2010 ජනාධිපතිවරණයෙන් දිනලා 2010 මහ ඡන්දයත් දිනලා තුනෙන් දෙකක බලයකට කිට්ටු කරලා මහින්ද රජෙක් වගේ ඉන්න වෙලාවේ සිරිකොතේ ගේට්ටු කඩාගෙන යූ.ඇන්.පී. පාක්ෂිකයෝ ඇවිත් රනිල් වහාම ඉවත්වී සජිත් ප්‍රේමදාසව නායකයා කළ යුතු යැයි කියා මොරදෙන්න පටන්ගත්හ. මහින්ද මේ සිරිකොත පෙරළිය සිරස ටී.වී. ඔස්සේ බලාගෙන සිටියේය. මේ වෙනකොට රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරු නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් මහින්ද ඔහුට නායකත්වයට පාර කපන තෙක් ඉවසා සිටියේය.Sri Lanka Latest News
‘සජිත් ඔළුව ඉස්සුවොත් නාමල් ඉවරයි. නාමල් පුටුවට එනතෙක් රනිල්ව යූ.ඇන්.පී. නායකත්වයේ තියාගන්න ඕනෙ…’
මේ, රනිල් සහ මහින්ද අතර පණිවුඩ ගෙනයන පණිවුඩකරුවන් මහින්දට ගෙනගිය පණිවුඩයය. රනිල්, මංගල ඇතුළු සජිත් විරෝධීන් ඔක්කොම සජිත්ව ඉවර කරගන්න මේ තියරිය මහින්දගේ ඔළුවට දැම්මේය. මහින්ද රනිල්ව ආරක්ෂා කරන්න තීන්දු කළේය. පක්ෂ නායකයා තෝරන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර මහින්ද කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට කතාකොට ඔවුන්ගේ ඕනෑ එපාකම් අසා ඒවා ඉටුකර දෙන්න පොරොන්දු වී රනිල්ට පක්ෂ වෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ වගේම සජිත්ගේ වටේ සිටි කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන්ට කතාකොට ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර දී සජිත්ට කල් තියෙනවා කියා ඔහුව තරගයෙන් ඉවත් කරගන්නා ලෙසට බලපෑම් කළේය. ඒ වෙලාවේ රනිල්ව ආරක්ෂා කරලා දුන්නේ මහින්දය. ඉන් පසු රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියා සිරිකොතට පෙළපාලියක් එද්දී රනිල් බයවී මහින්දට කී විට මහින්ද සිරිකොත පාර කාපට් කරන්න වසන ලෙස නියෝග කළේය. රනිල්ට ඉවත් වෙන්න කියා මාතර සිට එන සජිත්ගේ පෙළපාළියට රනිල් සහ මංගලගේ කාඩර්ලා කුරුඳු පොලුවලින් ගහද්දී මහින්ද හිනා වෙවී බලා සිටියේය. හැබැයි පසුව පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා තෝරන ඡන්දයේදී සිරිකොත ඇතුළේ සිට මැරයන් සජිත්ගේ කණ්ඩායමට පහර දුන් විට සජිත්ගේ කණ්ඩායම ගල් ගැසීය. ඒ වෙලාවේ සිරිකොත රනිල්ගේ මැරයන් බේරා ගල් ගහපු සජිත්ගේ කණ්ඩායම හිර කළේ මහින්දය. වෙනකක් තබා එතැනට කෑම අරගෙන ආ සජිත්ගේ මව හේමා ප්‍රේමදාසගෙන් කටඋත්තර ගත්තේය.
මහින්ද මේ හැම එකක්ම කළේ නාමල් එන තෙක් රනිල්ව යූ.ඇන්.පී. නායකත්වයේ සහ විපක්ෂ නායකත්වයේ තියාගන්නටය. මෛත්‍රීපාල ජනාධිපති වී රනිල්ව අගමැතිකමෙන් ඉවත් කළ කුමන්ත්රණයේදී මහින්ද අගමැතිකම බේරාගත්තේ රනිල් සමග කතා කරලා බව දන්නේ කිහිප දෙනෙකි. මහින්ද සහ රනිල් බයවූයේ මෛත්‍රී සජිත්ව අගමැති කරයි කියාය. සජිත්ට වඩා එතැන මහින්ද ඉන්නවාට රනිල් කැමැති විය. කුමන්ත්‍රණයට පසු දින සටන් නොකරම විපක්ෂයට යමු යැයි රනිල් කීවේ ඒ නිසාය.
මංගලලා රනිල්ගෙන් වෙන් වී 2019 ජනාධිපතිවරණයට සජිත්ව අපේක්ෂකයා කරන්න යද්දී මහින්ද සහ රනිල් එක්වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක් නෙ එන්න හැදූහ. කපුකම කළේ රවීය. එයට මංගලලා මෙන්ම ගෝඨාගේ ටීම් එකද විරුද්ධ වීමෙන් වැඩේ හබක් විය.
2020 මහ ඡන්දයෙන් රනිල්ට ආසනයක් නැතිවී ඡන්ද 20,000ක් ගෙන පරාජය වී සිටින විට මහින්ද සහ ශිරන්ති, නාමල්ද සමග වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි රනිල්ගේ බිරිය බලන්න ගොස් රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න යැයි බල කළේ සජිත්ව ඉවර කොට යූ.ඇන්.පී.ය යළි ගොඩනගා නාමල් එනතෙක් විපක්ෂය අල්ලාගෙන ඉන්න යැයි කියන්නටය. රනිල් රුවන් විජේවර්ධනව පක්ෂ නියෝජ්‍ය නායක කරන විට මහින්ද ප්‍රසිද්ධියේම රුවන්ට සහාය පළ කළේය. සජිත්ව පන්නා යූ.ඇන්.පී,යේ බලය තහවුරු කොට රනිල් නාමල් එනතෙක් බලයට ආවත් කමක් නැතැයි මහින්ද හිතුවේ ගෝඨාභය නාමල් ගොඩදමන්න කිසිවක් නොකළ නිසාය. තමාගේ සහෝදරයෙක් නොවුණත් තම සහෝදරයන් නාමල්ව ගොඩ නොදමන නිසා රනිල් තමාගේ සහෝදරයෙක් සේ නාමල්ව පුටුවට ගෙන යන්න පාර කියනු ඇතැයි මහින්ද සිතීය.
අරගලය වෙලාවේ ගෝඨා අගමැතිකම දෙන්න සජිත්ට, ෆොන්සේකාට, ඩලස්ට, විජේදාසට කතාකරන කොට රනිල්ට අගමැතිකම දෙන්න යැයි ගෝඨාට නියෝග කළේ මහින්ද බව හැමෝම දනී. රනිල් සහ ඔහුගේ ඇමැති මණ්ඩලය කියන අභියෝගයක් ඔවුන් බාරගත්තේ නැත. නාමල්ට පාර කපන අභියෝගය මහින්ද සහ රාජපක්ෂ පවුල රනිල්ට බාරදුන්හ. සජිත් හෝ ෆොන්සේකා අගමැති වුණොත් නාමල් ඉවර යැයි ඔවුහු සිතූහ. ගෝඨා රනිල් පැන්නාට පසු රනිල්ව වැඩබලන ජනාධිපති කරන්න යැයි ගෝඨාට නියෝග දුන්නේ මහින්දය. මහින්ද මේ ඔක්කොම කළේ රනිල් නාමල්ට ලොකුම තර්ජනය වූ සජිත්ව ඉවර කොට නාමල්ට පුටුවට යන්න පාර කපනු ඇතැයි සිතාගෙනය.
ඒත් සජිත්ගේ ගමන නතර කරන්න රනිල්ටයි මහින්දටයි දෙන්නාටම බැරිවිය. දැන් අලි මදිවාට කොටි කීවා සේ නාමල්ගේ ගමනට ලොකුම බාධකය රනිල්ය.
නරියාට කුකුළෝ බාරදුන්නා වාගේ නාමල්වත් පොහොට්ටුවත් රනිල්ට බාරදුන් මහින්ද අද ඉන්නේ අන්ත අසරණ වෙලාය. සිංහයා දිරාපත්වී ලෙඩවී වයස්ගත වී සිටියත් තණකොළ කන්නේ නැත. කැමැති වුණත් අකැමැති වුණත් මහින්දත් ඒ වගේ සිංහයෙකි. ඇමෙරිකාව, මහා බි්රතාන්යය, ප්‍රංශය පමණක් නොව ඉන්දියාව සමග වුවද හැප්පෙන්න බය නැති සිංහයෙකි.
‘ඉතින් ඔහු රනිල්ට බය වෙයිද…?’
ඔහු රනිල්ට බයවෙයි කියා සිතිය නොහැකිය. ඔහු නාමල්ව දැම්මේ ඒකය. රනිල්ටම ඇනෙන්නය. නාම්ල මේ වෙලාවේ අපේක්ෂකත්වය පැතීමද පුදුමය. ඔහු එයින් තමන් ඔටුන්න හිමි කුමාරයෙක් නොව ඔටුන්නට සටන් කරන කුමාරයෙක් බව පෙන්වීය. ආණ්ඩුවක් ඡන්දයෙන් පරාජය වීමෙන් පසු ඒ ආණ්ඩු පක්ෂයේ කුණු නොහොත් හොරු, මිනීමරුවන් ඉවත් කොට පක්ෂය ශුද්ධ කිරීම ලෙහෙසි නැත. හේතුව පරාජයට පසු ඔවුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ බෝඩ් එක එල්ලාගෙන ඉස්සරහ පේළියේ පුටුවල අසුන් ගන්නා නිසාය. රනිල් පොහොට්ටුවේ දූෂිතයන්, මැරයන් අරගෙන නාමල්ට පක්ෂයම ශුද්ධ කරලා දුන්නේය. දැන් හොරු හතළිහම ඉන්නේ රනිල් එක්කය. ලංකාව බංකොලොත් කළේ රාජපක්ෂලා සහ රාජපක්ෂලාට කඩේ ගිය මේ ඇමැති මණ්ඩලයය. පවිත්‍රා වන්නිආරච්චි ඇලවල් ගානේ මුට්ටි නොදමා කොවිඩ් මර්දනය කළා නම් ලංකාවේ විදේශ සංචිත හිඳෙන්නේ නැත. අලුත්ගමගේගේ අසූචි පොහොර නැව නිසා චීනය තරහා විය. නිමල් සිරිපාල ජපාන ලයිට් රේල්වේ ප්‍රොජෙක්ට් එකෙන් අතමිට සරු කරගන්න ගිය නිසා ජපානය තරහා විය. රත්තරන් කවුද කියලා රටම දනී. නිමල් ලන්සාගේ ගෙදර කුඩු තියෙනවද බලන්න පොලිසිය යැව්වේ ගෝඨාබයය. ප්‍රසන්නගේ කප්පම් නඩුව නිසා ප්‍රසන්නට කියන්නේ කප්පම් ප්‍රසන්නය. කංචන විජේසේකර සහ ඔහුගේ පියාගේ කෙරුවාව දන්න අය දනිති. මේ රනිල්ගේ ටීම් එකය. මේ ටීම් එක රනිල් ළඟට ගියාට නාමල් තරම් සතුටු වෙන වෙන කෙනෙක් නැත. ඕවාට කියන්නේ කියලාවත් කරගන්න බැරි වැඩ කියාය.
මේ ජනාධිපතිවරණයේ රනිල් සහ නාමල් අතර සටන කෘතගුණය පිළිබඳ සටනකි. රනිල්ව අගමැති කළේත් ජනාධිපති කළේත් මහින්ද, නාමල් සහ රාජපක්ෂ පවුලය. රනිල් ළඟට ගිය පොහොට්ටු මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට පයගැහුවේත් මැති ඇමැතිකම් ගත්තේත් මහින්ද නිසාය. දැන් මහින්ද හදපු ජනාධිපති රනිල් සහ මහින්ද හදපු මැති ඇමැතිවරු මන්ත්‍රීවරු පොහොට්ටුවේ පෙති ගලලා සපත්තුවෙන් ගහලා කෑලි කෑලි වෙන්න ගේමක් දී තිබේ.
‘1951 සිට කැපුවත් නිල් පාටට කියලා ශ්‍රීලනිපයට කතිරය ගහලා 2018 මහින්ද මහත්තයා කොතැනද, අපි එතැන කියලා පොහොට්ටුවට කතිරය ගහපු මිනිස්සු ගම්වල තවම ඉන්නවද?’
ඉන්නවා නම් ඔවුන් කෘතගුණය කියන පාඩම රනිල්ටත්, රනිල් එක්ක ආපු පොහොට්ටු සෙට් එකටත් කියාදෙනු ඇත.