ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34%කින් පමණ වැඩිවී ඇති බවත්, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කවරදාකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වී ඇති බවත්, මේ හරහා අද වන විට කොරෝනා මරණ 60% කින් වැඩිවී ඇති තත්වය තුල මේ ව්‍යසනයේ බරපතල බව මනාව පැහැදිලි වන බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත කරමින් සදහන් කොට ඇත.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
අද වන විට අප රට තුල සීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පාලනය සඳහා දැඩි ලෙස පුද්ගල සංසරණය සීමා වන පරිදි රට සති කීපයකට වසා දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අප මීට කලින්ද ප්‍රකාශ කර ඇත.
මේ තත්වය තුලදිනෙන් දින රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍ර ලෙස වැඩිවෙමින් පවතී. අද වන විට රජයේ සංඛ්‍යාලේඛන අනුව දිනකට මිනිස් ජීවිත 150 ට වැඩි ප්‍රමාණයක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්වය තුල ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්වය අතිශය භයානක වනු ඇත.
බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අනුව අපගේ අදහස සැබෑ ලෙස මෙම අගයන් මීට වඩා වැඩි විය යුතු බවයි.
තීරණ ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිග්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය අඩපණ කරයි. මේ වන විට සෞඛ්‍ය පද්ධතිය තුල ඇති සම්පත් සීග්‍රයෙන් සීමාකාරී තත්වයට පත්වීම තුල අර්බුධය දිනෙන් දින උග්රවෙමින් ඇත.
ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34% කින් පමණ වැඩිවීම, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කවරදාකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වී ඇත. අද වන විට කොරෝනා මරණ 60% කින් වැඩිවී ඇති තත්වය තුල මේ ව්‍යසනයේ බරපතල බව මනාව පැහැදිලි වේ.
මේ සියලු කරුණු සලකා බලා වගකිව යුතු වෛද්‍ය වෘත්තීය සමිතියක් ලෙස තවදුරටත් අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ඉදිරි සති දෙකක කාලයේ දී සියලුම අත්‍යවශ්‍ය නොවන ගමන් නවතා තම තමන්ගේ නිවස් වලට සීමාවී රැඳී සිටින ලෙසයි.
දිගින් දිගටම වගකිව යුතු අංශ වලින් ඉල්ලීම් කලද ඒවාට ප්‍රතිචාර නොදක්වන තත්වයක් තුල සියලු ජනතාව තමන්ගේ සංචරණයන් දැඩිව සීමා කිරීම තුලින් හෝ ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට මේ බැරෑරුම් අවස්ථාවේ දී අප සෑම උත්සාහයක්ම ගත යුතුය.මේ තත්වය තුල කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයනේ තෘතීයක මට්ටමේ රෝහල් අද වන විට දැඩි අර්බුධකාරී තත්වයකට පත්වී ඇත.
එම රෝහල් කොවිඩ් 19 රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් එම රෝහල් වලින් කොව්ඩි නොවන රෝගීන්ට සපයන රෝගී සත්කාර සේවාවන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. විධිමත් සැලස්මකින් තොරව එම රෝහල් වලට දරාගත නොහැකි ප්‍රමාණයට අධික ලෙස කොවිඩි රෝගීන් ඇතුල් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම රෝහල් වලට පැමිණෙන අනෙකුත් රෝගීන්ද අවධානමට ලක්කර ඇත.
එසේම දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන් නිසා එම රෝහල් වල ඇති අනෙකුත් විශේෂිත ඒකක වල රෝගී සත්කාර නියමිත පරිදි පවත්වා ගෙන යාමේ ගැටළුද පැන නැගී ඇත. එම රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරාගත නොහැකි තරම් කොවිඩි රෝගීන් ප්‍රමාණයකට සත්කාර කිරීමට සිදුවීම නිසා ඔවුන් අධික වෙහෙසකර තත්වයට පත් වී ඇත.
එමෙන්ම එම කාර්ය මණ්ඩලවල සැලකිය යුතු ප්‍රමාණයක් ආසාදිත තත්වයට පත්වීම තුල සේවය ලබාදෙන කාර්ය මණ්ඩල දැඩි ආතතියකට ලක්වී ඇත. මේ තත්වය තුල කොවිඩි නොවන විවිධ රෝගාබාධ ඇති රෝගීන්ට නියමිත ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වීම ද බරපතල කාරණයක් ලෙස සැලකිය යුතුය.
රටේ රෝහල් පද්ධතියේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා කොළඹ ජාතික රෝහල ඇතුළු තෘතීයික රෝහල් වල අද ඇති වී ඇති අර්බුධකාරී තත්වය විසඳීම සඳහා විධිමත් සැලස්මක් අනුව වහාම කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි දැඩිව අවධාරණය කරමු.
වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය










