මහාචාර්ය ජී.එල්. පීරිස් යනු ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෙකි. වර්තමානයේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව ඒ මහතාගේ ස්ථාවරය වී තිබේ. හෙතෙම පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය කල්දැමිය හැක්කේ ජනම විචාරණයකින් පමණක් බවකි. ඒ පිළිබඳ ජී.එල්. පීරිස් මහතා අද දින මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් මෙසේය.
යම් යම් තැන්වල ඉතා විවාදයට භාජනය වෙලා තිබෙන කරුණක් තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙයිද නැද්ද කියන එක. ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. අනිවාර්යයෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ සතියේ ප්‍රකාශයට පත්කරනවා කියලා නාමයෝජනා භාරගන්න දිනය. ඉන් පසු ඒ සම්පූර්ණ ක්‍රියාදාමය කාලවකවානු පැහැදිලිව නීතියෙන් නිර්වචනය වෙලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව කියනවා එන දවස් කිහිපය තුළ නාමයෝජනා බාරගන්න දිනය ප්‍රකාශ කරනවා කියලා. නීතියේ අනිවාර්ය අවශ්‍යතාවක් තමයි මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනෙ කියන එක. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්න ඕනෙ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මුල. ඒ පිළිබඳ අබමල් රේණුවක සැකයක් නෑ. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ එය අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. ඒත් එක්කම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා ඒ අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තිබෙන කාර්ය කිසිම අඩුපාඩුවක් නැතිව උපරිම මට්ටමෙන් ඉෂ්ට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා කියලා. ඔවුන් පැහැදිලි ප්‍රතිඥාවක් රටට දීලා තිබෙනවා. හැබැයි ඒ එක්කම ප්රවෘත්ති පත්‍රවල ප්‍රකාශ කරලා තිබෙන නිවේදනය අනුව මැතිවරණ කොමිෂන් සභාව කියලා තිබෙනවා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත්තොත් මැතිවරණය කල්දැමීමට, ඊට අවනත වීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවෙනවා කියලා. එහෙම ප්‍රකාශයක් මැතිවරණ කොමිෂන් සභාව කරලා තිබෙනවා නම් ඒක නිවැරැදි ප්‍රකාශයක් නොවෙයි. ඒ මොකද, ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයකදීම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අභිමතයක් නෑ. එක නඩු තීන්දුවක් තිබෙනවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂයෙන්. මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනෙ. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැැමීමට කිසිසේත් පුළුවන්කමක් නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය රැඳී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ නොව, ජනතාව අතේ. පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් නෑ. මේ දින වකවානු අනුව අනිවාර්යයෙන් මැතිවරණය පවත්වන්න ඕනෙ. ඒ සම්බන්ධයෙන් වෙනසක් සිදුකරනවා නම් ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා.
දැන් අපට පේනවා හරි පුදුම තර්කයක් යම් යම් තැන්වලින් ඉදිරිපත් වෙලා තිබෙනවා. රජයේ අමාත්‍යවරුන්, රජයේ ප්‍රකාශකයන් කියා තිබෙනවා මැතිවරණය පවත්වන්න මුදල් නෑ කියලා. ඒ නිසා මැතිවරණය කල් දාන්න සිදුවෙනවා කියලා. කිසිම රටක කිසිම ආණ්ඩුවක් කිසිම කාලයක මේ විදියේ අභූත තර්කයක් ඉදිරිපත් කරලා නෑ. මේ තර්කයට අපි ඉඩ දෙනවා නම් ඒක තමයි ප්රජාතන්ත්රවාදයේ අභාවය. ඊට පස්සේ අවම මට්ටමෙන්වත් ප්රජාතන්ත්රවාදයක් අපේ රටේ තිබෙන්නේ නෑ. අද සිටින ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිල කාලයෙන් නොගෙවුණු කොටසේ සේවය කිරීමට තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් පත්කරලා තිබෙන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකහමාරක පමණ කාලයකට. ඒ කාලය අවසන් වුණාම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කිව්වොත් ජනාධිපතිවරණය පවත්වන්න බෑ, ඒ සඳහා මුදල් නෑ කියලා, එතකොට මොකක්ද වෙන්නේ? ජනතාව විසින් කිසිසේත් පත් නොකරගත්, ජනතාවගෙන් කිසිම විදියේ වරමක් ලබා නොගත් ජනාධිපතිවරයකුට පුළුවන් වෙනවා දිගින් දිගටම ජනාධිපති හැටියට කටයුතු කරන්න. සීමිත කාලයකට පත් කළේ. ඒ කාලය අවසාන වෙනවා එන අවුරුද්දේ නොවැම්බර් මාසයෙන්.
එතකොට එන අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කියනවා ජනාධිපතිවරණය පවත්වන්න රටේ මුදල් නෑ කියලා. එතකොට ඒකෙ ප්‍රතිඵලය මොකක්ද? ඒ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා, ජනතාවගෙන් කිසිම වරමක් ලබා නොගත් ජනාධිපතිවරයාට පුළුවන් වෙනවා දිගින් දිගටම ඒ තනතුර හෙබවීමට. ඒ වගේම පාර්ලිමේන්තුව පත්වන්නේ සීමිත කාලයකට. අවුරුදු පහකට. එතකොට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන කාලය ආවම ඔය තර්කය ඔය විදියටම ඉදිරිපත් කරන්න හැකියි. වෙන අවශ්‍යතා තියෙනවා, මැතිවරණය පවත්වන්න මුදල් නෑ, ඒ නිසා අවුරුදු 5කට පත්වෙච්ච පාර්ලිමේන්තුව දිගින් දිගටම මැතිවරණයක් පවත්වන්නේ නැතිව බලයේ සිටින්න උත්සාහ දරන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් කිසිම ප්රජාතන්ත්රවාදී රටක පිළිගන්න පුළුවන්කමක් නෑ. යථා කාලයේදී මැතිවරණ පවත්වන්න ඕනෙ. එසේ නොකරනවා නම් එවන් ආණ්ඩුවක් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ලෙස කිසිසේත් සලකන්න පුළුවන්කමක් නෑ.
අනෙක මේ මුදල් පිළිබඳ ප්රශ්නය. රජයට අන් සියලු කටයුතු සඳහා අනන්ත අප්‍රමාණ මුදල් තියෙනවා. කිසිම අඩුපාඩුවක් නෑ. මුදල් හිඟය ගැන කතා කරන්නේ මැතිවරණ සම්බන්ධයෙන් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුද්දක් රට පාලනය කළා එකම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරන්නේ නැතිව. හැබැයි මේ ආණ්ඩුව රාජ්‍ය අමාත්‍යවරුන් 39ක් පත්කරලා තිබෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න ඒ සඳහා කොතරම් විශාල ධනස්කන්ධයක් යොදාගන්න සිදුවෙනවද කියලා. ඒ ඇමැතිවරුන්ගේ වැටුප්, වරදාන, නිල වාහන, ඉන්ධන, විදේශ ගමන්, පෞද්ගලික කාර්ය මණ්ඩල ආදී මේ සඳහා වැය කරන්න සිදුවන මුදල. දැන් ආරංචියක් තියෙනවා තව කැබිනට් ඇමැතිවරු 12 දෙනකුත් පත්කරන්න යනවා කියලා. එතකොට කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු පත්කිරීම සඳහා විශාල මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ඒක කරන්න රජය සූදානම්.
පළාත් පාලන මැතිවරණය සඳහා වැයවන සම්පූර්ණ මුදල කොපමණද? රුපියල් බිලියන 10ක්. 2023 වර්ෂය සඳහා රජයේ වියදම කීයද? දළ වශයෙන් රුපියල් බිලියන 7,600ක් පමණ. මේ 7,600න් 10ක් වියදම් කිරීම තමයි අද දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට මේ රජය දිනෙන් දින කෙතරම් මුදල් මුද්‍රණය කරනවද? ටි්රලියන කීයක් මුද්‍රණය කරනවද? එතකොට රාජ්‍ය ඇමැතිවරු, කැබිනට් ඇමැතිවරු පත්කරන්න ඒ ඒ වියදම් සඳහා අසීමිත මුදල් මුද්‍රණය කිරීමට කිසිම පැකිලීමක් නොදක්වන ආණ්ඩුවක් ඇයි මේ බිලියන 10 වියදම් කිරීමට මෙතරම් මැළිකමක් දක්වන්නේ? ඒ තර්කය අපට කිසිසේත් පිළිගන්න පුළුවන්කමක් නෑ. රජයක ප්රමුඛ යුතුකමක් තමයි යථා කාලයට මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දීම. ඒ මුදල් වෙන්කිරීම අත්‍යාවශ්‍යයි. මේ සම්බන්ධයෙන් අපි නඩු පවරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. පෙත්සම් දෙකක් තිබෙනවා. ඒ නඩුව අහනවා ජනවා 18 වැනිදා. අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලකරන්න කියලා නීතියට අනුකූලව මැතිවරණය පවත්වන්නට කියලා. එසේ නොකරනවා නම් අපි සිවුවැද ෑරුම් වැඩපිළිවෙළක් දියත් කරනවා. ප්‍රථම වශයෙන් පාර්ලිමේන්තුව තුළ. දෙවැනුව රට පුරා. තුන්වැනුව අධිකරණය හමුවේ අදාළ ප්‍රතිකර්ම ඉල්ලා සිටිනවා. හතරවැනුව ජාත්‍යන්තරය හමුවේ අපි දැඩි මතයක් ගොඩනගනවා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අභාවයට පත්කිරීම සඳහා සැලසුම්සහගත චේතනාන්විත වැඩපිළිවෙළක් මේ විදියට දියත් කරනවා කියලා. අපි විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙළට විරුද්ධ පක්ෂය සම්පූර්ණයෙන් අවතීර්ණ වෙයි කියලා.
එතකොට අද තිබෙන තත්ත්වය අනුව ඉතා පැහැදිලි දෙයක් තමයි මේ පළාත් පාලන ආයතන මැතිවරණය මාර්තු 20 වැනිදට පෙර අනිවාර්යෙන් පැවැත්වීටම සිදුවෙනවා. හැබැයි ඒක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. අතිශය අකැමැත්තෙන්. සෑම උප්පරවැට්ටියක්ම අසාර්ථක වුණාම වෙන කරන්න කිසිම විකල්පයක් නැති නිසා තමයි අකැමැත්තෙන් මේ මැතිවරණය පැවැත්වීමට රජයට සිදුවන්නේ. ඒ අනුව බොහොම පැහැදිලිව පෙනෙන්නේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වන විටම රජය පිළිඅරන් තිබෙනවා අන්ත පරාජයකට පත්වන බව.
අනෙක දැන් කියනවා මැතිවරණ කොමිසම ඇතුළෙ බෙදීමක් තියෙනවලු. අමූලික බොරුවක්. ගහපු ගැසට් එකට කොමිසමේ සාමාජිකයන් පස් දෙනාම අස්සන් කරලා තියෙනවා. ඊළගට මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියනවලු ඡන්දය තියන්න සල්ලි නෑ කියලා. මේවා එක තැනකින් ප්ලාන්ට් වෙන නිවුස්.