ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක මට්ටමේ නවතම පර්යේෂණයක් මඟින් අනාවරණය කරගෙන තිබේ. මෙමඟින් දුම්පානය ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ ලෙස හඳුන්වා දී ඇති අතර, වසරකට එර රට තුළ සිදුවන මරණ 24,000කට දුම්පානය සෘජුවම වගකිව යුතු බව පෙන්වා දෙයි.Sri Lanka Latest News
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය (ANU) මඟින් සිදුකරන ලද මෙම සුවිශේෂී පර්යේෂණයේ ප්‍රධාන කතෘ, සහකාර මහාචාර්ය ග්‍රේස් ජෝෂි (Grace Joshy) මහත්මිය සඳහන් කරන්නේ දිනකට ඕස්ට්‍රේලියානුවන් 66 දෙනෙකුට වැඩි පිරිසක් දුම්පානය නිසා අකාලයේ මියයන බවයි. විශේෂයෙන්ම වයස අවුරුදු 45ත් 74ත් අතර පසුවන පුද්ගලයන් අතර සිදුවන මරණ හතරකින් එකකටම (1/4) හේතුව දුම්පානය බව මෙමඟින් හෙළි වී තිබේ. වයස අවුරුදු 45 සහ ඊට වැඩි 178,000කට අධික පිරිසක් ඇසුරින් 2005 වසරේ සිට 2017 දක්වා දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ නිරීක්ෂණ මඟින් මෙම දත්ත තහවුරු කරගෙන ඇත.
දුම්පානය නොකරන පුද්ගලයන් හා සැසඳීමේදී දුම්බොන පුද්ගලයන් නිදන්ගත පෙනහළු රෝගවලින් මියයාමේ ප්‍රවණතාව 36 ගුණයකින් ද, පෙනහළු පිළිකාවලින් මියයාමේ ප්‍රවණතාව 18 ගුණයකින් ද වැඩි බව පර්යේෂණයේදී හඳුනාගෙන තිබේ. එමෙන්ම ඔවුන් ආඝාතය (Stroke) හෝ හෘද රෝගවලින් මියයාමට දෙගුණයක ඉහළ අවදානමක් පවතින අතර, ඇල්සයිමර් හෝ ඩිමෙන්ශියා (Dementia) වැනි අමතකවීමේ රෝගී තත්ත්වයන්ගෙන් මියයාමට 60%ක වැඩි ඉඩකඩක් පවතී. දිනකට සිගරට් 1 සිට 14 දක්වා ඉතා සුළු ප්‍රමාණයක් බොන පුද්ගලයෙකු වුවද, නිදන්ගත පෙනහළු රෝගයකින් මියයාමේ අවදානම 20 ගුණයකින් සහ පෙනහළු පිළිකාවකින් මියයාමේ අවදානම 10 ගුණයකින් වැඩි කරගන්නා බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත.
ඕස්ට්‍රේලියානු රාජකීය පොදු වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (RACGP) මහාචාර්ය නික් ස්වාර් (Nick Zwar) මහතා ප්‍රකාශ කරන්නේ, මෙම දත්ත පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු ප්‍රබල “අවදිවීමේ සීනුවක්” (Wake-up call) බවයි. තරබාරුකම වැනි වෙනත් සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය යොමුකිරීම නිසා දුම්පානයේ දරුණුකම මෙතෙක් කල් අවතක්සේරුවට ලක්ව තිබූ බව ඔහු පෙන්වා දෙයි.
දුම්පානය සහ විද්‍යුත් සිගරට් (Vaping) නැවැත්වීම සඳහා වෛද්‍යවරුන් (GPs) උපදෙස් දිය යුතු ආකාරය පිළිබඳව RACGP ආයතනය විසින් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කර තිබේ. එහිදී වෙනත් ක්‍රම මඟින් දුම්පානය නතර කිරීමට අපොහොසත් වූ රෝගීන් සඳහා කෙටි කාලීන සංක්‍රාන්ති පියවරක් ලෙස නිකොටින් සහිත විද්‍යුත් සිගරට් (Vapes) භාවිත කළ හැකි වුවද, අවසාන අරමුණ විය යුත්තේ සියලුම ආකාරයේ නිකොටින් භාවිතයෙන් මුළුමනින්ම මිදීම බව වෛද්‍යවරුන් මතක තබා ගත යුතුය. සෑම සාකච්ඡාවකදීම රෝගීන් දුම්පානය නතර නොකළද, වෛද්‍යවරුන් අඛණ්ඩව රෝගීන්ට උපදෙස් දීම සහ ඔවුන්ව දිරිමත් කිරීම තුළින් වසරක් ඇතුළත විශාල පිරිසක් දුම්පානයෙන් මුදවා ගැනීමට හැකිවන බව මහාචාර්ය ස්වාර් වැඩිදුරටත් කියා සිටියි.










