හරි අපූරුවට මැච් වෙනවා. ඔහුගේ ශෛලියට මම කවදත් ප්‍රියයි.
‘මනමාල හැන්දෑව’ට සංගීතය සපයන්නේ නාලක සජී. රංගනයෙන් එය විචිත්‍රවත් කරන්නේ චන්න-උපුලි රංගායතනයේ සිසු සිසුවියන්. සහභාගි වන ප්‍රේක්ෂකයන්ට උපරිම රසාස්වාදයක් ගෙන දෙන්නයි මෙම ප්‍රසංගය හරහා මම බලාපොරොත්තු වන්නේ. විශේෂාංග හතරක් ලෙසින් කොටස් කර ඇති ‘මනමාල හැන්දෑව’ සිත්කළු ආලිංගන සහ මනහර ඇඳුම් ආයිත්තම්වලින් අනූනව ජනවාරි 29 වැනි ඉරිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වෙනවා.

ජනවාරි 29 වැනිදාව තොරාගැනීමේ විශේෂයක් තිබෙනවද?
ඔව්. එය මට අති විශේෂ දවසක්. එදාට මගේ උපන් දිනය. හැමදාමත් මගේ උපන් දිනය වෙනුවෙන් සුවිශේෂ යමක් කරනවා. මෙවරද එය එහෙමයි. වෙනදාට වඩා මෙවර ඒ චාරිත්‍රය අතිවිශේෂයි.

‘මනමාල හැන්දෑව’ සමග ලස්සන වන ඒ සංගීත ප්‍රසංගය හරහා ඔබ උතුම් සද්කාර්යයකටද සම්මාදම් වෙනවා…?
2023 විතරක් නෙවෙයි 2019 සිටම මම මගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ සද්කාර්යයන්ට සම්මාදම් වුණා.

පිළිකා රෝගීන් කෙරෙහි ඔබේ හිත බොහෝ අවස්ථාවලද සංවේදී වුණා නේද?
සත්තකින්ම. පිළිකා රෝගීන් කියන්නේ මරණය පෙනි පෙනී ජීවත් වෙන කොටසක්. ඔවුන් ඉන්නේ ඉතා කටුක වූ වේදනාකාරී පසුබිමක. එක අවුරුද්දක් හෝ මරණය ඔවුන්ගෙන් ඈතට තල්ලු කර තබන්නට පුළුවන් යමක් කරනවා නම් ඒක මහඟු පිනක්.

ඒ මහඟු පිනට ඔබ පළමු පියවර තැබුවේ 2019 මහරගම අපේක්ෂා රෝහලෙන්?
ඒ මූලික පියවර තුළ මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයෙහි ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ගොඩනගන්න මම අඩිතාලම දැමුවා. ඒ වෙනුවෙන් සෙලින්කෝ සර්කල් ආයතනය හරහා නීතිඥ නිරංග නානායක්කාර මහතා සහ නෙළුම් ජයවීර මහත්මියද ඔවුන්ගේ සාමාජිකත්වය දායක කොටගෙන එයට නොමසුරු සහායක් ලබාදෙනවා.
ඉන් පසු විවිධ ආයතනයන්හි සහාය තුළ එකක්ව තිබූ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය, ඒකක අටක් දක්වා අප රැගෙන ආවා. 2022දී මගේ උපන් දිනය වෙනුවෙන් සංගීතයට හැකියාවක් දක්වන අඩු ආදායම්ලාභී දරුවන්ට වයලීන බෙදා දුන්නා ‘සත්සර පාරමිතා’ යන සද්කාර්යය යටතේ. දැනට වයලීන 550ක් පමණ ඒ ආකාරයට බෙදාදී තිබෙනවා.
ඒ අතර ආරක්ෂක ආරෝග්‍ය ශාලාවකට ලක්ෂ 160ක් වටිනා කිමෝ ප්‍රතිකාර යන්ත්‍රයක් ලබාදීමේ පුණ්‍ය කර්මයටද දායක වූවා.

29 වැනිදා ‘මනමාල හැන්දෑව’ ඔස්සේ ඔබ දායක වන්නට තනන සද්කාර්යය මොකක්ද?
අපේක්ෂා රෝහලේ ප්‍රධාන වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතාගේ අනුදැනුම මත අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් භාරකාර අරමුදලක් ආරම්භ කරන්නයි මෙවර මගේ සූදානම.
විදේශගතව සිටින මගේ මිතුරු මිතුරියන් සමග ස්වාමින්වහන්සේ නමක්ද මේ උදාර කටයුත්ත වෙනුවෙන් දායක වෙනවා. මෙහිදී භාරකාර අරමුදල වෙනුවෙන් ලන්සුවට තියන්නේ මෙතෙක් මම රැකගෙන පැමිණි කීර්ති නාමයයි. සරලව කිව්වොත් එම අරමුදල අවභාවිතයට ගෙන යම් කිසිවකු ූවංචනික ක්‍රියාවක යෙදුණොත් එය කීර්ති පැස්කුවෙල් නාමයට කැලලක් වෙනවා නියතයි.
ඒ අවදානම මත මම වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා සමග මෙම අරමුදල පිහිටුවන්නේ ශ්‍රී ලාංකේය දානපතීන්ට, ‘එන්න මෙම පුණ්‍යවන්ත සද්කාර්යයට එකතු වෙන්න’ කියන විවෘත ආරාධනය මතයි.

ඉතසිතින් පතනවා, ඔබේ යහපත් මෙහෙවර සාර්ථක වේවා කියා.
ස්තුතියි ඔබටත්, මේ ගැන වචනයක් හෝ සමාජයට පවසන්නට ‘මව්රට’ වෙබ් අඩවිය සමග එකතු වුණාට. ඒ වගේම ආරාධනා කරනවා, එන්න, ‘මනමාල හැන්දෑව’ රස විඳින්න. මේ සද්කාර්යයට අතහිත දෙන්න.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Exit mobile version