‘ගෑස් මිල නැග්ගේ වේ නම් යහපතැයි ගිවිස’
ගෑස් මිල නැග්ගවූයේය. ඉක්බිති ගෑස් නැව් පරසක්වල ගසා ගෑස් අතුරුදන් කරවූ සේක. එයිනික්බිතිද රට වැස්සෝ ප්‍රීති උත්සවකොට කමින් බොමින් නටමින් වයමින් ප්‍රීති උත්සව පවත්වති. ගෝල්ෆේසියේත් රජමැඳුරු පවුරු අසබඩද මැසි මත්තේ මැසි බඳිති. මේ දැක ප්‍රීති ප්‍රමෝදයට පත් අගමැතිතුමෝ රහසේම කුරුබිලියකින් පිටත්ව ගොස් භාවනානුයෝගීව සැඟව ගත්තේය.
ඉනික්බිති සුරාසුර යුදයට බට ශක්‍ර දේවේන්ද්‍රයාගේ නැඟිණියන්දෑගේ පුත් කෙනකුන්සේ විකුම්සිහයෝ කෙසරු ළෙලවා අග්‍රාමාත්‍ය තනතුර භාරගත්තේය. ඒතුමෝ වර්ණනාවිශයාතික්‍රාන්ත වීරවිකුම් පා රටවැස්සන්ගේ සතුට තුනීකරනු වස් විවිධ ගජබින්න ඇදබාමින් දැහැමින් කෙසේ වෙතද ඉතා සෙමින් රාජ්‍ය කරති.
හිරුණිකාවෝ විරෝධය පා සපිරිවරින් එන්නේ ඔයින් ඉක්බිත්තේය. විරෝධය අස්සේ රැකවලෙහි උන්නා උන් කල කුමක් හෝ එරෙහිවීමකදී හිරුණිකාවන්ගේ පියයරු යුගලය යන්තමින් මතුව ගති. දරු තිදෙනෙක්ට සිය රුධිරය කිරිකර පෙවූ මවුකෙනෙකුන්ගේ පියයරු දයාර්ධාතයක සිට බලන්නේ වියයුතු නමුදු රටවැස්සෝ සිය ලිංගිකාසාවෝ පාලනය කරගත නොහී කව් ගී ලියති.
ඒ අතර ඇගේ පියයුරෝ දුටුවෝ නමුදු වැඩිමනක් උන් ඈ නොදුවේය. ඈ කළ දේ හරසුන් වුව නොවුවද ඒ ගැන කතිකා කළ යුතුව ඇති බොහෝ ඇස් එතැනම නැවතුණේ විය.
ඈ තොමෝ මේ බැව් මෙසේ සඳහන් කර තිබුණේ විය.
‘මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනකුට කිරි දුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි….’
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය. ඔබ මාගේ පියයුරු ගැන කතාකොට, ඒවාට විසුළු කර, සිනාසී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියා තබමි. තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ….’
ඕ තොමෝ සවිමත්ව එයට මුහුණ දුන්නාය. පියයුරෝ දැක්කාය උදම් ඇනූවන්ට සිය මවු උකුළේ හිඳ තොලගෑ මවු කිර මතක් කරදෙන්නට ඈ සමත්ය. එනමුදු අප සියල්ලෝම අසමත්වැ ගියෝ වෙමු.
මිතුරනි, ඉතින් අපි ළැම දුටිමු, එනමුදු තවම ළය නොදුටිමු. ළැමට යටින් සිය දහස් එවුන්ගේ කුස ගින්දර නොදුටීමු. ජීවිතවල අනියත බව නොදුටීමු.
මේ සුඛිත මුදිත මනෝරම්‍ය දේශයේ, කිරෙන් කා පැණියෙන් අත් දොවා, රිසි රිසි දෑ මිලට ගෙන මසුරන්දී නටමු ගයමු වයමු. ඉනික්බිති අපි පියයුරෝ බලමු.

ජීවන පහන් තිළිණ










