ගරු අගමැතිතුමනි, මම පසුගිය සති දෙකක්ම පුරා ජීවිතයේ ගතකළේ දැඩි ශෝකයකින් සහ අධික මානසික පීඩනයකින් යුක්තවයි. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවීම ගැන මම සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි මට හැඟෙන අතර, එහි සම්පූර්ණම වගකීම මම විසින් භාරගත යුතු යැයිද විශ්වාස කරමි. ගෞරවනීය පෙරදිග මහත්මයකු ලෙස, මාගේ වරදට ඉහළම දඬුවම ගෙවිය යුතු බැව්ද මම විශ්වාස කරමි. මෙයට විශ්වාසී, (අස්සන් කළා), ‘ටෙ චියැන්ග් වන්’ (Teh Cheang Wan).’
කුමක්ද මේ හැඟීම්බර වදනින් ලියා තබා ඇති කෙටි ලිපිය?
එසේම එම වදන් ලියා තැබුවේ කවුද..?
තවද එය ලියා තැබුවේ කවුරුන් උදෙසාද..?
මෙම ආන්දෝලනාත්මක වගතුග ලොවට එළිපෙහෙළි වූයේ, මෙයට දශක තුනහමාරකට (වසර 35කට) පමණ පෙරය. එකල මෙම කතාන්දරය ලොවට ගලා ආවේ සිංගප්පූරුවෙනි. එනම් 1986 දෙසැම්බර් 13 වැනිදා මෙම ලිපිය ලියනු ලැබුවේ සිංගප්පූරුවේ රජයේ කැබිනෙට්ටුවේ (ඇමැති මණ්ඩලයේ) සිටින ප්‍රධානතම ඇමැතිවරයකු විසිනි. එවකට සිංගප්පූරුවේ සිටි අගමැතිවරයා වූ ‘සිංගප්පූරුවේ පියා’ ලෙසින් ප්‍රකට ගරුත්වය ලද ‘ලී ක්වාන් යූ’ (Lee Kuan Yew) මහතා වෙත, මෙම ඇමැතිවරයා විසින් එම ලිපිය ලියා තැබුවේය.
මෙම ලිපිය මගින් එකල කියැවුණු ආන්දෝලනාත්මක කතාන්දරය කුමක්ද..?
යටකී ලිපිය සිංගප්පූරු අගමැතිවරයා වෙත ලැබී ටික දිනකට පසු ඔහු එය ප්‍රසිද්ධ කරනු ලැබුවේ සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව තුළදීය. ලී ක්වාන් යූ අගමැතිවරයා එම තිගැස්සෙන වගතුග මෙසේ කියා සිටියේය. ඔහු එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාවට පෙන්වා සිටිමින්, එහි කරුණු ප්‍රකාශ කර සිටියේය. එසේම ඉන්පසුව එතැනින් පසුව සිදුවූ සිදුවීම්ද දිගටම විස්තර කර සිටියේය. එම සත්‍ය වගතුග මෙසේ විය.
‘ටෙ චියැන්ග් වන්’ අගමැතිවරයා විසින් මා වෙත ලියා තැබූ මෙම ලිපිය ගැන මම කරුණු හෙළිකර සිටින්නේ ඉතාමත්ම ශෝකයෙන් යුතුවයි. ඒ ගැන මම අද මේ සභාවේදී ප්‍රකාශයක්ද කර සිටිනවා. 1986 දෙසැම්බර් 14දා උදෑසන 09.00ට පමණ මම නිවෙසේ සිටින විටදී මගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විසින් මා වෙත යම් ලිපියක් ගෙනත් දුන්නා. ඔහු මට ප්‍රකාශ කර සිටියා, මේ ලිපිය චියැන්ග් වන් ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියා විසින් ඔහු වෙත ගෙනැවිත් බාර දුන්නා කියලා. එසේම එම ලිපිය ඇමැතිවරයාගේ බිරිය වන චියැන්ග් මහත්මිය විසින් මා වෙත (අගමැතිවරයා වෙත) ලබාදෙන ලෙසටත් ඉල්ලීමක් කර තිබුණා. ‘ටෙ චියැන්ග් වන්’ ඇමැතිවරයාගේ මියගිය සිරුර එදා උදෑසන 08.00ට පමණ ඔහුගේ එම නිදන කාමරයේ ඇඳ මත තිබී හමුවුණු බවත්, ඔහුගේ බිරිය ප්‍රකාශ කළ බැව් ආරක්‍ෂක ප්‍රධානියා මට කියා සිටියා. ඉන් පසුව මේ කෙටි ලිපිය මම කියවන්නට ගත්තා. සිදුවී ඇත්තේ කුමක් දැයි මට අදහගන්න බැරි වුණා. මම මහත් ශෝකයට පත්වී ලියුම කියවා එවිට වේලාව උදෑසන 09.15 යැයි සටහනක්ද තැබුවා.’
සිංගප්පූරුවේ අගමැතිවරයා මෙම ඛේදනීය සිදුවීම තවදුරටත් විස්තර කර සිටියේය.
‘මම වහාම ටෙ චියෑන්ග් ඇමැතිවරයාගේ බිරිය චියෑන්ග් මහත්මියට දුරකතනයෙන් කතා කර සිටියා. ඇය මට කියා සිටියා තම ස්වාමියා පෙරදා නින්දට ගිය පසු නැවැත පසුදින උදයේ නින්දෙන් අවදි නොවීම ගැන සහ ඔහු මියගොස් ඇති බැව් සැක කිරීම ගැන. මම ඇයගෙන් අසා සිටියා මේ ගැන වෛiවරයකුට දන්වා මරණය පිළිබඳව සහතිකයක් ලබා ගත්තාද කියලා. ඒත් සමග ඇමැතිවරයාගේ දියණිය වන වෛiවරියක් වූ ‘ටෙ ක්වාන් ගෙයොක්’ වෙතද මම කතා කර සිටියා. කෙසේ හෝ ඔවුන් මට කියා සිටියා, ඇමැතිවරයාගේ පුද්ගලික වෛiවරයාට මේ බැව් දන්වා ඇති බැව්. මම එම පවුලේ අයට දන්වා සිටියා, මම හැකි ඉක්මනින් ඔවුන් මුණගැසීමට පැමිණෙන බැව්. මම වහාම කැබිනට් ලේකම්වරයාට කතා කර කියා සිටියා, කරදරයට පත්ව සිටින ඇමැතිවරයාගේ පවුලේ අයට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට. ඔවුන් එම නිවෙසට ගොස් තත්ත්වය සොයා බලා මට කතා කර කියා සිටියා, වෛiවරයා පැමිණ සිරුර පරීක්‍ෂා කර බැලූ බවත්, එහෙත් මෙම මරණය ස්වාභාවික එකක් නොවන බවත් දන්වා සිටියා.’
‘මෙය ස්වාභාවික මරණයක් නොවන බැව් ප්‍රකාශ වීමත් සමග මරණ පරීක්‍ෂණයක් සිදුකිරීමට තීරණය කෙරුණා. මෙම සිදුවීම් අතරවාරයේ මමත්, (ලී ක්වාන් යූ අගමැතිවරයා) මගේ බිරියත් ඇමැතිවරයාගේ නිවෙසට ගොස් පවුලේ අය හමුවුණා. කෙසේ හෝ පසුව මරණ පරීක්‍ෂණයේදී නිගමනය වුණා, ඇමැතිවරයා විසින් ‘ඇමියුටාල් බාර්බිටුරේට්’ (Amutal Barbiturate) නැමැති ඖෂධය ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් ලබාගෙන ඇති බවත්, ඒ හෙයින් ඔහුගේ මරණය සිදුවී ඇති බවත්, මෙය සියදිවි නසාගැනීමක් බවත් නිගමනය වී තිබුණා. පසුගිය දිනවල මෙම ඇමැතිවරයාට එරෙහිව මූල්‍යමය වංචාවක පැමිණිල්ලක් ගොනුවී තිබුණා. ඒ පිළිබඳව දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක්ද ආරම්භ කර තිබුණා. මෙම පරීක්‍ෂණය සිදුකිරීම සඳහා මාගේ (අගමැතිවරයාගේ) අනුමැතියද ලබාදී තිබුණා. මම මේ ඇමැතිවරයාට නියෝග කර සිටියා විමර්ශනය අවසාන වන තෙක් සේවයෙන් ඉවත්ව සිටින ලෙසටත්, ඔහු එසේ සිදුකළා. කෙසේ හෝ ඇමැතිවරයා මෙම වංචාවට සම්බන්ධ බැව් විමර්ශනයේදී පෙනෙන්නට වුණා. එහෙත් ඉන් දින ගණනාවකට පසුව මෙම කනගාටුදායක සිදුවීම ඇති වුණා.’
අද ලෝක දේශපාලන ඉතිහාසයට එක්වී ඇති මෙම සිදුවීම අතිශයම සුවිශේෂී කතාන්දරයකි. ලොව සිටි දේශපාලනික රාජ්‍ය නායකයන් අතරින් අතිශය කීර්තිමත් නාමයක් දිනා සිටි, සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගේ සමයේදී මෙම සිදුවීම ඇති විය. අන්ත දුගී, දුප්පත් දේශයක්ව පැවැති සිංගප්පූරුව ලෝකයේ ඉතාම සශ්‍රික සහ ධනවත්ම රාජ්‍යයක් බවට පත්කළේ මෙම දූරදර්ශී නායකයා යටතේය. වසර 31ක කාලයක් පුරා සිංගප්පූරුවේ අගමැති දුරය දැරූ ඔහු, එරට තුළ දේශපාලකයන් සහ අනෙකුත් බලගතු පුද්ගලයන් විසින් සිදුකරනු ලබන දූෂණ, වංචාවලට එරෙහිව අතිශය ප්‍රබලව නැඟී සිටි පුද්ගලයෙකි. ඔහුගේ එම කතාන්දර බොහෝය. ඉහත ලියා තැබූ කතාන්දරයද ඉන් එකක් පමණි. එහිදී මූල්‍ය වංචා අර්බුදයකට මැදිවූ ‘ටෙ චියැන්ග් වන්’ (Teh Chang Wan) නැමැති ඇමැතිවරයා එරට පාලක පක්‍ෂය නියෝජනය කළ අතර, එරට ‘ජාතික සංවර්ධන කටයුතු ඇමැතිවරයා’ ලෙස කටයුතු කළේය. මෙය ඉතා බලගතු ඇමැති ධුරයක් වූ අතර, එම අමාත්‍යාංශය හරහා සිංගප්පූරුවේ ජාතික සංවර්ධන ව්‍යාපෘති කටයුතු රැසක් සිදුකළේය.
මෙවැනි වටපිටාවක් තිබියදී 1986 වසරේදී දැනගන්නට ලැබුණේ, යටකී ඇමැතිවරයා විසින් යම් මූල්‍යමය වංචාවන් දෙකක් සිදුකර ඇති බැව්ය. එනම් විශාල සංවර්ධන ව්‍යාපෘති දෙකක් ලබා දීම සඳහා යම් පුද්ගලික සමාගම් දෙකක් වෙතින් ඩොලර් ලක්‍ෂ 10ක මුදලක් වංචාසහගතව ලබාගෙන ඇති බැව්ය. මෙම මුදල සිංගප්පූරු ඩොලර්වලින් වූ අතර, එම ඩොලරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට වඩා බොහෝ වැඩිය. එනම් වසර 35කට පෙර මෙම මුදල ඉතා විශාල එකක් වූ අතර, අද කාලයේ හැටියට නම් එය තවත් අතිශය වැඩි වටිනාකමකි. කෙසේ හෝ මෙම ප්‍රධාන ඇමැතිවරයාට එරෙහිව 1986 නොවැම්බර් මාසයේදී පුළුල් විමර්ශනයක් ඇරැඹි අතර, ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් එයට අනුමැතිය ලබාදී තිබිණි. කෙසේ හෝ එම පාලන සමයේදී අගමැතිවරයා ඉතා දරුණු ලෙස දූෂණ, වංචාවලට එරෙහිව කටයුතු කළ අතර, වැරැදිකරුවන්ට ඉතා තදබල ලෙස නීතිය හරහා දැඩි දඬුවම්ද පැමිණවූයේය. මෙවැනි වටපිටාවකදී ඉහත ඇමැතිවරයාද මූල්‍ය වංචාවට සම්බන්ධ බැව් හැඟීගිය අතර, ඒ සඳහා හිමිවන දඬුවම්වලට බියවී ඔහු විමර්ශනය ඇරැඹි දින කිහිපයකින් සියදිවි හානිකර ගත්තේය.
මේ ආකාරයට එම සිදුවීම මුළුමහත් ලෝකයටම ප්‍රබල ආදර්ශයක් සපයන සිදුවීමක් විය. එය ලෝකයේ අන් රටවලටත් වඩා ගැලපෙන්නේ අපගේ ශ්‍රී ලංකාවට බැව් ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකිය. එනම් ශ්‍රී ලංකාව යනු දැනට දශක ගණනාවක සිට අතිශය දරුණු ලෙස දූෂණ, වංචාවන් සිදුකෙරෙන රටක් වන අතර, එම විනාශයන්ට මැදිව සිටින්නේද මෙරට ප්‍රකට දේශපාලකයන්ය. එහිදී එක්තරා ප්‍රකට දේශපාලන පවුලක්ම එයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබීම සියලු දෙනා දත් කරුණකි. අද මෙරට මුළුමනින්ම විනාශ වී ඇත්තේද මෙම දේශපාලකයන්ගේ කටයුතු නිසාවෙනි. කාලයක් පුරා ශ්‍රී ලංකාව සංවර්ධනය කරනවා යැයි කියමින් මෙම පිරිස් සිදුකළේ තම, තමන්ම හදාවඩා ගැනීම පමණකි. මෙම පිරිස් යම් සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකළේද තමන්ගේ වාසියටම පමණක් වන අතර, එහිදී ඔවුන් ඉතා දරුණු ලෙස මූල්‍යමය වංචාවන් සිදුකර සිටියේය. මෙම දේශපාලකයන්ට තවත් විවිධ පාර්ශ්වවල බලවතුන්ද සම්බන්ධ වී එම දූෂණ, වංචා අතිශය සාර්ථකව සිදුකරනු ලැබුවේය. එසේම මෙතෙක් ඔවුනට ලැබුණු දඬුවමක්ද නැත.
කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ සහ අනෙකුත් බලවතුන්ගේ දූෂණයන්, වංචාවන් ලියා තබන්නට ග්‍රන්ථයක් හෝ මදිය. අපගේ මෙම නිවට දේශපාලකයන් ලී ක්වාන් යූ අගමැතිවරයාගේ පාලන සමයේදී සිංගප්පූරුවේ සිටියේ නම් සිදුවන්නේ ඉහත සිංගප්පූරු ඇමැතිවරයාට වූ දේමය. එනම් තම, තමන්ට ‘බෙල්ලේ වැලලාගෙන’ හෝ ‘වස බෝතල් පානය කර’ හෝ සියදිවි හානිකර ගන්නවා නියතය. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ පාලකයාගේ සිටම පහළට සොරකම් කිරීමය. ඒ නිසා එම වංචාවන් සොයා බලන්නට කෙනෙක් නැත. සිංගප්පූරුවේ සිදුවූයේ පාලකයා නිර්ව්‍යාජ මිනිසෙකු නිසා පහළ සිටින හොරුන් බියට පත්වීමය. කෙසේ හෝ ලෝකයේ අති විශිෂ්ට කීර්තිමත් නාමයක් හිමිකර ගෙන ඇති සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා 1959 සිට 1990 දක්වා නොකඩවා එරට අගමැති ධුරය දැරීය. ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ හරහා බලයට පත්වූ ඔහු එරට ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ ‘සිංගප්පූරුවේ පියා’ (Father of Singapore) ලෙසිනි. ඔහු ඉන් පසුවද වසර 91ක් දක්වා ජීවත්ව සිටි අතර, 2015 වසරේදී අභාවප්‍රාප්ත විය. එහෙත් ඔහු ජීවත්ව සිටින තෙක්, එරට සිටි අනෙකුත් පාලකයන්ද ඔහුගෙන් උපදේශන ලබාගත්තේය.
සිංගප්පූරුව යනු ලෝකයේ දූෂණ, වංචා ඉතාමත් අඩු දේශයක් ලෙස පිළිගැනෙන අතර, එවැනි රටවල් 10ක් අයත් ලැයිස්තුවක 04 වැනි ස්ථානයේ සිටින්නේ සිංගප්පූරුව බැව් පැවසෙයි. මෙම ලෝක ලැයිස්තුව සැකසීම සඳහා ලෝකයේ රටවල් 180ක් භාවිත කර ඇත්තේ, ලොව ප්‍රධානතම දූෂණ විමර්ශන සංවිධානය වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ (Transperency International) සංවිධානය මගිනි. එනම් ලෝකයේ රටවල් 180ක් අතරින්ම සිංගප්පූරුව 04 වැනි ස්ථානය හිමිකරගෙන තිබීම අති සුවිශේෂී කතාන්දරයකි. මෙම ජාත්‍යන්තර වාර්තාව හඳුන්වා දී ඇත්තේ ‘World Corruption Perceptions Index’ නොහොත් ‘ලෝක දූෂණ සංජානක දර්ශකය’ ලෙසින් වන අතර, එහි 2021 වාර්තාවට අනුව ඉහත කරුණු හෙළිවෙයි. දැන් එසේ නම් මෙම ලෝක වාර්තාවේ අපගේ ශ්‍රී ලංකාව සිටින්නේ කිනම් ස්ථානයකද..? අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා අප මෙම සුවිශේෂී වගතුග සොයා ලියා තබමු. එනම් අතිශය ඛේදනීය කරුණ නම්, අප එහි සිටින්නේ 102 වැනි ස්ථානයේය. ලකුණු 100කින් අප ලබාගෙන ඇත්තේ ලකුණු 37ක්ද පමණි.
මේ ආකාරයට දූෂණය හා වංචාව අතින් රටවල් 180ක් අතරින්, ශ්‍රී ලංකාව 102 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙම ලෝක ලැයිස්තුවේ සමාන, ප්‍රථම ස්ථාන දෙකක වැජඹෙන්නේ ඩෙන්මාර්කය සහ නවසීලන්තය වෙයි. එතැනින් පසුව පින්ලන්තය සිටින අතර, 04 වැනි ස්ථානයේ සිටින්නේ සිංගප්පූරුවයි. මෙම තත්ත්වය දැනට සිංගප්පූරුවට අති මහත් අභිමානයක් සහ ගරුත්වයක් ගෙනදීමට සමත්ව ඇත. මෙහිදී තවත් අපූරු වගතුගක්ද හෙළිවෙයි. එනම් මෙම ලෝක වාර්තාවට අනුව ලෝකයේ දූෂණ, වංචා වැඩි රටවල් අතරින් ප්‍රථම ස්ථානයන් 03 හිමිකර ගෙන ඇති රටවල් වන්නේ, පිළිවෙලින්, සිරියාව, සෝමාලියාව සහ සුඩානයයි.
මෙයට දශක ගණනකට පෙරදී ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, තමන්ගේ සිංගප්පූරුවත්, ශ්‍රී ලංකාවක් බවට පත්කරන බැව්ය. එනම් එකල කොළඹ අගනගරය බොහෝ දර්ශනීය, සශ්‍රික නගරයක් බවට පත්වී තිබිණි. ඔහු නැවැත තම රටට ගොස් තම අභිප්‍රාය ඉටුකර ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාව එතැන සිට ආපස්සටම යන්නට ගත්තේය. එවිට සිංගප්පූරුව දුටු අපේ පාලකයන් කියන්නට ගත්තේ ශ්‍රී ලංකාව, සිංගප්පූරුවක් කරන බැව්ය. එය ‘කටින් බතල කොළ සිටුවන’ කතාවක් බවට පත්විය. පසුකාලයේදී ශ්‍රී ලංකාව තුළ යම් සංවර්ධනයක් සිදුවුවද ඒ හරහා මෙරට දේශපාලකයන් දරුණු ලෙස මහා පරිමාණ දූෂණ, වංචා සිදුකරන්නට ගත්තේය. මෙරට ප්‍රකට, ප්‍රබල දේශපාලනික පවුලක් විසින් හම්බන්තොට ප්‍රදේශයේදී සිදුකරන ලද සුවිශාල ව්‍යාපෘති සියල්ලම අද වල්වැදී හමාරය. එහෙත් එම ව්‍යාපෘති හරහා සොරකම් කරගත් මහා ධන සම්භාරය අද බොහෝ නිරුපද්‍රිතව විදේශ රටවල බැංකුවල තැන්පත්ව ඇති බවට චෝදනා එල්ලවී තිබේ. මෙම නිවට, කපටි දේශපාලකයන්ට එරෙහිව තිබුණු නඩුහබවලින් පවා ඔවුන් නිදහස් වූයේය. මෙම නිගණ්ඨයන් සිදුකළ මහා විනාශය හේතුවෙන් අද මෙරට ජනතාව නොවිඳිනා දුක් විඳිති. අද මෙරට ජනතාව 85%ක්ම මහා සාගතයකට පත්ව සිටින්නේ මෙම අමන දේශපාලකයන් රංචුව නිසාය. මොවුනට ‘දේව දඬුවම්’ ලබා දෙනවා මිසක, වෙනත් නීතිමය දඬුවමක් හෝ පිහිටට නැත.
මෙවැනි වටපිටාවක් යටතේ දැන් ශ්‍රී ලංකාව තුළ සිදුකළ යුත්තේ සිංගප්පූරුවේ නීතිය ක්‍රියාත්මක කිරීමය. පසුගිය කාලයක් පුරාම සිංගප්පූරුව තුළ දූෂණ හා වංචාවලට වැරැදිකරුවන් වූ පුද්ගලයන්ට ඉතා දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලදී. එහෙත් දැනට එරට තුළ එවැනි පුද්ගලයන් වාර්තා වන්නේ ඉතා අල්ප වශයෙනි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිවරයා ශ්‍රී ලංකාව ගැන කෙතරම් දැඩි අවධානයකින් පසුවූ නායකයෙක්ද? ඔහු සිංගප්පූරුව ගෙඩානැඟුවේ එකල ශ්‍රී ලංකාව ආදර්ශයකට ගනිමිනි. අද සිංගප්පූරුව යනු ලෝකයේ ඇති ධනවත්ම සහ අතිශය ඉහළ ආර්ථිකයක් ඇති දේශයකි. අද සිංගප්පූරුවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම අදහාගත නොහැකි තරම්ය. එනම් එය වන්නේ ඇමෙරිකානු ඩොලර් 79,576කි. මෙය ලෝකයේ රටවල් අතරින් 07 වැනි ස්ථානයට ඇති ඒකපුද්ගල ආදායම් ප්‍රතිශතයයි. මෙම ප්‍රතිශතය එරට දිනෙන්, දිනම ඉහළ යමින් පවතියි. එනම් පසුගිය වසර දෙකකට පෙර එය තිබුණේ ඩොලර් 65,000ට ආසන්නවය. එනම් මෙය එංගලන්තය, ප්‍රංශය සහ ජර්මනිය පවා අභිබවා ගිය දත්තයකි. එදා ශ්‍රී ලංකාව ආදර්ශයකට ගත් සිංගප්පූරුව අද සිටින්නේ කොතැනකද..? එනම් අද අපේ රටේ ඒකපුද්ගල ආදායම ගැන ඇසෙන විට එය විලිලැජ්ජා නැති දත්තයකි. එය ඩොලර් 3,830ක් පමණි. ලෝකයේ සිටින අමුම හිඟන්නන්ගේ ගණයට අද අප වැටී ඇත. අහෝ,.. දුකකි..!
ප්‍රියන්ත හෙට්ටිගේ










