2003 වන විට එවක ජනාධිපති චන්ද්‍රිකා හිටියේ හතර ගාතේ වැටිලාය. 2005 වසර ඇයගේ අන්තිම වසර විය. රනිල්ගේ ආණ්ඩුව වට්ටවන්න ඇය හිතෙන් කුමන්ත්‍රණ කළත් තමාගේ නිල කාලය ඉවර වෙන්න ඉතිරිව ඇත්තේ වසර දෙකක් නිසා හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් තමාගේ නියෝග ගණන් නොගෙන රනිල්ගේ ආණ්ඩුව ආරක්ෂා කරයි කියා ඇය බය වූවාය. එවක අගවිනිසුරු සරත් සිල්වා ඇයව ශක්තිමත් කරන්න උපායක් යෙදීය. එනම් 1999 ජනාධිපතිවරණය දිනා ඇය දිවුරුම් දී වසරකට පසු ඇය යළිත් තමා ඉදිරියේ දිවුරුම් දුන් බව සහතික කරන පින්තූරයක් එළියට දැම්මේය. සරත් සිල්වාගේ තර්කය වූයේ ජේ.ආර්. 1982 හදිසි ජනාධිපතිවරණයකට ගොස් ජනාධිපතිවරණය දිනා වසරකට පසු දිවුරුම් දී තම නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයකට ගොස් තමාට අහිමි වූ වසර හිමි කරගත්තා සේ චන්ද්‍රිකාත් වසරකට පසු යළි දිවුරුම් දී ඇයට පළමු නිල කාලය අවසන් වීමට පෙර තරග කළ හදිසි ජනාධිපතිවරණය නිසා අහිමි වූ අවුරුද්ද යළි ලබාගත හැකි බවය. හැබැයි වෙනස ජේ.ආර්. දෙවරක් දිවුරුම් දුන්නේ නැත. ජේ.ආර්. දිවුරුම් දුන්නේ වසරකට පසුවය. චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය දිනා දිවුරුම් දී වසරකට පසු යළි දිවුරුම් දුන්නාය. මේ ඡායාරූපයෙන් රටම කැලඹුණි. චන්ද්‍රිකාගේ දෙවැනි දිවුරුම නිසා 2005 පවත්වන්න නියමිත ජනාධිපතිවරණය පවත්වන්න නියමිත වන්නේ 2006දී යැයි චන්ද්‍රිකා සිය ගෝලයන් ලවා ප්‍රකාශ නිකුත් කරගත්තාය. එයින් ලද හයිය පෙන්වා ඇය රනිල්ගේ ආණ්ඩුව වැට්ටුවාය. ඇය මහ ඡන්දය දිනා මහින්ද අගමැති කොට ජ.වි.පෙ. සමග ආණ්ඩුවක් හදා තමාට 2006 තෙක් ජනාධිපතිකම් කරන්න කල් තියෙන බවත්, ඊළඟ ජනාධිපතිවරණය පවත්වන්න නියමිතව ඇත්තේ 2006දී බවත් කීවාය.Sri Lanka Latest News
රනිල් සහ යූ.ඇන්.පී.ය ඇයගේ මේ කතාව අසා පරල විය. චන්ද්‍රිකාට තවත් වසරක් ජනාධිපති ධුරයේ සිටිය නොහැකි බවත්, 2005 ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් කියා රනිල් දෙවුන්දර තුඩුවේ සිට කොළඹට පාගමනක් සංවිධාන කළේය. දෙවුන්දර තුඩුවේ සිට කොළඹට මහ ජන ගඟක් ආවේ ‘2005 ජනාධිපතිවරණය තියපන් – චන්ද්‍රිකා උඹට එන්න වරම් නැහැ’ කියමින්ය. මෙම පෙළපාළිය කොළඹ එන විට රනිල් එවක යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක කරු ජයසූරියව දකුණු ආසියා ප්‍රධානියා ලෙස කටයුතු කරන ප්රජාතන්ත්රවාදීන්ගේ සමුළුවට යැව්වේය. එවක ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් සහභාගි වූ එම සමුළුවේදී ජනාධිපතිවරණ කල් දමන කුමන්ත්‍රණ පරාජය කොට 2005දී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගනු ලැබීය. මේ වෙනකොට මහින්ද ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකත්වය හිමි කරගෙන සිටි අතර, ඔහු චම්පික සහ උදය ගම්මන්පිලගේ හෙළ උරුමය 2005ට ජනාධිපතිවරණය ගන්න උසාවි යැව්වේය. චන්ද්‍රිකා වසරක් කාලය දික් කරගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය කොහොම වෙතත් තමාට අගමැතිකමත් නැතිවෙයි යැයි ඔහු බය විය. චන්ද්‍රිකා දෙවැනි වර දිවුරුම් දෙන ඡායාරූපය ලීක් කළ අගවිනිසුරු සරත් සිල්වාම අරුම පුදුම තීන්දුවක් දුන්නේය. එනම් චන්ද්‍රිකා 1999 තේරීපත්වී 1999 දිවුරුම් දී ඇති නිසා ඇයගේ නිල කාලය 2005 අවසන් වන බවත්, 2005 ජනාධිපතිවරණය කැඳවීම ඇයගේ නොව මැතිවරණ කොමසාරිස්ගේ වගකීමක් යැයි කියමිනි. චන්ද්‍රිකාට තරු වීසිවිය. 2005 ජනාධිපතිවරණයට දින නියම විය.
මේ වගේම 2015 ජනාධිපති වූ මෛත්‍රීපාලත් තම නිල කාලය වසරකින් දික්කර ගැනීමට ව්‍යවස්ථාවේ හිල් හෙව්වේය. 2018 වන විට තමාට ජනාධිපතිවරණය තරග කරන්න පක්ෂයක් හොයාගත නොහැකි බව ඔහුට තේරිණි. 2018 පුංචි ඡන්දයෙන් ශ්රීලනිපය හෝදාපාළුවට ගියේය. 2019 තමාගේ නිල කාලය අවසන් වන නිසාත්, තමාට යළි ජනාධිපති වීමට තරග කරන්න පක්ෂයක් නැති නිසාත් වසරක් නිල කාලය දික්කර ගතහොත් මොනවා හරි ගේමක් ගහන්න පුළුවන් යැයි ඔහු හිතුවේය.
ඔහු අමුතුම තර්කයක් ගෙන ආවේය. ඔහු 2015 මහජන වරමකින් පත්වී ඒ මහජන වරමට අනුව දිවුරුම් දී ජනාධිපති වූයේ වසර 6කට බවත්, පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ වසර 6 වසර 5කට අඩුකර ගත්තත් තමා ඊට කලින් මහජන කැමැත්තෙන් වසර 6කට ජනාධිපති වී වසර 6කට ජනාධිපති ධුරය දරන්න දිවුරුම් දී ඇති නිසා තමාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලපාන්නේ නැතැයි ඔහු තර්ක කළේය. ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොතැනකවත් ජනාධිපති නිල කාලය වසර 5කට අඩු කිරීම අතීතයට බලපානවා යැයි සඳහන් නොවන බවද, ඒ නිසා ව්‍යවස්ථාවේ හිස්තැනක් තියෙන බවද ඔහු කීවේය.
ව්‍යවස්ථාවේ මේ හිස්තැන අර්ථ නිරූපණය කරගන්න ඔහු නීතිපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ව්‍යවස්ථාවේ හිස්තැන්වලින් රිංගා නිල කාලය දික්කර ගන්න ඔහු කරන කුමන්ත්‍රණයට අගමැති රනිල් සහ යූ.ඇන්.පී.ය එරෙහි විය. ප්‍රසිද්ධියේම යූ.ඇන්.පී. නායකයන් මෛත්රිගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේය. මෛත්‍රී 2015 වසර 6කට ජනාධිපතිකම් කරන්න මහජන වරමක් ලබාගෙන වසර 6කට දිවුරුම් දුන්නත් පසුව පාර්ලිමේන්තුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය වසර 5කට සීමා කර ඇති නිසා මෛත්‍රීගේ නිල කාලය වසර 5ක් විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වසර 5ක නිල කාලය අතීතයට බලපාන බවට වගන්තියක් ව්‍යවස්ථාවේ සඳහන් නොවීම වසර 5 නිල කාලය වසර 6ට දික්කර ගැනීමට හේතුවක් නොවේ යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මේ මහජන වරමකින් පත්වූ ජනාධිපතිවරු දෙදෙනෙක් තම නිල කාලය වසරකින් දික්කර ගන්න ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා යන්න හදද්දී කනින් අල්ලා දොට්ට දැමූ ආකාරයය.
‘එතකොට මන්ත්‍රී ඡන්දයත් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ජනාධිපති වූ රනිල්ට ව්‍යවස්ථාවෙන් රිංගා නිල කාලය දික්කර ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙයිද…?’
රනිල්ට තව වසරක් ඉන්න පුළුවන් කියා යූ.ඇන්.පී.ය කියන්නේ මෛත්‍රී දමපු නීති තර්කයමය. ඒ තර්කයට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි අර්ථ නිරූපණයක් දී ඇත. රනිල් ඒ ගැන අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේත් චන්ද්‍රිකාට සහ මෛත්‍රිට දුන්න උත්තරයමය.
ඊළඟට යූ.ඇන්.පී.ය ප්ලාන්ට් කරන ජනමත විචාරණ කතාවටද ශ්‍රේෂ්ඨාධිකරණය හොඳ තීන්දුවක් දී තිබේ. 2001 චන්ද්‍රිකා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ජනමත විචාරණයක් කැඳවූ අතර, සුජීව සේනසිංහ එයට එරෙහිව අධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම ජනමත විචාරණය නීති විරෝධී බවය. එහිදී චන්ද්‍රිකා ජනතාවගෙන් අහපු ප්රශ්නය පැහැදිලි ප්‍රශ්නයක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පුදුමය චන්ද්‍රිකා කාලය දික්කර ගන්න යන විට සහ මෛත්‍රී කාලය දික්කර ගන්න යන විට ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයා ලෙස පෙනීසිටි රනිල් සහ යූ.ඇන්.පී.ය චන්ද්‍රිකා සහ මෛත්‍රී මෙන් වසරක් දික්කර ගන්න ව්‍යවස්ථාවේ හිල් හෙවීමය.