ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…

මේ ගම්පොළ රාජධානි යුගයයි. එවක ගම්පොළ රජකම් කළ බුවනෙකබාහු රජු සිය දූත පිරිස කැඳවා යම් භාරදූර කාර්යයක් භාර කළේය. වහාම ගොස් මේ මවු පොළොව මත පිහිටි සුවිශේෂ ජය භූමියක් සොයා පවසන්න යැයි රජුගේ එම නියමයෙන් කියැවිණි. දූත පිරිස යම් අපහසුතාවකටත් ගැටලුකාරී තත්ත්වයකටත් පත්විය. ජය භූමියක් සෙවීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි සිතූ දූත පිරිස ගම්පොළ සිට මහනුවර දෙසට ඇවිදගෙන ආවේ මේ ගැටලුව සාකච්ඡා කරමිනි.

ඔවුන් ක්‍රමයෙන් සෙංකඩගල දෙසට ළඟා වූයේ රජුගේ ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වේදෝයි සැකයෙනි. එහෙත් සෙංකඩගල පුරයේදී විඩාව නිවාගැනීමේ අදහසින් නැවතුණු දූත පිරිස අතරින් එක් අයකු කලබලයෙන් නැගිට ගත්තේ කිසිදා දැක නැති අරුම පුදම යමක් දැකීමෙනි. හෙතෙම එම දසුන අනෙක් පිරිසටත් පෙන්වීය. ඒ අනුව සියලු දෙනාගේම දෑස් විසල් විය. හොඳින් වැඩුණු මුවකු පසුපස පන්නාගෙන යන දිවියකුගේ රුව ඔවුන් ඉදිරියේ දර්ශනය විය.

දිවියාට බයේ දිවගිය මුවා එක්තරා තැනක පිහිටි විශාල සපු ගසක් අසල නතරවී පපුව පිරෙන්නට හුස්මක් අල්ලා ආපසු හැරී තිබේ. එවිට යම් තැතිගැනීමකට පත් දිවියා තම වේගය අඩුකොට නතරවී ඇති අතර ඒ මොහොතේම මුවා දිවියා වෙත කඩාපැන දිවියා පසුපස පන්නාගෙන යන්නට පටන් ගත්තේය. දූත පිරිස මේ සිදුවීමෙන් පසු තම අරමුණ ඉටුවූ බව හඳුනා ගත්තේය. මෙය නම් ජය භූමියක්මැයි හඳුනාගත් පිරිස ඒ බව බුවනෙකබාහු රජුට දැනුම් දෙන්නට තීන්දු කළේ අවට කරුණු කාරණාද සොයා බැලීමෙන් පසුවය.

ජනප්‍රවාදයන්ට අනුව දිවියාට බයේ පැන දිවූ මුවා නතරවූ කපු ගස අසල සෙංකඩ නම් බ්‍රාහ්මණයකු වාසය කළ බවටත් එම කාලයේ යක්ගහපිටියේ වැඩවිසූ නාථ දෙවියන් තම වාසස්ථානය පිටියේ දෙවියන්ට පවරා පසුව නාථ දෙවියන් සෙංකඩ බ්‍රාහ්මණයා විසූ ස්ථානයට අරක් ගත් බවටත් ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිය දූත පිරිසේ කරුණු සොයා ගැනීම ගැන පැහැදුණු ගම්පොළ විසූ බුවනෙකබාහු රජු සෙංකඩ පුරවරයට පැමිණ දේවාලයක් ඉදිකර එම දේවාලය නාථ දෙවියන්ට පූජා කළ බවයි පැවසෙන්නේ. එතැන් පටන් සෙංකඩගල පුරවරය ඉතා සුප්‍රසිද්ධ විශේෂ ස්ථානයක් ලෙස පිළිගැනුණු අතර ඒ අනුව සෙංකඩගල පුරවරයේ ඇති පැරැණිම ගොඩනැගිල්ල ලෙස වර්තමානයේ පවා දක්නට ඇති නාථ දේවාලය හඳුන්වා දිය හැකිය.

ගම්පොළ යුගයෙන් පසුව කොනප්පු බණ්ඩාර පළමු වැනි විමලධර්මසූරිය නමින් රජවෙද්දී එතුමන් තමන්ගේ රාජ මාලිගාව හදන්නට තෝරාගන්නේ මෙම සුවිශේෂ භූමියයි. ඒ අනුව වර්තමාන රජ වීදිය පිහිටි ප්‍රදේශයේ සිය මාලිගය ඉදිකරන පළමු වැනි විමලධර්මසූරිය රජු තමන්ට පෙර රජකම් කළ රජවරුන්ගේ ක්‍රියාකලාපයන් ගරුකොට කටයුතු කරන්නට පෙළඹෙන අතර එතෙක් පැවැති රාජ්‍යයන්හි රජකම් කළ රජවරුන් සිය රාජකීයත්වයේ සංකේතයක් රාජකීය උරුමයක් ලෙස සලකා ඇත්තේ දළදා වහන්සේවයි. එම මතය අනුව යමින් පළමු වැනි විමලධර්මසූරිය රජුන් දළදා වහන්සේට උපරිම ගෞරවාදරය දැක්වීම උදෙසා සිය මාලිගා සංකීර්ණය පිහිටි ඉසව්ව සමීපයේම දළදා වහන්සේ වඩාහිඳුවා තබා ගැනීමට කටයුතු කළේය.

ඒ අනුව මහනුවරට වැඩම කෙරෙන දළදා වහන්සේ විවිධ කාලවකවානු අභියෝග තාඩන පීඩන ආක්‍රමණවලට මුහුණ දෙමින් විවිධ ආරක්ෂිත උපක්‍රම යටතේ රාජ්‍යත්වයේ සහ මහා සඟරුවනේ ආරක්ෂාව යටතේ වර්තමානයේත් සෙංකඩගල පුරයේම වැඩවාසය කරන්නේ මෙරට පිහිටි සුවිශේෂම ජය භූමිය සෙංකඩගල පුරය නිසා බව ජනප්‍රවාද ඇසුරේ පැහැදිලි වෙයි.

එදාමෙදාතුර ඉතිහාසයේ කොතරම් අභියෝග එල්ල වුවද දළදා වහන්සේට ආරක්ෂා සහිතව වැඩවාසය කරන්නට අවස්ථාව සැලසී ඇත්තේ මේ සෙංකඩගල පුරවරයේ ඇති සුවිශේෂතාව නිසාම බව සිතිය හැකිය. එමෙන්ම තවත් චිරාත් කාලයක් මේ ලොව පවත්නා තෙක් මේ සෙංකඩගල පුරවරය ශ්‍රී දළදා වහන්සේට ආරක්ෂාව සලසනු ඇත.

කුමාර රත්නායක

Exit mobile version