‘මගේ නම ටෙට්සුයා යමගාමි (Tetsuya Yamag ami), වයස අවුරුදු 42යි. මම ජපානයේ නාරා නගරයේ පදිංචිකරුවෙක්. අද මම මේ ඝාතනය සිදුකළේ දේශපාලනික පලිගැනීමකට නෙවෙයි. යම් දේශපාලනික තත්ත්වයක් එහි තිබුණත් මේ ඝාතනය මගේ පුද්ගලික පලිගැනීමක් යැයි වැඩිපුරම අවබෝධ කරගන්න පුළුවන්. මගේ තරුණ කාලයේදීම මගේ අම්මා මේ පල්ලියේ කටයුතුවලට හරියට වියදම් කළා. 1991 සිට 1998 පමණ වන තෙක්ම ඇය ජපන් යෙන් මිලියන 100ක් විතර (ඇමෙරිකානු ඩොලර් 7,20,000) වියදම් කරන්න ඇති. ඒ අතරේ ඇය තමාගේ පියාගෙන් ලැබී තිබුණු වටිනා ඉඩමක් පවා පල්ලියට ප්රදානය කළා. මගේ අම්මාට තාත්තාගෙන් හිමිවුණු සාර්ථක ව්‍යාපාර කටයුතු කිහිපයක් තිබුණා. එහෙත් ඇය උපයන මුදල් මෙසේ පල්ලියට ලබාදීම නිසා ඇයගේ එම ව්‍යාපාර දරුණු ලෙස කඩාගෙන වැටුණා. ඒ නිසා අපට ලැබෙන ආදායම් අන්තයටම අඩුවෙලා ගියා. මම ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් තරුණයෙක්. ඒත් අපට මුදල් නැති නිසා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්වලා දැම්මා. මගේ වැඩිමහල් සහෝදරයාට පිළිකාවක් තිබුණා. එයට හරියට ප්‍රතිකාර කිරීමටද නොහැකි වුණා. අවසානයේදී ඔහු සිත කලකිරී සියදිවි හානි කරගත්තා. 2002 වසර වන විටදී අම්මාගේ බැංකුවල ගිණුම් සියල්ල හිඳිලා ගියා. එහෙම මුදල් නැතත් ඇය ලැබෙන පොඩි මුදලක් වුණත් පල්ලියට ප්රදානය කරන්න පුරුදු වුණා. මේ නිසා අපේ ගෙවල්වල කන්න බොන්න දෙයක් තිබුණෙත් නැහැ. මට මේ තත්ත්වය ඉවසා දරාගන්න බැරි වුණා. ෂින්සෝ අබේ අගමැතිවරයා ඝාතනය කරන්නට මම සිතාගත්තේ ඉන් පසුවයි. ඔහු තමයි මේ පල්ලි නිකාය ජපානය තුළ ප්‍රතලිත කිරීමට කාලයක් පුරා උදව් කළේ. මේ පල්ලිය දකුණු කොරියාවෙන් බිහිවුණු එකක්…’
‘මම මුලින්ම හිතාගත්තේ බෝම්බයක් පුපුරවලා හිටපු අගමැතිවරයා ඝාතනය කරන්නයි. ඒත් එහෙම කළොත් එතැනට ළඟපාත ඉන්න අහිංසක මිනිස්සුත් මැරෙනවා. ඒ නිසා හිතාගත්තේ වෙඩි තියලා මරන්න ඕනෙ කියලා. මම අගමැතිවරයා යන තැන් ගණනාවකටම ගිහින් තත්ත්වය හොයලා බැලුවා. අවසානයේදී ජූලි 08 වැනිදා නාරා නගරයට පැමිණෙන රැස්වීමේදී මේ ඝාතනය සිදුකළ යුතු යැයි මම තීරණය කළා. මම තුවක්කු හදන්න ඉගෙන ගත්තේ යූටියුබ් වීඩියෝ බලලයි. එහෙම මම තුවක්කු තුන හතරක්ම හදලා තියෙනවා. මේ භාවිත කරපු තුවක්කුවත් එහෙම එකක්. ඒක මම කඳුකර රහසිගත ප්‍රදේශයකට ගෙනගොස් වෙඩි තියලා පරීක්ෂා කරලා බැලුවා. පතුරම් හදාගත්තෙත් මම විසින්මයි. ඉතා සාර්ථකව ඒ දේ කළා. මම හදපු තුවක්කුවේ වෙඩි බෙහෙත් දල්වන්න කුඩා බැටරියක් සවිකරලා විදුලි ධාරාවක් ලබාදී තිබුණා. මෙය අමුතුම ආකාරයේ ගිනි අවි නිෂ්පාදනයක්. කොහොම හරි හරි දේම හරියටම සිදුවුණා. අගමැතිවරයාට මම වෙඩි දෙකක් තිබ්බා. එකක් වදිනවාත් සමගම අනෙක් වෙඩිල්ලත් තිබ්බා. ඒත් එක්කම ඔහු බිම ඇදවැටුණා. අගමැතිවරයාට හුඟක් සමීප ස්ථානයක සිටයි මම වෙඩි තැබීම සිදුකළේ. ඒ නිසා වෙඩි වැදීම ඉතා බරපතළ වුණා…’
කුමක්ද මේ තිගැස්සෙන බියකරු කතාන්දරය? පසුගිය 2022 ජූලි 08 වැනිදා මුළු ලොවම මහත් ආන්දෝලනයකට පත්කරමින් ජපානයේදී සිදුවුණු ත්‍රාසජනක සිදුවීමකට අදාළව මෙම වගතුග ප්‍රකාශ වී තිබිණි. එම සිදුවීම නම් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) ඝාතනය කිරීමය. එම සිදුවීම මුළු ලොවම දැනගෙන තිබුණද ඉහත ඝාතකයාගේ වගතුග ලොවට හෙළිවූයේ අල්ප වශයෙනි. එහෙයින් අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා එම සුවිශේෂ කතාව සොයා ලියා තැබුවෙමි. ටෙට්සුයා යමගාමි (Tetsuya Yamag ami) නමැති මෙම 42 වැනි වියෙදි පසුවන ජපන් ජාතික තරුණයා හිටපු අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසුව මෙම සුවිශේෂ කතාන්දරය පොලිස් නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබිණි. ඔහු හිටපු අගමැතිවරයා ඝාතනය කිරීමෙන් පසුව තුවක්කුවත් අත දරා සිටින විටදී පොලිස් නිලධාරීන් වහා ඔහු වෙත කඩාපැන්නේය. එහෙත් පුදුමයකි. ඔහු තම තුවක්කුවෙන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට හෝ එසේත් නැතිනම් වහා එතැනින් පැන යන්නට හෝ කිසිදු උත්සාහයක් දරා නැත. ඔහු ඉතා සාවධානව තුවක්කුවද අතේ ඇතිව යටහත් පහත්ව හිස බිමට නැඹුරු කරගෙන පොලිස් නිලධාරීන් වෙත භාරවිය. පොලිස් නිලධාරීන් පවා මේ වෙලාවේ මහත් පුදුමයට පත්වී ඇති අතර කිසිදු ආයාසයකින් තොරව ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත. එසේම පොලිස් නිලධාරීන් පවා ඝාතකයාට කිසිදු පහරදීමක් සිදුකර නැත.
ලෝකයේ බලගතුම රටක් වන ජපානයේ අගමැති ධුරය වසර 10කට ආසන්න දීර්ඝ කාලයක් පුරා හෙබවූ ජපානයේ සහ ලොව බොහෝ ප්‍රකට අගමැතිවරයකු වන ෂින්සෝ අබේ මෙසේ කුරිරු ලෙස ඝාතනයට ලක්වූයේ පසුගිය 2022 ජූලි මස 08 වැනිදාය. ඒ ජපානයේ නාරා නගරයේ පැවැති රැස්වීමකදීය. එම ඝාතනය සිදුකළ යට කී ජපාන තරුණයාට මින් පෙර කිසිදු අපරාධ චෝදනාවක්ද තිබී නැති අතර ඔහු ඉතා යහපත්ව ජීවිතය ගත කළ අයකු බවද පැවැසෙයි. ඔහු මේ වන විටද පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුට එරෙහිව මෙතෙක් නඩු ඇසීමද ආරම්භ කර නැත. ෂින්සෝ අබේ අගමැතිවරයා දැනට දශක කිහිපයක සිට ‘යුනිෆික්ෂන් චර්ච්’ (Unifiction Church – එක්සත් කිරීමේ පල්ලිය) නමැති ක්‍රිස්තියානි ආගමික පල්ලියකට බොහෝ ප්‍රබල ලෙස උදව් උපකාර කිරීමට එරෙහිව පලිගැනීම මෙම ඝාතනයේ අරමුණ වී ඇති බව ප්‍රකාශ විය. එනම් ජපානයේ බහුතරයක් සිටින්නේ ‘ෂින්ටෝ’ ආගම අදහන පිරිස් මිලියන 88ක් සහ බෞද්ධාගම අදහන පිරිස් මිලියන 84ක් වන අතර ක්‍රිස්තියානුවන් සිටින්නේ මිලියන 02ක් පමණි. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී දකුණු කොරියාවේදී 1954 වසරේදී ආරම්භ කෙරුණු යම් කොමියුනිස්ට්වාදී මූලධරමවලින්ද යුත් ක්‍රිස්තියානි නිකාය පල්ලියක ශාඛාවක් පසුකාලයේදී ජපානයේද ආරම්භ විය. මේ අනුව ඉහත යුනිෆික්ෂන් චර්ච් නමැති ක්‍රිස්තියානි නිකායේ පල්ලි රාශියක් ජපානය තුළ බිහිවන්නට විය. මෙම ආගම් නිකාය ජපානය තුළ බොහෝ ප්‍රචලිත කිරීමට උදව් උපකාර කර ඇත්තේ එවක වසර 10ක් පුරා අගමැති ධුරයේ සිටි ෂින්සෝ අබේය. කෙසේ හෝ ඔහු ක්‍රිස්තියානි ආගමිකයෙක්ද නොවීය. එහෙත් ඔහු එම ආගමට බොහෝ ළැදි අයෙක් විය.
ඔබට දැන් මේ අපූරු වගතුග හොඳින්ම පැහැදිලි වනු ඇතිය. ඔබට මේ කතාව ලියා තැබුවේ මේ දිනවල ජපානය තුළ ඇතිව තිබෙන තවත් මහා උද්ඝෝෂණයක් හේතුවෙනි. එනම් මාස 03කට පෙර ඝාතනයට ලක්වූ අගමැති ෂින්සෝ අබේගේ අවමඟුල් උත්සවය පැවැත්වූයේ පසුගිය අඟහරුවාදාය. එහෙත් මෙම අවමඟුල පැවැත්වීමට එරෙහිව පසුගිය දිනවල ජපානයේ ජනතාව දැඩි ලෙස විවිධ විරෝධතා පවත්වන්නට වූහ. එයට හේතු වූයේ කුමක්ද? එනම් ජපාන හිටපු අගමැතිවරයාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් අදහාගත නොහැකි මුදලක් වත්මන් ජපාන රජය (බලධාරීන්) වියදම් කරනු ලැබීමය. මෙලෙස මහජන ධනය වියදම් කිරීමට එරෙහිව දහස් ගණනක ජනතාව පසුගියදා ජපානයේ ප්‍රධාන නගර කිහිපයක් තුළදීම උද්ඝෝෂණ සහ විවිධ විරෝධතා පත්වන්නට වූහ.
කෙසේ හෝ සැබෑ ලෙසම මෙය සිතාගත නොහැකි තරමේ විශාල ධනස්කන්ධයකි. එනම් ෂින්සෝ අබේ අවමඟුල් උත්සවය සඳහා ජපාන රජය වියදම් කළ මුදල ජපාන ‘යෙන්’ බිලියන 1.07ක මුදලක් බව පැවැසෙයි. මෙම මුදල ඇමෙරිකානු ඩොලර්වලින් නම් මිලියන 12.08ක් වන අතර බි්රතාන්ය පවුම්වලින් පවුම් මිලියන 10.04කි. මෙම අදහාගත නොහැකි මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් කල රුපියල් මිලියන 3,960ක් වනු ඇත. එනම් රුපියල් කෝටි 400කට ආසන්නය. ජපානය කෙතරම් බලගතු ධනවත් රාජ්‍යයක් වුවද දැනට වසර 04ක පමණ කාලයක සිට එරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එවැනි අවස්ථාවකදී හිටපු අගමැතිවරයකුගේ අවමඟුලක් වෙනුවෙන් මෙතරම් සුවිශාල ධනස්කන්ධයක් නාස්ති කර දැමීම මහා ජාතික අපරාධයක් බව ජපාන ජනතාව කියා සිටිති. මෙහිදී හෙළිවන අපූරු පුවතක්ද වෙයි. එනම් ජපාන අගමැති අවමඟුලට දින කිහිපයකට පෙර නිමවූ එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ අවමංගල උත්සවයට පවා බි්රතාන්ය රජය වියදම් කර ඇත්තේ පවුම් මිලියන 05ක (ඩොලර් මිලියන 07ක් පමණ) මුදලක් බව පැවසෙයි. මේ අනුව බලන කල ෂින්සෝ අබේ අවමඟුල සඳහා රැජිනගේ අවමඟුලට වඩා දෙගුණයක වියදම් දරා ඇත. කෙසේ හෝ මෙම ගණන් හිලව් සම්පූර්ණ සත්‍යයකි. මේ අතර උද්ඝෝෂණවල නිරතවූ ජනතාව තවත් ප්‍රකාශ කර ඇති විරෝධතාවක් වන්නේ හිටපු අගමැතිවරයාට රාජ්‍ය අනුග්‍රහය සහිත අවමඟුල් උත්සවයක් ලබාදීමය. එම පිරිස් කියා සිටියේ මෙතෙක් ජපානයේ සිටි අධිරාජ්‍යවරුන් මියගිය විටදී පමණක් රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බවය. එහෙයින් වත්මන් රජය මෙසේ සිදුකරනු ලබන්නේ රාජ්‍ය විරෝධී ක්‍රියාවලියක් බවද ජනතාව ප්‍රකාශ කර සිටිති. එහෙයින් අවමඟුල් කටයුතු සාමාන්‍ය අයුරින් සහ වියදම් අඩු කරමින් පැවැත්විය යුතු යැයි ඔවුන් තම විරෝධතාව ප්‍රකාශ කර සිටියහ. එංගලන්තයවත් නොකළ දෙයක් මෙසේ ජපානය සිදුකරන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.
මේ අතර මෙම උද්ඝෝෂණවල උච්චතම අවස්ථාවක්ද පසුගියදා ඇතිවිය. එනම් මහජන ධනය කාබාසිනියා කරන මෙම මහා අවමඟුල් උත්සවයට විරෝධය ප්‍රකාශ කරමින් 70 හැවිරිදි මහලු ජපන් ජාතිකයකු තමන්ගේ සිරුරට ගිනිතබා ගත්තේය. ඔහු සියදිවි හානි කරගැනීම සඳහා එසේ කටයුතු කළ අතර එම ක්‍රියාව සිදුකරනු ලැබුවේ හරියටම ජපාන අගමැති කාර්යාලය ඉදිරිපිටදීය. අගමැති කාර්යාලය පිහිටා ඇත්තේ ටෝකියෝ නුවර මධ්‍යයේය. මෙම වියපත් ජපන් ජාතිකයා තමන් සඟවාගෙන පැමිණි යම් ඉන්ධන වර්ගයක් තම ශරීරයට හලාගෙන සැණෙන් ගිනි දල්වාගෙන මෙම විනාශය සිදුකිරීමට උත්සාහ කර ඇත. මිනිසකුගේ ශරීරය ගිනිදැල්වලින් වෙළී තිබෙන අයුරු දුටු ඒ අසල සිටි ජනතාව වහා එතැනට පැමිණ සැණෙන් ගිනිදැල් නිවාදමා ඇත. එවිට වාසනාවකට මෙන් එම පුද්ගලයාගේ ඇඳුම් මතින් ගිනිදැල් ඇවිළී තිබී ඇත. එහෙයින් ඔහුගේ ශරීරය ඉතා බරපතළ ලෙස පිලිස්සී නොතිබිණි. එහෙත් ඔහු පිලිස්සුම් තුවාල සහිතව එම මොහොතේම වහාම රෝහලට ඇතුළත් කර ඇත. ඔහු රෝහලේදී පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ෂින්සෝ අබේ අවමඟුලට විරෝධය දැක්වීම සඳහා තමන්ගේ සිරුරට ගිනිතබාගත් බවය. කෙසේ හෝ ඔහුට ජීවත් වීමට වාසනාව තිබී ඇත. ජපානයේ බදු ගෙවන ජනතාවගේ මුදලින් මෙලෙස සුපිරි මට්ටමේ අවමංග්‍ය උත්සවයක් පැවැත්වීම ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාවක් බවද දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇත. කෙසේ හෝ මෙම උත්සව සංවිධානය කිරීමට වත්මන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ පූර්ණ සහාය සහ අනුමැතිය ලැබී ඇත.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඝාතනයට පත්වුණු ෂින්සෝ අබේ අගමැතිවරයා යනු ජපානය තුළ බිහිවුණු දක්ෂ රාජ්‍ය නායකයකු බවත්, එසේම ඔහු නිරන්තරයෙන්ම ජාත්‍යන්තරය සමග කටයුතු කරමින් ජපානයේ ප්‍රතිරූපය ඉහළ නැවීමට කටයුතු කළ නායකයකු බවත්ය. කෙසේ හෝ මින් පෙර අවස්ථා කිහිපයකදී පමණක් ජපානයේ සිටි සාම්ප්‍රදායික අධිරාජ්‍යවරුන් මියගිය විටදී පමණක් පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සව පවත්වා ඇත. එහෙත් සාමාන්‍ය රාජ්‍ය නායකයකුට එවැන්නක් සිදුකර නොතිබිණි.
මෙලෙස ශ්‍රී ලංකා රුපියල් කෝටි 400ක් පමණ වියදම් කෙරෙන මහා අවමංගල්‍ය උත්සවයේ ප්‍රධානතම වියදම් දරන්නට සිදුව ඇත්තේ එම උත්සවයට සහභාගි වීම සඳහා ජපානයට පැමිණෙන විදේශ රටවල අමුත්තන්ටය. එවැනි පිරිස් අතර ලෝකයේ රටවල් 50ක පමණ රාජ්‍ය නායකයන්ද සිටින බව හෙළිවිය. මේ අතර මෙම රාජ්‍ය නායකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ ආරක්ෂාවද සැලසීම සඳහා අති විශාල මුදලක් වැයවන බව ප්‍රකාශ විය. ජපානයේ ටෝකියෝ අගනගරයේ ‘නිපොන් බුඩෝකාන්’ නමැති මණ්ඩප ප්‍රදේශය තුළ අවමංගල්‍ය උත්සවය පැවැත්විණි. සැප්තැම්බර් 27 වැනිදා එම උත්සවය පැවැත්වෙන විටදීද ප්‍රධාන නගර තුළ ජපාන ජනතාව තම උද්ඝෝෂණයන් පැවැත්වීය. කිසිදු වයස් භේදයකින් තොරව පිරිස් එම පෙළපාළි සඳහා සහභාගි වී සිටි අතර එම උද්ඝෝෂණ බොහොමයක්ම සාමකාමී අයුරින් පැවැති බව ප්‍රකාශ විය. ජපානයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සේවයද උත්තමාචාර පිදීම සඳහා සහභාගිවී සිටි අතර 20,000කට අධික ආරක්ෂක නිලධාරීන් ටෝකියෝ නගරයේ ආරක්ෂාවට යොදවා තිබිණි. අවමංගල්‍ය උත්සවය සඳහා සාමාන්‍ය ජනතාව කාණ්ඩ දෙකක් වශයෙන් සහභාගි වී සිටීම විශේෂත්වයකි. එනම් විරෝධයකින් තොරව අවමංගල්‍ය උත්සවයට සහභාගි වන පිරිස් සහ අවමංගල්‍ය උත්සවයට විරෝධය ප්‍රකාශ කරමින් සහභාගි නොවූ පිරිස්ද දක්නට හැකි විය. අවමංගල්‍ය උත්සවයේ බොහෝ අවස්ථා ඉතා දර්ශනීය මෙන්ම ආලෝකකරණයෙන් ඉතා උසස් අයුරින් දක්නට හැකි විය. ජපානයේ වත්මන් අගමැති ෆුමියෝ කිෂීඩා විසින් දීර්ඝ ගුණකථනයක් සිදුකරනු ලැබීය. එහෙත් ජපානයේ විරුද්ධ පක්ෂ රැසක්ම මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම වර්ජනය කර ඇත. කෙසේ හෝ කුමන බාධක පැමිණ තිබුණද ෂින්සෝ අබේ අවමංගල්‍ය උත්සවය ඉතා සාර්ථකව පවත්වන ලදී, ලෝක නායකයන් සමග ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්රමසිංහද සහභාගි වී සිටි ආකාරය දැකගන්නට ලැබිණි. ඔහුත් සමග තවත් නිලධාරීන් 06 දෙනකු ජපානයට ගිය බවටද කරුණු හෙළිවී තිබිණි.
ෂින්සෝ අබේ අගමැතිවරයා ඝාතනයට ලක්වන විට 67 වැනි වියෙහි පසුවිය. වසර 10කට ආසන්න කාලයක් ජපානයේ අගමැති ධුරය දැරූ ඔහු ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ (Liberal Democratic Party) සභාපතිත්වයද වසර ගණනාවක් පුරා දැරීය. ජපානයේ බලගතු රාජ්‍ය නායක ධුරය වන්නේ අගමැති ධුරයයි. එම රාජ්‍යයට ජනාධිපති ධුරයක් නැති අතර සාම්ප්‍රදායික අධිරාජ්‍ය තනතුරක් පමණක් ඇත. එහෙත් රට පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් හරහාය. ජපානයේ වත්මන් අධිරාජ්‍යයා වන්නේ නරුහිතෝ (Naruhito) අධිරාජ්‍යයාය. ඔහු ජපානයේ සහ ලොව ප්රකටව සිටි අකිහිතෝ (Akihito) අධිරාජ්‍යයාගේ පුත්‍රයාය. 2019 වසරේ සිට නරුහිතෝ අධිරාජ්‍යයා බලයේ සිටින අතර ඔහු ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා බව ප්‍රඛාශ වෙයි. මෙය ජපානයේ රාජකීය පැලැන්තියේ නායකත්වයකි. කෙසේ හෝ අකිහිතෝ අධිරාජ්‍යයා ලෝක සාමය වෙනුවෙන් බොහෝ කැපවී කටයුතු කළ අධිරාජ්යවරයකු ලෙස ප්රකටය. ඔහු දැනට 88 වැනි වියෙහි පසුවන අතර රාජ්‍ය පාලනයට සම්බන්ධ නැත. කෙසේ හෝ මෙවන් පටපිටාවකදී ඝාතනයට ලක්වූ ෂින්සෝ අබේ අගමැතිවරයාද ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද වසර 30කට ආසන්න කාලයක් නොකඩවා දැරීම වාර්තාවක් විය. එනම් 1993 වසරේදී සිටම ඔහු මන්ත්‍රී ධුරය දරනු ලැබූ අතර ඝාතනයට ලක්වන විටදීද ඔහු එම ධුරයේ කටයුතු කළේය. කෙසේ හෝ ෂින්සෝ අබේ අගමැතිවරයා තම අගමැති ධුර කාලය තුළදී ලෝකයේ බොහෝ රටවල් සමග සුහදත්වයෙන් කටයුතු කළ බව ප්රකටය. එහිදී ශ්‍රී ලංකාව සමගද ඔහු බොහෝ සමීපව කටයුතු කර ඇත. එසේම ඔහු ජපානය තුළ ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළ අතර ඒ ගැන ඔහුට එරෙහිව ඇති චෝදනා බොහෝය. කෙසේ හෝ වත්මන් ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේද මෙම අගමැතිවරයාගේ ආරාධනාව මත ජපානයට පැමිණියේය. ලෝකයේ විවිධ ප්‍රකට සම්මාන සහ ගෞරව නාම රැසකටද ඔහු පාත්‍ර විය. විශ්වවිද්‍යාල උපාධිධාරියකු වන ඔහු ජාත්‍යන්තර සම්මාන, ආචාර්ය උපාධි හතරකින්ද පිදුම් ලබා ඇත.
මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී දැන් ජපානයෙන් වාර්තා වන්නේ තවත් අපූරු කතාවකි. එනම් ෂින්සෝ අබේ හිටපු අගමැතිවරයා ඝාතනය කළ ටෙට්සුයා යමගාමි යනු තමන්ගේ කාලයේ වීරයෙක් යැයි යම් තරුණ කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇත. එසේම තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ටෙට්සුයා යමගාමී යනු දෙවියකු බැව්ය. ඔහු දේශපාලනික ඝාතකයකු හෝ ත්‍රස්තවාදියකු හෝ නොවන බවත්, ඔහු මෙම ඝාතනය සිදුකළේ තමන් පත්ව සිටි අන්ත අසරණ තත්ත්වය නිසා යැයි එම ජන කණ්ඩායම් කියා සිටිති. ඔහුට පාක්ෂිකව සිටින මෙම කණ්ඩායම්වල ක්‍රියාකලාපය කෙතරම් දුරදිග ගොස් ඇතිද යත් ටෙට්සුයා යමගාමි වෙනුවෙන් අරමුදලක්ද ආරම්භ කර ඇත. දැනට එම අරමුදල යෙන් මිලියන 01ක් (ලක්ෂ 10ක්ද) ඉක්මවා ඇතැයිද පැවැසෙයි. මෙම මුදල් ඔහුගේ නඩුහබ කටයුතු සහ අනෙකුත් සුබසාධන කටයුතු සඳහා වෙන්කර ඇත. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් ලක්ෂ 25ක් පමණ වෙයි. මේ අතර 42 හැවිරිදි ටෙට්සුයා යමගාමි රැඳවුම් භාරයේ තබා සිටින බන්ධනාගාරයට ඔහු වෙනුවෙන් එකතු කරන ලද ආහාර වර්ග, රෙදිපිළි, පොත්පත් තොගයක්ද යවා ඇත. එතැනින්ද නොනැවතුණු පිරිස් ඔහුගේ නිදහස පතා ජනතා පෙත්සමක්ද අස්සන් කිරීම අරඹා ඇත. මේ වන විට මෙම පෙත්සමට සහාය දක්වමින් 10,000කට අධික පිරිසක් අස්සන් තබා ඇත. කෙසේ හෝ මේ සියල්ල සිදුවන්නේ මිනිස් ඝාතනයක් සිදුකළ අයකුට එසේත් නැතිනම් ඝාතකයකුට සහාය දැක්වීමක් ලෙසය. ඔහුගේ ඉරණම විසඳිය හැක්කේ මහාධිකරණයට පමණක්ය.
ජපානය යනු ඉතා ප්‍රබල ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක වන රටකි. 2021 දෙසැම්බර් 21 වන විටදී අපරාධකරුවන් 107 දෙනකු තම මරණය එන තෙක් පෝලිමේ සිටියි. මේ අතර වසර 2000 සිට මේ දක්වා අපරාධකරුවන් 119 දෙනකු එල්ලා මැරීමට ලක්කර ඇත. මෙහිදී අපූරු කතාව වන්නේ එල්ලා මරණ දවස අපරාධකරුට දන්වන්නේ එදින උදය වරුවේ වන අතර ඥාතීන් වෙත දන්වා සිටින්නේ එල්ලා මැරීමෙන් පසුව වීමය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අපරාධකරුවෝ නම් බොහෝ යහතින් සිටිති.
ප්‍රියන්ත හෙට්ටිගේ