දේශපාලනඥයොත් එකතුවෙලා කඩේ යන මාධ්‍යත් එකතුවෙලා මුළු රටම අන්දවලා ගහපු සුපිරි අතේ රෝල… ඔන්න පත්තු වුණා… අතේම පිපිරුණා…

‘මම වරදක් කරල තියනවා නම් මට වෙඩි තියල මරලා දාන්න. හැබැයි මම පුංචි කාලේ ඉඳන් ආරක්ෂා කරගෙන ආපු මගේ චරිතය ඝාතනය කරන්න එපා…’

වරක් එහෙම කිව්වේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. ඔහුව ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සිදුවූ අවලාදසහගත චෝදනා හේතු කොටගෙන අතිශය වේදනාවෙන් යුක්තව ඔහු එහෙම කීවේය.

මේ දිනවල සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික අරමුදල ඉලක්ක කරගනිමින් විපක්ෂ නායක සජිත්ට එරෙහිව යම් යම් කණ්ඩායම් චෝදනා කරමින් සිටී. විගණකාධිපති වාර්තා උපකාරවත් තුන් වතාවක්ද, කෝප් කමිටුව තුළද මෙහි කිසිදු වංචාවක් සිදුවී නැති බව තහවුරු වී තිබියදීත් එකම බොරුව සිය වරක් ජප කරමින් සිටින කණ්ඩායම් දැකිය හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධව යම් යම් තැනැත්තන් යම් යම් සංවිධාන තමන් දන්නා සහ ඇසූ කරුණු මත විටින් විට විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණි. 2019 ජුලි 28 දින අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මූල්‍ය වංචාවක් සිදුවූ බව ප්‍රකාශ කර තිබිණි. තවත් අවස්ථාවකදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුපියල් කෝටි 2500ක් කාබාසිනියා කර ඇති බවය. වරක් අනුර කුමාර දිසානායක කියා සිටියේ බිලියන 3ක අවභාවිතයක් ගැනය. මෙම ප්‍රකාශ නිකුත් කරන අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන විටින් විට වෙනස් විය.

ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ කුමක්ද?

මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධ නෛතික තත්ත්වය මුලින් වටහා ගැනීම ඉතාම වැදගත්ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිල නීතිමය ලියවිලි දෙකක් ඇත. 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනත ඉන් එකකි. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (1) සහ 46 (1) (අ) ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති විසින් අමාත්‍යවරුන්ට වගකීම් හා බලතල පවරමින් නිකුත් කරනු ලැබූ අංක 2103 /33 සහ 2018 දෙසැම්බර් 28 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයය.

1980 අංක 57 දරන පනතේ විධිවිධාන අනුව අරමුදල පාලනය වන්නේ පාලක මණ්ඩලයකින්ය. එම පාලක මණ්ඩලයේ සාමාජිකයන් ගණන 12කි. එම පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් අග්‍රාමාත්‍යවරයා කටයුතු කරයි. රැස්වීමක ඝනපූරණය සාමාජිකයන් 4ක් පමණි. අග්‍රාමාත්‍යවරයා රැස්වීමක මුලසුන හොබවන අතර ඔහු නොමැති අවස්ථාවක අනෙකුත් සාමාජිකයන් 11 අතරින් කෙනකුට වුවද මුලසුන දරන්න පුළුවන්ය.

අග්‍රාමාත්‍යවරයාට එහි තීරක බලයක් හෝ නිශේධ බලයක් නැති අතර, තීරණ ගැනීමේදී අනෙක් සාමාජිකයන්ට සමාන බලයක් පමණක් අග්‍රාමාත්‍යවරයා සතුය.

පනතේ විධිවිධාන අනුව රීති සෑදිය යුතු වුවත් මෙතෙක් අරමුදල කිසිදු රීතියක් පනවා නැති අතර ඒ අනුව රැස්වීම් පැවැත්විය යුතු දින වකවානු පිළිබඳ රැස්වීම හෝ වාර්තාවක් සභා සම්මත වියයුතු ආකාරය පිළිබඳව හෝ වෙනයම් කරුණු පිළිබඳ හෝ රීති 1980 වර්ෂයේ සිට මෙතෙක් පනවා නැත.

පාලක මණ්ඩල රැස්වීම් පැවැත්වී ඇති ආකාරය

මෙම පසුබිම යටතේ බොහෝ අවස්ථාවලදී පාලක මණ්ඩලය රැස්වී තිබෙන්නේ වර්ෂයකට වරක් දෙවරක් හෝ තුන් හතර වරක් පමණි. සමහර වර්ෂවල වර්ෂයටම එක් රැස්වීමක් පමණක් පවත්වපු අවස්ථාද ඇති අතර 2009 වර්ෂයේදී පාලක මණ්ඩලය රැස්වී තිබෙන්නේ 2009.12.18 දින පමණි. එබැවින් එම වර්ෂයේ (2009) ජනවාරි 01 දින සිට දෙසැම්බර් 17 දින දක්වා සිදුකළ සියලු වියදම් සඳහා පාලක මණ්ඩල ආවරණ අනුමැතිය 2009.12.18 දින ලබාදී ඇත. 2010 වර්ෂයේදී ද පාලක මණ්ඩලය රැස් වී ඇත්තේ වර්ෂයටම එක් දිනයක් පමණි. ඒ, 2010 ඔක්තෝබර් 07 දිනය. 2022 වර්ෂය ගත්තත් තත්ත්වය එසේමය. 2022 වර්ෂයට දැනට රැස්ව ඇත්තේ එක් පාලක මණ්ඩල රැස්වීමක් පමණි. එය රැස්වන්නේද 2022 මැයි මාසයේය. ඒ අනුව 2022 ජනවාරි 01 දින සිට මැයි දක්වා සිදුකළ සියලු වැය දැරීම් සහ අනෙකුත් තීරණ සඳහා ලැබී ඇත්තේ ද ආවරණ අනුමැතියක් පමණි.

අංක 2103/ 33 සහ 2018.12.28 ගැසට් නිවේදනය මගින් ඒ ඒ අමාත්‍යවරුන්ට වගකීම පවරා තිබේ. එම වගකීම් මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් වේ. එම වගකීම් පැවරීම අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙරටේ පොදු මහ ජනතාවට ඉටුවිය යුතු වගකීම පැවරී තිබුණේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වෙතය.

සජිත් සංකෘතික අමාත්‍ය ධුරය දැරූ කාල වකවානුව

2015 වර්ෂයේ සිටම සජිත් විසින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය දැරුවද එම අමාත්‍ය ධුරයට සංස්කෘතිය කටයුතු විෂය එක්වූයේ 2018.12.20 දිනය. 2019 ජනාධිපතිවරණයෙන් පසුව 2019 නොවැම්බර් 21 දින එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් වූ පසුව ඔහුගේ අමාත්‍ය ධුරයද අහිමි වේ. ඒ අනුව ඔහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය දැරුවේ 2018 දෙසැම්බර් 20 දින සිට 2019 නොවැම්බර් 21 දින දක්වා මාස 11ක කාලයක් පමණි. එහෙත් චෝදනා එල්ල වී ඇත්තේ අවුරුදු පහටමය. එය හුදෙක් මුව හමට තඩිබෑම පමණි.

කෝප් කමිටුව අබියස එකින් එක ඔප්පු වුණේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍යවරයාව කටයුතු කරන වකවානු තුළ කිසිදු මූල්‍ය දූෂණයක් සිදුවී නැති බවය. එහෙත් සුපුරුදු පරිදි ඇතැම් මාධ්‍ය විසින් එය වහා සඟවා, ආණ්ඩු හිතවාදී මන්ත්‍රීවරු පිරිස කෝප් කමිටුවේදී දැක්වූ අදහස් උපුටා දක්වමින් නැවත වතාවක් සත්‍ය විකෘති කරනු ලැබීය.

2019 මාර්තු මස 15 වැනි දින පැවති පාලක මණ්ඩල රැස්වීම

2019 මාර්තු මස 15 දින පාලක මණ්ඩල රැස්වීමක් පැවැත්වුණේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය මතය. අග්‍රාමාත්‍යතුමාගේ ආරාධනය අග්‍රාමාත්‍ය ලේකම්තුමා ලිඛිතව දන්වා එවා තිබිණි. එම දැනුම්දීම මත මාර්තු 15 දින පාලක මණ්ඩල සාමාජිකයන් සජිත් ද ඇතුළුව 06 දෙනකු පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වූ අතර සජිත් ඇතුළුව එම රැස්වීමට සහභාගි වූ සංඛ්‍යාව 07 දෙනෙකි.

මෙම පාලක මණ්ඩල රැස්වීමට පාලක මණ්ඩල පත්‍රිකා 90ක් ඉදිරිපත් විය. මෙම පත්‍රිකා අතුරින් පත්‍රිකා 08ක් සජිත්ගේ පාලන කාලයට පෙර ක්‍රියාත්මක වූ වැඩසටහන් වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් වූ ඒවාය. මෙම පත්‍රිකා අතරින් ඉතා වැදගත් පාලක මණ්ඩලය පත්‍රිකාවක් වන්නේ 208.06.01 දරන පත්‍රිකාවයි. එම පත්‍රිකාවෙන් 2019 වර්ෂයේ අරමුදලේ වාර්ෂික අයවැය ලේඛනය පාලක මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එම අයවැය ලේඛනය අනුව අරමුදලේ අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 5250යි. අපේක්ෂිත වැය රුපියල් මිලියන 5250යි. මෙම අයවැය ලේඛනය මාර්තු 15 දින රැස් වූ පාලක මණ්ඩලය අනුමත කළා. ඒ අනුව අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5250 ක් 2019 වර්ෂයේ වැය කිරීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිවුණා. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයේ ඇතුළත් වන්නේ අපේක්ෂිත වැඩසටහනයි.

2019 නොවැම්බර් මස 15 හා ඊට ආසන්න දිනවල පාලක මණ්ඩලය ලබාදී ඇති අනුමැතිය

2019 මාර්තු 15 දිනෙන් පසුව පාලක මණ්ඩල රැස්වීමක් නොපැවැත්වුණු බව කිවයුතුයි. පාලක මණ්ඩල රැසිවීම් සඳහා දින ලබාදෙන්නේ අරමුදලේ සභාපතිය. එයින් පසු රැස්වීමක් 2019 නොවැම්බර් මස 05 දින පැවැත්වීමට සාකච්ඡා වූ බැවින් එදිනට ඉදිරිපත් කිරීමට පාලක මණ්ඩල පත්‍රිකා සකස් කර සූදානම් කර තිබිණි.

නමුත් නොවැම්බර් මැද වන තෙක් පාලක මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දිනයක් නොලැබුණු බැවින් එම පත්‍රිකා පාලක මණ්ඩලයේ සාමාජිකයන් අතරින් ඒ වන විට පත්‍රිකා භාරදීමේ හැකියාව තිබූ සාමාජිකයන් වෙත යොමුකර ඔවුනගේ පෞද්ගලික අනුමැතිය ලබාගැනීමට ක්‍රියා කළේය. එලෙස අනුමැතිය ලබාදුන් පාලක මණ්ඩල සාමාජිකයන් ගණන 08කි.

2019 මාර්තු මස 15 දින පාලක මණ්ඩලය විසින් මේ ආකාරයට අනුමත කළ වැඩසටහන් යටතේ වූ එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් 2019 නොවැම්බර් මාසයේදී අනුමැතිය ලබාගත්තේය.

ඒ සඳහා එක් නිශ්චිත ස්ථානයකට පාලක මණ්ඩල සාමාජිකයන් රැස්වී අදාළ අනුමැතියන් ලබාදීමක් සිදුවූයේ නැත. එය අසාමාන්‍ය තත්ත්වයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ඕනෑ තරම් පූර්වාදර්ශ තිබේ. ජනාධිපතිවරණ කාලවකවානුව බැවින් රැස්වීමට තිබූ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් අදාළ පත්‍රිකා එක් එක් සාමාජිකයා වෙත යොමුකර ඔවුන්ගේ අනුමැතිය පෞද්ගලිකව ලබාගැනීමක් සිදු විය.

2019 නොවැම්බර් මස පාලක මණ්ඩල අනුමැතිය ලබා දුන් පත්‍රිකාවල ස්වභාවය

අතින් අත සංසරණය කර (by circulate) අනුමැතිය ලබාගත් පාලක මණ්ඩල පත්‍රිකා ගණන 237කි. මෙම පත්‍රිකා අතුරින් දළ වශයෙන් පත්‍රිකා 50ක් පමණ ආයතනයේ පරිපාලන හා මූල්‍ය කටයුතුවලට අදාළ පත්‍රිකාය.

ඉතිරි පත්‍රිකාවලින් අඩක් පමණ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ ව්‍යාපෘති වෙනුවෙන් පූර්ව අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් වූ පත්‍රිකාය.

2019 මාර්තු මස 15 දින පාලක මණ්ඩල අනුමැතිය හිමි වූ වැඩසටහන්වලට අදාළව එම වැඩසටහන් යටතේ 2019.03.15 දිනෙන් පසු ක්‍රියාත්මක එක් එක් නිශ්චිත ව්‍යාපෘති වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් වූ පත්‍රිකා ද මෙම නොවැම්බර් මස පත්‍රිකා අතර විය.
එයට සමස්ත පත්‍රිකා සඳහා පාලක මණ්ඩල සාමාජිකයන් 08 දෙනකුගේ පෞද්ගලික අනුමැතිය ලබාදී තිබේ.

පනතේ විධිවිධාන අනුව මුදල් වැයකළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් වෙයි. කලා අංශයට, පුරාවිද්‍යා, ආගමික හා සංස්කෘතික අංශවලට මුදල් වැය කිරීමට පනත අනුව බලය ඇත. 2019 වර්ෂය තුළදී ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ සෑම ශතයක්ම (සියලු මුදල්) ඉහත කලා, පුරාවිද්‍යා, ආගමික හා සංස්කෘතික අංශ වෙනුවෙන් වැයකර තිබේ.

ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද්දේ රාජ්‍ය ආයතන මගින්ය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්ම පමණක් මුදල් වැයකර තිබේ.

මුලින්ම රුපියල් බිලියන 5.25ක වියදම් සඳහා 2019 මාර්තු 15 දින අරලියගහ මන්දිරයේදී පැවැති පාලක මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගත්හ.

වියදම් කළේ නීත්‍යනුකූලව සහ පාලක මණ්ඩල අනුමැතිය ඇතිවය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අස්සනද ඊට ඇතුළත්ය.

ඒ අනුව, අවසර දී ඇති මුදල හදිසි වැඩ සදහා අවසර ගැනීමට ආවරණ අනුමැතිය ගත් අතර ඒවා බාර දුන්නේ රාජ්‍ය ආයතනවලටය. ගජමිතුරු කොන්ත්‍රාත්කරුවන් යොදාගෙන නැත. ඥාති හිත මිතුරන්ගේ ගෙවල් දොරවල් හදන්න හෝ තමන්ගේ හිතවතුන්ට කොන්ත්‍රාත්තු ඉඩදී නැත. ඒ විතරක් නෙවෙයි, පෞද්ගලික බඩගෝස්තරයටවත්, දේශපාලන චරිත පුම්බා ගැනීමටවත් මේ මුදල් ශත පහක් අවභාවිත කර නැත.

පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ සිද්ධස්ථාන ඉදිකිරීම, ඓතිහාසික වශයෙන් වැදගත් පුරාවිද්‍යා ස්ථාන සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම, ශ්‍රීමහා බෝධියට ආරක්ෂාව සැපයීම, ජාති ආගම් භේදයකින් තොරව සියලු සිද්ධස්ථාන සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්ෂණික අවශ්‍යතාද ඇතුළත්ව සංවර්ධන කටයුතු සිදුකිරීම ආවරණ අනුමැතිය සහ අනුමැතිය මත කළ කටයුතුය.

විගණකාධිපති හෙළි කළ ඇත්ත

රාජ්‍ය විගණකාධිපතිවරයා මෙම කාල වකවානුවලට අදාළව අවස්ථා 03කදී විගණනය කර ඇති අතර කිසිදු අක්‍රමිකතා සිදුනොවී ඇති බව සඳහන් කර තිබේ. එය එසේ තිබියදීත් දිගින් දිගටම ආණ්ඩුවේ සමහරු සහ ඇතැම් මේ අභූත චෝදනාව කරපින්නා ගෙන යමින් තිබෙනු දැකිය හැකි විය.

කෙසේ වෙතත් කෝප් කමිටුවේ සිදුවූ සියල්ල විමසුම් ඇසින් බැලූවිට සත්‍යය මොනවට පසක් කරගත හැකිය. අනුමත සේවක ප්‍රමාණය ඉක්මවා යන පරිදි සංස්කෘතික අමාත්‍යාංශයට බඳවා ගැනීම් සිදුකළ බවට ඇතැමුන් චෝදනා නගා තිබුණේද සජිත් ප්‍රේමදාසටය. එහෙත් අරුම පුදුම සත්‍යය වන්නේ එම බඳවාගැනීම් සිදුකොට තිබුණේ 2017 වර්ෂයේදී බවය. ඒ වන විට සංස්කෘතික අමාත්‍යවරයාව කටයුතු කළේ අකිල විරාජ් කාරියවසම්ය. ඒ අනුව සජිත්ට සිදුව ඇත්තේ අනුන්ගේ පවකට කර ගසන්නටය.

තවත් ඇතැමුන් පවසා සිටියේ සංස්කෘතික අරමුදලේ මුදල් ප්‍රචාරක කටයුතු වෙන උන් යෙදවූ බවය. මේ අරමුදලේ මුදල් කොහේවත් ප්‍රචාරක කටයුතුවලට පාවිච්චි කොට නැති අතර අදාළ ඉදිකිරීම් පවා සියල්ල සිදුකොට තිබුණේ රජයේ ආයතන හරහාය. නමුත් රාජපක්ෂ යුගයේදී සංගීත සන්දර්ශන පැවැත්වීමට, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ටී ෂර්ට් නිර්මාණය කිරීමටත් මේ අරමුදලේ මුදල් වෙන්කොට තිබේ. මේ අරමුදලේ තඹ ශතයක්වත් සජිත් ප්‍රේමදාස කිසිදු වෙනත් කටයුත්තකට පාවිච්චි කර නැත. අඩුම ගානේ ඔහුගේ අනෙකුත් අමාත්‍යාංශයේ නිවාස ඉදිකිරීම් කරන්නවත්, පාලම් බෝක්කු හදන්නවත් පාවිච්චි කර නැත. සියල්ලක්ම පාවිච්චි කොට අත්තේ සිංහල, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම්, දේවස්ථාන ගොඩනැගීමට ය.

‘පැහැදිලිව කියන්න පුළුවන් මේ auditor General රිපෝට් තුනක් තියෙනවා. එහි කොහේවත් සඳහන් වෙලා නෑ මේ මුදල් අවභාවිතාවක් ගැන. පැහැදිලිවම මේ හැම සතයක්ම රටේ සංස්කෘතික අරමුදලේ භාවිතාවන් සඳහා පමණයි පාවිච්චි කළේ. ඒ නිසා මේ වෙලාවේ හොරුන්ගේ File අතරට තමන්ගේ දේශපාලන File එකකුත් දාලා දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන්ගේ File දාලා දේශපාලන ඉලක්ක ජයගන්න උත්සාහ කිරීම හරහා වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. හොරුන් යම් දවසක මේවා ඉදිරියේ නඩු කටයුත්තක් වැටෙනවා. මේ ගැන දන්න මිනිස්සු කතා කරන කොට ඇත්ත හොරුත් නිවැරදිකරු බවට පත්වෙනවා.

මේ හැම එකක්ම විගණනය කරලා තියෙන්නේ. සියලු තොරතුරු තියෙනවා. රටේ සමස්ත ජනතාවට, මාධ්‍යවේදීන්ට ඕන කෙනකුට කියනවා විපක්ෂ නායක කාර්යාලයේ මේ සියලු ලිපිගොනු තියලා තියෙනවා. ඒවා ඇවිත් පරීක්ෂා කරලා බලන්න. සෑම මාසයකම ගෙවීම් සාරාංශ සියල්ලක්ම තියෙනවා. එය අනුර කුමාර දිසානායක මහත්තයට හෝ ඕනෙම කෙනකුට බලාගන්න අවශ්‍ය නම් විපක්ෂ නායක කාර්යාලයේ මේ ලිපි තියෙනවා. අපට තියෙන කනගාටුව අපි දන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට හතුරො ඉන්නවා. එතුමා අභියෝගයක් විදිහට දකින අයට එතුමාව මේ වෙලාවේ වට්ටන්න ඕන අය ඉන්නවා.’

කෝප් කමිටු සාමාජිකයෙකු වන නලින් බණ්ඩාර එහෙම කීවේය.

2019 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අදාළ සියලු වවුචර්, ගෙවීම් විස්තර, පාලක මණ්ඩල පත්‍රිකා ආදිය එහි වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ නිලධාරීන් භාරයේ තිබේ. ඕනෑම පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම විස්තර ලබාගෙන සිදුව ඇත්තේ වංචාවක්ද? මේ රටේ මහජනතාව වෙනුවෙන් වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමක්ද? යන්න අවබෝධ කරගත හැකිය. වත්මන් පාලකයන් මෙන් මහජන සේවය මගහැර සිටීමේ ක්‍රමවේදයන් 2019 වර්ෂයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවතියේ නැත. සියලු සේවක අයිතිවාසිකම් රකිමින්, සියලු දෙනාටම ගරු කරමින්, මහජනතාවට සේවා සපයන ආයතනයක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල බැබළුණි.සාර්ථක සේවාවාවක් ඉටු කිරීමෙන් අනතුරුව වුවද, 2019 වර්ෂය අවසානයේදී ආයතනය භාර දෙන වීට රු. බිලියන 6ක ස්ථාවර තැන්පතුවක්ද සමග ආයතනය භාර දුන්නේය. වර්තමානයේදී එම මුදල්වලට කුමක් සිදුවුණේද යන්න සොයාබැලිය යුතුය.

අරමුදල් විසින් 2019 වර්ෂයේදී දරන ලද සියලු වියදම් අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනය මත ආගමික සංස්කෘතික හා පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් දරා ඇත. මෙවැනි වියදම් මුදල් කාබාසිනියා කිරීමක් ලෙස අර්ථ ගැන්වීමට උත්සාහ කිරීම වර්තමාන දේශපාලනඥයන් වැටී ඇති ඛේදනීය තත්ත්වය නිරූපණය කිරීමක්ය. මෙම අරමුදලේ කිසිම මුදලක් අනවශ්‍ය ප්‍රචාරක කටයුතු හෝ වෙනත් අරමුණු වෙනුවෙන් 2019 වර්ෂය තුළදී අවභාවිත කර නොමැත. අරමුදල විසින් දරන ලද වියදම් පිළිබඳ 2019 වර්ෂයට අදාළව විගණකාධිපතිතුමා විසින් අවස්ථා දෙකකදී හෝ තුනකදී විශේෂ විගණනයන් සිදුකර ඇතත් අරමුදලේ මුදල් කාබාසිනියා කළ බවක් අනාවරණ කර නැත. පනතේ අරමුණුවලට පරිබාහිරව මුදල් වැයකර ඇති බවට කිසිදු සඳහනක් විගණකාධිපති වාර්තාවල සඳහන්ව නැත.

මේ සියල්ල දැන දැනම සත්‍යය විකෘති කරමින් ගොබෙල්ස් පන්නයේ බොරුවක් සමාජගත කරමින් තිබේ.

ටි්‍රක්සි ජයවර්ධන

Exit mobile version