වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් මස්කෙළිය වැවිලි සමාගමට අයත් වතු කම්කරුවන් පිරිසක් අද (18) පෙරවරුවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.Sri Lanka Latest News
වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම උද්ඝෝෂණයට එක්ව සිටි වතු කම්කරුවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දැනට දෛනික වැටුප ලෙස ලැබෙන රුපියල් 1,300ක මුදල වත්මනයේ පවතින ජීවන වියදමට සරිලන වැටුපක් නොවන බවත්, මෙතෙක් කල් පැවති රජයන් වතු සමාගම් සමග සාකච්ඡාකර තම දෛනික වැටුප ඉහළ දමන බවට පොරොන්දු ලබා දුන්නද මේ දක්වා එය ඉටුවී නොමැති බවත්ය.
වත්මන් රජය බලයට පත්වී වසරක කාලයක් ගෙවී ඇතත් තම දෛනික වැටුප වැඩිකර දීමට මෙම රජයද පොරොන්දු වූවත්, එය ඉටුවී නොමැති බවත්, දෙවන අයවැයේදී හෝ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 2,000 දක්වා වැඩිකර දීමට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම ලබා දෙන ලෙස උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටියා.









