‘2022 අවුරුද්ද කලා තරුවනට අපලය’ කියන කියමන මොනවට සනාථ කරමින් තවත් නමගිය කලා ශිල්පීන් දෙදෙනකු අවසන් ගමන් යන්නට ගියේය. හින්දි ගී කලාව සිංහල සංගීත කලාව තුළ ජනප්‍රිය කරවන්නට උරදුන් නුවන් ගුණවර්ධන සහ බයිලා කලාවේ කිරුළු පලන් නිහාල් නෙල්සන් එකී අවසන් ගමන සඳහා දින නියම කරගෙන තිබුණු ආකාරයෙහි කතා කරන්නට යමක් තිබුණේය. මේ ජනප්‍රිය ගායකයන් දෙදෙනා මරණය සමග කළ ගනුදෙනුවෙහි කාලය වෙනස් වූයේ දවස් එකහමාරකින් පමණක් වීම ඒ කතා කරන්නට තිබුණු යමක් තිබෙන කතිකාවෙහි එක් කාරණයක් විය.
එක දවසක එක වෙලාවක නුවන් ගුණවර්ධනගේ දේහයට ගෞරව දක්වන්නට පැමිණි නිහාල් නෙල්සන් සිය සහෝදර ශිල්පියාගේ දෙණ බලා සිටින ඡායාරූපයක් මාධ්‍යවල කිහිප ආකාරයකින් පළවී තිබිණි. පළව තිබූ ඒ සේයාරූවල නිහාල් නෙල්සන් සුපුරුදු ප්‍රියමනාප පෙනුම සමග සිටින අන්දම කාගේත් නෙත ගැටිණි. පුදුමය කියන්නේ ඒ ගමනට සහභාගි වී ගෙවෙන ඊළඟ රාත්රියේදී හෙතෙම සද්දයක් නැතුවම මරණය සමග සිය ජීවිතයේ අවසාන හෝරා කිහිපයට අස්සන ගසා තිබිණි. හරියටම අනේ එය සිදුවූයේ, තනියම යන්න එපා මචං. යමු මමත් එන්නම්…’ ය කියා නුවන් ගුණවර්ධනගේ තනි නොතනියට එන්නට කතා කරගත්තා වාගේය.
‘නිහාල් අංකල් එක්කම පරිස්සමට ගිහින් ඉන්න තාත්තේ…’ කියලා නුවන්ගේ පුත්‍රරත්නය තාත්තාට සමුදෙන අවසන් මොහොතේදී කී දුක හිතෙන කතාවටද මාධ්‍යවල තටු ලැබී තිබුණේය.
මතක හැටියට අසූව දශකයේ නුවන්ගේ ගැඹුරු ගී හඬට ගැහැනුන් බොහෝ උමතුව සිටියේ වයස් භේදයක් නැතිවමය. ඔහු හරි අගේට ජනප්‍රිය හින්දි සින්දුවලට තාලය ඇල්ලුවේය. එළිමහන් සංගීත ප්‍රසංගවලදී මොහොමඩ් රාෆිගේ සින්දුවක් නොකියා වේදිකාවෙන් බැස යන්නට රසික රසිකාවියෝ ඔහුට ඉඩ දුන්නේ නැත. ඒ අතරට ‘කඳුළින්ම ලියූ පෙම් ගීතේ…’ සින්දුවද හොඳ පදමට පෙම්වතුන්ගේ සිත් අමන්දානන්දයට පත්කොට තිබුණේය. නුවන් එය සිය ගැඹුරු ශෛලියෙන් කියාපාන විලාසයද එම ගීතයෙහි ජනප්‍රියත්වයට හේතුවක් විය.
ගැහැනු සිත් උමතු කරවන හැඩිදැඩි අයෝමය පිරිමි පෙනුමක් නොතිබුණද නිහාල් නෙල්සන් නම් ගායකයා ගැනද කතා කරන්නට බොහෝ දෑ රසිකයනට තිබුණේය. කුඩා සිරුරක් හිමි මිනිසුන් කුමක් හෝ ශෛලියක් හරහා ජනප්‍රියත්වයට පත්වන්නේ යැයි පොත පතක කොතැනක හෝ සඳහන්ව තිබුණු කියමන බොරු නොකරමින් නිහාල් නෙල්සන් බයිලා කලාව තුළ අසීමිත ජනප්‍රියත්වයට පත්වූයේය.
රැලි කොණ්ඩය කර ළඟට කපන නිහාල්ගේ අමුතු ස්ටයිල් එක හැමදාමත් එහෙමම විය. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයකු වූ නිහාල් මයික් එක එහා මෙහා මාරුකරවමින් කරන අපූරු රංගනයට ඔහුව අසන නරඹන පිරිස ගැසූ විසිල් පහරවල් ඒ අවට ගම් සිසාරාද පැතිර ගියේය.
සින්දු කියන්න වේදිකාවට නඟින ඔහු පළමු සින්දුව කියන්නට කලින් ප්රේක්ෂකයනට කතාවක් කරන්නට අමතක කෙරුවේ නැත. අසන්නට ප්‍රිය බොහෝ කතාවන් සිය රසිකයන් හමුවේ තබන මේ අපූරු ගායකයා නිතර කියන එක් කතාවක මේ වචන ටික නොවරදවාම සටහන් විය.
‘සින්දුවක් දෙකක් කියලා මේ කමිස සාක්කුවට අපි නෝට්ටු ටිකක් දාගන්නෙ තමුන්නාන්සේලා හින්දයි. තමුන්නාන්සේලා අපට දෙන විසිල් පාර තමයි අපිව සින්දු ලිස්ට් එකට දාන්න මේ සංගීත සංදර්ශන සංවිධානය කරන මහත්වරුන්ට ගැම්ම දෙන්නේ. අපි ඔයාලව පිනවනවා. ඔයාලා අපිට කීයක් හරි හම්බකරගන්න උදව් කරනවා. ඒ හින්දා අපි කාලා ඇඳලා ලස්සනට ජීවත් වෙනවා….’
එහෙම කියලා මේ කදිම බයිලා රජා සංගීතය දෙන ගෲප් එක දිහාට හැරිලා,
‘හරි මහත්තයෝ පටන්ගමු අපි. රට කුඩුකරන කුඩු වසංගතය මට්ටු කරන සින්දුවෙන්ම…’ කියලා සිය අලංකාර වේදිකා රංගනයෙන් රසිකයන් ෆෝම් කරමින් මයික් එක දසත කරකවමින් සින්දු කියන්නට පටන් ගනියි.
ඇත්තටම කියනවා නම් නිහාල් නෙල්සන් යනු බයිලා රජෙකි. නොයෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් විවිධ වූ ක්ෂේත්රයන් හරහා විප්ලව කරද්දී නිහාල් බයිලාවලින් මහා විශාල විප්ලවයක් කරමින් රසිකයන්ව අපූරුවට තෘප්තිමත් කළේය. කතා කරන භාෂාවෙන් කියනවා නම් ඔහු බයිලාවෙන් මිනිස් සිත් ඔකඳ කළේය. එහෙමත් නැත්නම් ඔහුගේ සින්දු අසන්නට ප්‍රිය කරන මිනිසුන්ට පට්ට ආතල් එකක් දුන්නේය.
කොල්ලන්ට ඉල කඩාගෙන නටන්නට බයිලා කියන අතර ‘කරුණා සුවඳ තවරාලූ’ යනුවෙන් ඔහු ගැයූ මවු ගුණ ගීයද අතිශයින් ජනප්‍රිය වීම එක අතකට තරමක පුදුමයකි. එහෙම කියන්නේ බයිලාකාරයෝ බොහෝ විට මවු ගුණ ගැන සින්දු නොකී නිසා සහ එහෙම කියා ජනප්‍රිය නොවුණු නිසාය. මවු ගුණ ගී පමණක්ම නොව, කුඩුගහන කොල්ලන් වෙනුවෙන්ද, ගව මස් කන්න එපා කියාද නිහාල් සිය ශ්‍රාවක රසිකයන්ට අවවාද දුන්නේ බණ කියන ටයිප් එකට ගී පදවැල් එකතුකර එය හරි කදිමට හිතට වැදෙන ආට් එකටය.
නිහාල්ගේ බයිලා විප්ලවය දියත් වූයේ බොහොම නිහඬවය. ජනප්‍රියත්වය සොයා මාධ්‍ය පසුපස කවදාවත්ම ගියේ නැති නිහාල්ට මාධ්‍යවලින්ද පුද පඬුරු හෝ විශේෂ සැලකිලි ලැබුණේ නැත. උල්කාපාත වාගේ හදිසියේ පායා, හදිසියේ කඩාවැටෙන රියැලිටි තරුවලට අපේ මාධ්‍ය අද කාලේ ලොකු තල්ලුවක් දුන්නාට නිහාල් නෙල්සන්ලාට ඒ වාගේ පුංචිම පුංචි තල්ලුවක්වත් එදා ලැබුණේ නැත. නිහාල් නෙල්සන් කවදාවත් ඒ ගැන කම්පා වූයේ ද නැත. සම්භාව්‍ය මට්ටමේ ගායන ශිල්පීන් බයිලා කලාවට දොස් කීවද නිහාල් හැමදාමත් එච්.ආර්. ජෝතිපාල වාගේම සම්භාව්‍ය ගායක ගායිකාවන්ට ගරු කළේය. කිසි විටෙක කොතැනකවත් ඔවුන්ට විරුද්ධව කතා නොකළේය.
හැබැයි ඉතින් බයිලා කලාවට මහඟු සේවයක් කරපු සින්දු කැසට් සිය ගණනක් ගහපු මේ රසවත් බයිලා ගායකයා වෙනුවෙන් තව බොහෝ දෑ මේ රටට කරන්නට තිබිණි. ශ්‍රී ලාංකේය කියන නාමය හිමි මේ රටෙන් සිදුවූ යමක් නැති තරම්ය. තව බොහෝ කලා ශිල්පීන්ව මේ රටට අමතකව ගියා සේම නිහාල් නෙල්සන් කියන මේ අද්විතීය ගායකයාවද රටට අමතකව ගියේය. නමුත් නිහාල් කවදාවත් තමාට සලකන්නට ඕනෑ නේද කියා හෝ තමාට සැලකුවේ නැතය කියා දොස් පැවරුවේ නැත. හැම දේම වාගේ සිනහවෙන් දරාගත් නිහාල් මියෙන තුරුම මිනිසුන්ව සිය සංගීතයෙන් කුල්මත් කළේය.
බයිලා කලාව තුළ හැත්තෑව දශකයේ අග භාගයේ කතාබහට ලක්වන්නට ගත්ත නිහාල් 2022 වන තුරුම ඒ කතාබහ නිහඬ කොට දැමුවේ නැත. එළිමහන් ප්‍රසංග කලාවට නැතුවම බැරි විනෝදකාමී මේ සරල බයිලාකරු හැත්තෑව පැන්නත් නියමෙට තම බයිලා ගායනයට තාල ඇල්ලුවේය. වේදිකාව මත එහා මෙහා රැඟුවේය. රියැලිටි තරු පායා විත් එසැණින්ම බැස ගියද මේ රසවත් සින්දුකාරයා ප්‍රසංග කලාවේ ඔහුට හිමි තැන හැමදා රැකගත්තේය.
ඔහුගේ බයිලා විප්ලවය පුදුමාකාරය. විවිධ රසයෙන් අනූනය. එලෙසම අමුතු අමුතු විෂයන් තුළ ගෙතුණු ඒ ගී කලාව මිහිරි විය. කොත්තු රොටියටත් ඒ ගී ලොව තැන ලැබිණි. ගුණේ අයියගේ බජව් දාන කාමරයෙන් ආරම්භ වූ ඒ ගීත රසය පදික වේදිකාවේ මිනිසුන්ගේ ජීවිත ගැනද අගේ ඇති කතා කීවේය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහාල් නෙල්සන් සොඳුරු විප්ලවයක් කළ කදිම බයිලා රජෙකි. මොන දේ වුවද නිහාල් නෙල්සන්ට ලැබුණු සැලකිලි හොඳටම මදිය. ඔහු කන්කෙඳිරි නොගා පාඩුවේ හිටියට ඔහු වෙනුවෙන් ඔයිට වඩා යමක් ඉටුවන්නට තිබිණි. දැන් නම් ඉතින් ‘සොරි නිහාල්’වත් කියන්න බැරි විදියට ප්‍රමාදය.
නුවන්ගේ අවසන් ගමනට සුබ ගමන් කියන්නට ගිය නිහාල් නෙල්සන්, ඔහුට ඒ ගමන පසුදා යන්න වේ යැයි කවදාවත් නොසිතන්නට ඇත.
‘මොකක්ද මේ වුණේ නිහාල්…?’ කියා අසන්නටවත් අද බැරි නිසා,
‘සුබ ගමන් නිහාල්…’ කියා අපි ඔහුට ප්‍රාර්ථනා කරන්නෙමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු