පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී මන්ත්‍රීවරුන්ට ඕනෑම අදහසක් පළකළ හැකිය. එය අධිකරණයක වුවද ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැත. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ලැබී ඇති සුවිශේෂ වරප්රසාදයකි. නමුත් එම වරප්‍රසාදය භාවිත කරමින් විරුද්ධවාදීන්ට මඩ ගැසීම් සහ බියවැද්දීම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිදුවන බවට රටේ පුරවැසියෝ ප්‍රශ්න කරන අවස්ථා දක්නට ලැබෙති. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් විවිධ පුද්ගලයන් ඉලක්ක කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සඳහා නීති සංශෝධනය කළ යුතු බව වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර, එමගින් මේ ගැටලුව කොතරම් බලපෑම්සහගත වී ඇත්දැයි සිතාගත හැකිය.
තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට පවසමින් මන්ත්‍රීවරු විවිධ හේතු දක්වති. ඒ අතරින් මාධ්‍යවේදීන්ට ඇඟිල්ල දිගුවන අවස්ථා ද තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව මෑත කාලයේදී ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තුවේ, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාවේ සභාපති චමල් රාජපක්ෂ පැවැසුවේය. ලංකාදීප, දෙරණ, මව්රට සියත, මවිබිම සහ අරුණ යන මාධ්‍ය ආයතන පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාව හමුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.
මේ අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය නිසා තම රාජකාරි කටයුතුවලට බාධා වූ බවට මාධ්‍යවේදීන් ද පොලීසියට පැමිණිලි කළ අවස්ථා මෙන්ම එම පැමිණිලි ඉවත්කර ගන්නැයි මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා තිබේ.
1997 අංක 27 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මේවන විට බලාත්මක වේ.
පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද කඩකළ අයෙකුට සිර දඬුවම් පැනවීම සහ දඩ නියම කිරීමේ බලය 1997 සංශෝධනයේ දී පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලදී. එම තීන්දුව මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටිය දී මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ගත් සාධනීය පියවරක් ලෙස සඳහන් කළ හැකිය.
කෙසේ නමුත් සිර දඬුවම් හා දඩ නියම කිරීමට නොහැකි වුවද පාර්ලිමේන්තුව විසින් දඬුවම් කළ හැකි වැරදි තිබේ.
මන්ත්‍රී වරප්‍රසාද කැඩූ බව කියන ලද විවාහ මංගල උත්සවය
සිය එකම පුතුගේ විවාහ මංගල උත්සවය බව හුවා දක්වමින්, හෙලිකොප්ටරයකින් බසින මනාල යුවලක් විශාල රථ පෙරහරකින් යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එයින් තමන්ගේ දේශපාලන ජීවිතයට සහ ප්‍රතිරූපයට හානි කර ඇති බව පවසමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන 2023 ජූලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.
‘එක පුතෙක් ඉන්නේ. එයා විවාහයක් වෙලත් නෑ. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.’ යනුවෙන් පැවැසූ මන්ත්‍රීවරයා එම ගැටලුව වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. එම ප්‍රකාශයට මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබිණි.
නමුත් පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට පැමිණියේ නැත. අවසාන දැනුම් දීමටද පැමිණිලිකාර මන්ත්‍රීවරයා නොපැමිණි බැවින් එම ප්රශ්නය ඉවත දැමූ බව 2024 ජූනි 06 වැනි දින ඉදිරිපත් කළ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාවේ වාර්තාවේ දැක්වේ.
වරප්‍රසාද කඩවූ බවට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර, ඊට මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ද ලබාගෙන පසුව පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ ඊට ඉදිරිපත් නොවන්නේ අදාළ මන්ත්‍රීවරයා කළ පැමිණිල්ල අසත්‍ය නිසාද? එවැනි අවස්ථාවක මන්ත්‍රීවරයාට එරෙහිව පියවරක් ගත නොහැකි වීම පනතේ අඩුපාඩුවක්ද? යන ප්‍රශ්න මෙහිදී පැන නගින ගැටලුවකි.
ඒ ගැන විමසූ විට පාර්ලිමේන්තුවේ, ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාවේ සභාපති චමල් රාජපක්ෂ මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.
‘සමහර ඒවා කියන්න හැකි ඒවත් තියෙනවා. කියන්න බැරි ඒවත් තියෙනවා. අවශ්‍ය දේවල් කරලා තියෙනවා.’ යන්න ඔහුගේ පිළිතුරු විය.
මන්ත්‍රීවරුන්ට අදාළ චර්යාධර්ම පද්ධතියක් තිබේ. ඒ අනුව මේ අවස්ථාවේ දී අදාළ මන්ත්‍රීවරයා හෘද සාක්ෂියට එකඟව කටයුතු කළේද යන ප්‍රශ්නයද මතු වේ. ඒ ගැන විමසූ විට චමල් රාජපක්ෂ පැවැසුවේ ‘හෘද සාක්ෂියට එකඟ නිසා තමයි එන්නේ නැත්තේ.’ යනුවෙනි.
කමිටුව හමුවට නොපැමිණීම ගැන විමසීමට ඊඊක් සිංහල සේවය අවස්ථා කිහිපයකදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් ඔහුගෙන් දුරකතනයට ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී මන්ත්‍රීවරු වරප්‍රසාද ප්‍රශ්න 51ක් මතු කළහ. මේ සභා වාරයේදී දැනට වරප්‍රසාද ප්‍රශ්න 16ක් මතුකර ඇත.
සමාව අයැදීම සහ නිර්දෝෂිභාවය වෙනුවෙන් සටන් කිරීම
තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළ විට අදාළ ගැටලුව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරකසභාවට යොමුකරන්නේද යන්න කතානායකවරයා විසින් තීරණය කරයි.
ඉන් පසුව කාරකසභාව සැහීමකට පත්වන්නේ නම් අදාළ මන්ත්‍රීවරයා කැඳවා, දිවුරුමක් ලබාගෙන ඔහුගේ පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කරනු ලැබේ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 18 දෙනකු එම කාරකසභාව නියෝජනය කරති.
වරප්‍රසාද කඩවූ බවට කමිටුව තීරණය කරන්නේ නම් එය නීතිපතිවරයා වෙත යොමුකරනු ලැබේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇත. ඊට අදාළ නඩු විභාගයක් අවසානයේ දී වරදකරු වෙන අයෙකුට ‘අවුරුදු දෙකක් නොයික්මවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකට නියම කිරීමේ හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකම නියම කිරීමේ දණ්ඩන නියමක් කළ හැකිය’ යන්න පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ දැක්වේ.
නමුත් මාධ්‍යවේදීන් අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණ මාධ්‍යවේදීන් සඳහා පැවැති වැඩමුළුවේ දී පැවසුවේය.
පැමිණිලි විභාගයේ දී ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කළ පුවත් නිවැරදි කර නැවත පළකරනු ලැබේ. මේ ඊට නිදසුනකි. 2023.06.29 දින රජයේ මුදල් කාරකසභාවේදී චම්පික රණවක මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පළකළ පුවත වැරදි බව පිළිගෙන මව්රට පුවත්පතේ කර්තෘවරයා ඊට කනගාටුව ප්‍රකාශ කළ අතර, එම පුවත නිවැරදි කිරීමට ද කටයුතු කරන ලදී. එම සිදුවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු, බලතල සහ වරප්‍රසාද ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට ද නිර්දේශ කෙරුණු අතර, ඒ අනුව ඊට අදාළ වැඩමුළුවක් ද පැවැත්විණි.
කෙසේ නමුත් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලැබුව ද තමන් කළ මාධ්‍ය වාර්තාකරණය නිවැරදි බවත්, තමන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්ති උල්ලංඝනය කර නොමැති බවට තර්ක කරමින් වෘත්තීයභාවය වෙනුවෙන් මාධ්‍යවේදීන් පෙනී සිටි අවස්ථා ද තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් 2024 ජනවාරි 28 දින ඉරිදා ලංකාදීපයේ පළකළ පුවතක් නිසා වරප්‍රසාද කඩවීමක් ගැන ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් කාරකසභාව හමුවේ සලකා බැලුණු අතර එහි නිගමනය වූයේ නිවැරදි මූලාශ්‍ර මත එම පුවත පළකර ඇති බැවින් එම ලිපිය හරහා කිසිදු වරදක් සිදුවී නොමැති බවය. එමෙන්ම අදාළ වරප්‍රසාද ප්රශ්නය වරප්‍රසාද කඩවීම යටතට නොගැනෙන බවත් කාරකසභාව නිර්දේශ කරන ලදී.
පාර්ලිමේන්තු පුවත් වාර්තා කිරීම දැළි පිහියෙන් කිරි කෑමක්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද මොනවාද යන්න පනතේ ඉතා නිශ්චිතව සඳහන් වේ. එමෙන්ම බොහෝ මන්ත්‍රීවරු මාධ්‍යවේදීන් සමග අවබෝධයෙන් කටයුතු කරති. නමුත් ඇතැම් අවස්ථාවලදී තමන් සමග වසර ගණනක් සහයෝගයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් නොහඳුනන බව පවසමින් වරප්‍රසාද ප්‍රශ්න මතුකළ අවස්ථා තිබේ. ස්වර්ණවාහිනියේ ප්‍රගීත් පෙරේරා සහ සිරස ආයතනයේ කසුන් සමීර 2022 ජූලි 17 එවැනි ගැටලුවකට මුහුණ දුන්නේය. එම ප්රශ්නය පොලිස් පොත්වලද ලියවිණි.
මේ අතර ඇතැම් අවස්ථාවන්හි දී පාර්ලිමේන්තු වරප්‍රසාද යටතට නොගැනෙන සිදුවීම් ගැනද මන්ත්‍රීවරු වරප්‍රසාද ප්‍රශ්න මතු කරන අවස්ථා ඇත. එය ඇතැම් විට මන්ත්‍රීවරු විවේචනයට ලක්වෙන පුවත් වාර්තා කිරීම යටපත් කිරීමේ උත්සාහයක් ලෙස ද පෙනෙන්නට තිබේ.
මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කිරීම සඳහා නිල මූලාශ්‍ර ලෙස පාර්ලිමේන්තුවේ යූටියුබ් නාලිකාව, ෆේස්බුක් පිටුව සහ පියෝ ඔඪ චැනලය ඔස්සේ ප්‍රචාරය කෙරෙන සජීව විකාශය භාවිත කළ හැකිය. මාධ්‍ය ආයතන අතර තරගය නිසාද ඉක්මනින් පුවත් වාර්තා කරනු ලැබේ. නමුත් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළයුතු කොටස් පසුව තීරණය කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවක කතානායකවරයා විසින් ඉවත් කළ කොටසක් පළකර තිබීම මාධ්‍යවේදීන් මුහුණ දෙන අවදානම් තත්ත්වයකි.
ඒ ගැන විමසූ විට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් නෙරින් පුල්ලේ මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.
‘ක්‍රියාවට අමතරව චේතනාන්විතව ඒ වරද කළා කියලා ඔප්පු කළ යුතුයි. කමිටුවක් ඉදිරියේ හෝ අධිකරණය ඉදිරියේ බලන්නේ එය පළකිරීමේ චේතනාව ගැනයි. ද්වේශයෙන් පළකළ දෙයක් නම් නීතියෙන් පිළිගැනීමක් නෑ. නමුත් යම්කිසි අතපසුවීමකින් සහ වැරදීමකින් ඒක වුණා නම් ඒ ගැන කමිටුවක් ඉදිරියේ හෝ අධිකරණය ඉදිරියේ සලකා බැලීමක් සිදු කරනවා.’ යනුවෙන් ඔහු නීතිමය පසුබිම විස්තර කළේය.
පාර්ලිමේන්තුවේ තොරතුරු සත්‍ය සහ නිවැරදි ලෙස වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ ප්‍රමුඛතම වගකීමකි. එබැවින් පාර්ලිමේන්තුවේදී ඇතැම් පදනම් විරහිත, අසත්‍ය චෝදනා හුවමාරු වුවද ඒ සියලු දෑ ප්රවෘත්ති ලෙස වාර්තා කිරීම කොයිතරම් දුරට සාධාරණදැයි මාධ්‍යවේදීන් සිතා බැලිය යුතු බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ඉතිහාසය
1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත අවස්ථා පහක දී සංශෝධනයට ලක්ව තිබේ. එයින් 1978 අංක 05 දරන නීති සංශෝධනයෙන් එවක ජාතික රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කෙරෙහි ඇති අධිකරණ බලය හා දණ්ඩන බලය ශක්තිමත් විය. එහි ‘අ’ සහා ‘ආ’ උපලේඛන දෙකෙහි දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට හිමි වූ අතර එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවන දඬුවමක් හා සමාන බලයකින් ක්‍රියාත්මක විය යුතු බව එම සංශෝධනයේ 32 වගන්තියේ සඳහන් විය.
1980 අංක 17 දරන පනතෙන් පාර්ලිමේන්තු විවාදයක දී කතානායකවරයා විසින් ඉවත් කළ වචන හෝ ප්‍රකාශ ඇතුළත් වාර්තාවක් ඕනෑකමින් පළකිරීම වරදක් බව හඳුන්වා දෙන ලදී.
1984 අංක 25 දරන පනත මගින් පාර්ලිමේන්තුව විසින් පනවා තිබූ දඩයේ සීමා ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ බලය නැවත ශක්තිමත් කිරීමක් විය.
නමුත් කාලයත් සමග පාර්ලිමේන්තුව සතුව තිබූ අධිකරණ බලය, පාර්ලිමේන්තුව විසින් අධිකරණයට පැවරීම සිදුවිය.
1997 අංක 27 දරන පනත් සංශෝධනය ඉතා වැදගත් එකකි. 1978 අංක 05 දරන පනතින් හඳුන්වාදුන් පාර්ලිමේන්තුවේ අධිකරණ හා දණ්ඩන බලය මෙයින් ආපසු හැරවීමක් සිදුවිය. ඒ එතෙක් පාර්ලිමේන්තුව සතුව තිබූ බන්ධනාගාරගත කිරීම සහ දඩ නියම කිරීමේ බලය අධිකරණය වෙත පැවරිණි.
රටක ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා වැදගත් කුලුනු හතරකි. ඒ, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ මාධ්‍ය වේ. ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ජනමතය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. එබැවින් නිවැරදි, අපක්ෂපාතී තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීම ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට ඉතා වැදගත්ය. එහිදී මාධ්‍යවේදීන්ට ද පහර හැරිය නොහැකි වගකීමක් ඇත. එමෙන්ම පාර්ලිමේන්තුව වරප්‍රසාද අනිසි ලෙස භාවිත කරමින් ඔවුන් බිය ගැන්වීම හෝ වෘත්තීය කටයුතුවලට බාධා නොකිරීම ද ප්රජාතන්ත්රවාදයේ යහපැවැත්මට ඉතා වැදගත් වේ.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි