ජේ.ආර්. ජයවර්ධන නාකි නරියා නැත්නම් ඕල්ඩ් ෆොක්ස් කියලා කිව්වේ ඇන්.ඇම්.ලා කොල්වින්ලාය. පසු කලක විදේශ මාධ්‍ය පවා ජේ.ආර්.ව හඳුන්වන්න ඒ නම පාවිච්චි කළේය. රනිල් ජේ.ආර්.ගේ බෑණාය. තමනුත් මාමා වගේ කපටි නරියෙක් කියලා පෙන්වන්න රනිල් බොහෝ විට උත්සාහ දරයි.Sri Lanka Latest News
මේ නරි කතාව කියද්දී මතක් වෙන්නේ පුංචි කාලයේ අහපු ‘නරියා සහ කේජු කෑල්ල’ කතාවය. ඒ කතාවේ කපුටෙක්ද සිටී. කපුටාගේ කටින් කේජු කෑල්ල ගන්න නරියා කපුටාව අන්දවා කපුටාගේ කටහf`ඩ් මිහිරි බව බැලූ හැටි ඒ කතාව කියයි.
අරගල කාලේ අරගලකාරයෝ බැසිල්ට කිව්වේ කපුටා කියලාය. බැසිල්ගේ කටේ තිබුණු පොහොට්ටුව නම් වූ කේජු කෑල්ල ගන්න බැසිල්ලා එකතු වෙලා රනිල්ව ජනාධිපති කළ දින සිට, රනිල් නම් වූ කපටි නරියා අවුරුදු දෙකක් ට්‍රයි කළේය. රනිල් ඒ කේජු කෑල්ල ගන්න කල් බල බලා හිටියේ ජනාධිපතිවරණයට දින නියම වන තෙක්ය. හැබැයි අර නරියා සහ කේජු කෑල්ල කතාවේ කපුටා වගේ බැසිල් රනිල් මොන සින්දුව කියන්න කිව්වත් කේජු කෑල්ල අතහරින පාටක් නැත.
‘ඇයි බැසිල් ඇතුළු රාජපක්ෂ පවුල රනිල්ට අපේක්ෂකකම නොදෙන්නේ?’
පසුගිය කාලයේ කරපු හැම ජනමත සමීක්ෂණයකම පොහොට්ටුව ඉන්නේ යූ.ඇන්.පී.යට උඩින්ය. පොහොට්ටුව යූ.ඇන්.පී.යට උඩින් ඉන්නේ පොහොට්ටුව තමන්ගේ අපේක්ෂකයා නම් නොකර ඉන්න වෙලාවකය. පොහොට්ටුව එතැනින් උස්සන්න නම් තමන්ටත් වඩා පහළින් ඉන්න යූ.ඇන්.පී. නායකයා දමලා හරියන්නේ නැති බවට ඔවුන් ගණන් හදනවා විය හැකිය. පොහොට්ටුව උස්සන්න නම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ඔවුන් හිතයි.
හොඳම නිදසුන 2020 මහ මැතිවරණයයි. 2020 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී.ය සෝදාගෙන ගියේ මෛත්‍රී සහ රනිල් වෙන් වෙන්ව හෝ එකට හවුලේ කරපු පව් නිසාය. රනිල්ව ජනාධිපතිවරණයට දමලා පරාජය වුවහොත් මහ ඡන්දයේදී පොහොට්ටුවට වෙන්නේ 2020 යූ.ඇන්.පී.යට වෙච්ච සන්තෑසියමයි කියා බැසිල්ලා බයය. මෛත්‍රී 2019 යනකොට ගියේ රනිල් එක්ක හවුලේ යූ.ඇන්.පී.ය ඉවර කරලාය. රනිල්ද පැරැදිලා යන්නේ රාජපක්ෂලා එක්ක හවුලේ පොහොට්ටුව ඉවර කරලාය. මෛත්‍රීගේ පව් කරගහන්නේ නැතිව මෛත්‍රීගෙන් වෙන්වෙලා විපක්ෂයට යමු යැයි දැනුම් තේරුම් ඇති යූ.ඇන්.පී. නායකයෝ රනිල්ට කිව්වත් රනිල්ට අගමැතිකම ලොකු විය.
රාජපක්ෂලාත් මීට කලින් රනිල්ගෙන් වෙන්වූවා නම් මේ විනාශය සිදුවන්නේ නැත. රාජපක්ෂලා රනිල්ගෙන් වෙන් නොවුණේ රනිල් පක්ෂය කඩයි කියා බයට සහ රනිල්ගේ ජනාධිපති තනතුරෙන් වරප්‍රසාද ගන්න විය හැකිය.
‘හැබැයි දැන් රනිල් පක්ෂය කඩලානේ…?’
රනිල් පක්ෂය කඩලා නැත. රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික කඩාගෙන ඇත. පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල්ට එක්වීමයි, යූ.ඇන්.පී. මන්ත්‍රීවරු සජිත්ට එක්වීමයි එකක් නොව දෙකකි. සජිත් සහ යූ.ඇන්.පී.යේ මන්ත්‍රීවරු රනිල් හැර එන විට ඔවුන් රනිල්ට වඩා ජනප්‍රියය. රනිල් එක පිට එක ඡන්ද පරාජය වී වසර 30කට ආසන්න කාලයක් යූ.ඇන්.පී.යට නායකත්වය දී දින්නේ ඡන්ද දෙකකි. ඒ, 2001 මහ ඡන්දය සහ 2015 මහ ඡන්දයය. මේ ඡන්ද දෙකම දින්නේ සජිත් සහ යූ.ඇන්.පී. මන්ත්‍රීවරු නිසාය. ඔවුන් රනිල්ව දමා ගියාම රනිල්ට මන්ත්‍රී ආසනයක් දිනාගන්න බැරිවිය.
මහින්ද එසේ නොවේ. 2010දීත් 2020දීත් පළමුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසත්, දෙවැනුව පොහොට්ටුව ලෙසත් මන්ත්‍රීවරු දින්නේ මහින්දගේ ජනප්‍රියත්වය සහ ප්‍රතිරූපය නිසාය. ඒ මන්ත්‍රීවරු අතර නමක් හදාගෙන හිටියේ මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ ඇතුළු කිහිප දෙනෙකි. අනෙක් ඔක්කොම මහින්දගේ පින්තූරය දමාගෙන ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන්ය. යූ.ඇන්.පී. අපේක්ෂකයෝ ඡන්ද ඉල්ලනකොට පෝස්ටරයට රනිල්ගේ පින්තූරය දැම්මේ නැත්තේ රනිල් නිසා පරදියි කියන බයටය.
හොඳම නිදසුන 2015 මහ ඡන්දයය. 2015 මහ ඡන්දයේදී එස්.බී. දිසානායක ඇතුළු කිහිප දෙනෙක් මෛත්‍රී-රනිල් ආණ්ඩුවෙන් ඇමැතිකම් ගෙන මෛත්රීපාලගේ පින්තූරය ගහගෙන ඡන්දය ඉල්ලූහ. එස්.බී. ඇතුළු ඒ පිරිස ඡන්දයෙන් අන්ත පරාජයකට පත්වූහ. මෛත්‍රී ඔවුන්ව ජාතික ලැයිස්තුවෙන් ගනු ලැබීය. ඉන් පසු එස්.බී., රනිල් අගමැතිකමේ ඉන්න තෙක් ඡන්ද දිනන්න බැහැ කීවේය. පසුව මෛත්‍රී එක්කත් ඡන්ද දිනන්න බැහැ කියා මහින්දටම සෙට් විය.
‘රනිල් එක්ක යන මේ සෙට් එකටත් වෙන්නේ ඕකමද…?’
රනිල් එක්ක යන මේ සෙට් එකේ හැමෝටම එක්කෝ ඇමැතිකමක් ඇත. නැත්නම් නියෝජ්‍ය ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් ඇත. නැත්නම් සහෝදරයෙකුට හෝ සහෝදරියකට දුවකට හෝ පුතෙකුට විදේශ තානාපති කාර්යාලයක රැකියාවක් ඇත. රනිල් දින්නොත් තව වසරක් මේ මන්ත්රීකම් ඇමැතිකම් රාජ්‍ය ඇමැතිකම් පවුලට හිමිවුණු තනතුරු තියාගෙන ඉන්න පුළුවන් යැයි ඔවුන් හිතයි.
උදාහරණයකට දිනේෂ් යන්නේ තව මාසයකටවත් අගමැතිකම තියාගන්නය. දිනේෂ්ගේ පියාට බණ්ඩාරනායක මැතිනිය කීවේ තමාට පිටුපසින් පිහියෙන් ඇන යූ.ඇන්.පී.යට ගියා කියාය.
දිනේෂ්ගේ පියා පිලිප්ගේ දේශපාලනය එතැනින්ම ඉවර විය. දිනේෂ් තාත්තා ගිය පාරේම යමින් මහින්දට කොකා පෙන්නලා යූ.ඇන්.පී. නායකයාට එක්විය.
‘රනිල් දිනන්නේ කොහොමද…?’
රනිල් දිනනවා නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල්ගෙන් වැඩ කරගෙන රනිල්ට පොල්ල තියන්නේ නැත. ඔවුන් රනිල්ට එක් නොවූයේ සජිත්ට ආදරයකට නොව, රනිල්ට ඡන්ද දිනන්න බැරි නිසාය. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සුළු ජාතික පක්ෂ රනිල්ට එක්වෙන්න බයත් රනිල් පැරැදිලා ඊළඟ ඡන්දෙන් මන්ත්‍රීකම නැතිවෙයි කියාය.
‘එහෙම නම් රනිල් දිනයි කියලා පොහොට්ටුවේ රනිල් ළඟට යන මන්ත්‍රීවරු හිතන්නේ කොහොමද…?’
ශ්‍රීලනිපයේ නිමල් සිරිපාලලා සෙට් එක නම් දැන දැනත් නොදන්නවා වගේ රනිල් ළඟට යනවා විය හැකිය. මොකද සජිත් ඔවුන් මායිමකටවත් ගන්නේ නැත. සුසිල් ප්‍රේමජයන්ත් සජිත්ට බැල්මක් දැම්මත් සජිත් අහක බලාගත්තේ ඔවුන් ඒ තරමටම මහජනතාව අතර අපුල වී සිටින නිසාය.
මේ ජනාධිපති සහ ඇමැති මණ්ඩලය කිසිම මහජන මතයක් නැති ජාතික ලැයිස්තුවෙන් තෝරාපත්වූ ජනාධිපතිවරයෙක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කරගත් ප්‍රබල ඇමැතිවරුන්ගෙන් සමන්විත ඇමැති මණ්ඩලයකි. ජනාධිපතිට ඡන්ද 25,000ක්වත් නැත. ප්‍රබල ඇමැතිකම් කරන්නේ පවුලේ ඡන්ද ටිකවත් හොයාගන්න බැරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. අනුර කුමාර හැම තිස්සේම කියන්නැහේ පොහොට්ටුවේ ඉන්නේ ගෝඨා – මහින්ද රැල්ලට ගහගෙන ආපු පොල් කෝම්බය.
පොහොට්ටුවේ වටින්නේ මහින්දය. 2020 මහ ඡන්දයේ ඡන්ද ලක්ෂ 5කට වැඩිය ගත්ත මහින්දට වඩා ඡන්ද 25,000ක්වත් නොගත් රනිල් ජනප්‍රියයි කියලා හිතන මන්ත්‍රීවරු කරනවා නම් කරන්නේ දේශපාලනයක් නොව බිස්නස් එකක් විය යුතුය. රනිල් ජනාධිපති ඡන්ද සිතියම ඇන්දේ මහින්ද හරියි කියලා හිතාගෙනය.
නරියා සහ කේජු කෑල්ල කතාව වගේම නරියා සහ මිදි වැලත් හරි ජනප්‍රියය. මේ දවස්වල රනිල් සහ රනිල්ගේ පොහොට්ටු බළඇණිය රාජපක්ෂලා නැති එක හරි වාසියි කියන කොට මතක් වෙන්නේ නරියා මිදි තිත්තයි කී කතාවය.