පොප්ලර් ගස් යටින් ඉගිලෙන්න දුයිෂෙන්ගේ පුස්තකාලෙන් නවතින්න…

අපි ලෝකෙ දුප්පත්කමින් පහළටම වැටිච්ච ජාතියක්. දැන් ඒක කියන්න ලැජ්ජා වෙලා වැඩක් නෑ. දැන් ඒක කියන්න පමා වෙලා වැඩකුත් නෑ. ඇත්ත ඇති හැටියෙන් දැනගෙන, ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ජීවත් වෙනවා හැර වෙන විකල්පයක් දැන් අපට නෑ. රටක් විදියට අපි පරාජය වෙලා ඉවරයි. දැන් අපි පටන් අරගන්න ඕනෙ උත්තර හොයන්න. මෙච්චර කල් ප්‍රශ්න හංගපු එකේ වාඩුව දැන් ගෙවන්න වෙලා තියෙන්නේ අපට. රටක් විදියට අපි පරාදයි. මේ එහෙම හිතලා කල් ඇරලා කලකිරිලා දුක් විඳිනවා වෙනුවට මිනිස්සු විදියට එහෙම උත්තර හොයපු එක අවස්ථාවක්. පොත් කියන්නේ මනුස්ස ජීවිතේට ලැබෙන සැරසිල්ලක්. පොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක දරුවෙක් ලබන වාසනාවක්. හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩක් දරුවන්ට දැන් පොත් එක්ක ජීවිතේ ගතකරන්න බැරි තැනකට රට පත්වෙලා ඉවරයි.

පොතක මිල ඉතා වැඩියි. සාමාන්‍යයෙන් ලංකාවෙ පොතක මිල රුපියල් දහස ඉක්මවා ගිය වසර තමයි මේක. බොහෝ වෙලාවට ලංකාවෙ පොතක මිල රුපියල් 1,500, 2,000 දක්වා ඉහළ යෑමට නියමිතයි. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයකුට පොතක් පරිහරණය කරන්න පුළුවන් යුගය අවසාන වෙලා. දරුවෙක්ට පොතක් මිලදී ගැනීමට තියෙන අවස්ථාව නැතිවෙලා ගියා. එහෙව් කාලෙක, එහෙව් යුගයක මේ සත් ක්‍රියාව ඇත්තටම අපට දැනෙන්නේ මාර වැඩක් විදියට. මේ රටේ ඕනෙ තරම් මාර වැඩ තියෙනවා. ඕනෙ තරම් යමර වැඩ තියෙනවා. ඒවා ඔක්කොම තක්කඩි වැඩ. ඒ තක්කඩි වැඩ කරන්නේ දේශපාලකයෝ. හැබැයි ලංකාවේ මනිස්සුන්ට කියවන්න අවස්ථාව හදලා දෙන එකයි දේශපාලකයෝ කළ යුත්තේ. පුස්තකාලයක් හදන එක, පොත්පත් ටිකක් දරුවෙක්ට කියවන්න අවස්ථාවක් දෙන එක රටක් විදියට අපි කළ යුතුව තියෙන දෙයක්. ඒත් ඒක කරන්න අපි පමා වෙනකොට මේ ඒ වෙනුවෙන් පියවර තියපු අපූරු කතාවක්.

මේ අපූරු පුස්තකාලයට නම දාලා තියෙන්නෙ ‘දුයිෂෙන්ගෙ පුස්තකාලය’ කියලා. මේ පුස්තකාලය පිරිසුදු කරන ගුරු අම්මව මේ සටහන ලියපු අය නම් කරලා තිබුණෙ මැක්සිම් ගෝර්කිගෙ ‘අම්මා’ වගේ කියලා. ඔව් ඒක ඇත්ත. මේ මිනිස්සුන්ගෙ චරිතවලට ගැළපෙන්නෙ සාහිත්‍යයේ නම් ගම්. මේ කතාවෙ අග අමුණලා තිබුණා මෙහෙම ලිපිනයක්.

විදුහල්පති,
දුයිෂෙන්ගේ පුස්තකාලය,
අම්/ මහ/ වරාපිටිය විද්‍යාලය,
වරාපිටිය,
කැකිරිහේන,
මහඔය.

ඔබට පුළුවන් දුයිෂෙන්ගෙ පුස්තකාලය දැනුමෙන්, සාහිත්‍යයෙන්, රසයෙන්, ආදරයෙන් පුරවන්න.

පතපොත එවන්න ඔවුන්ට. අද නැතත් හෙට ලස්සන වෙන්න. මේ යාය අස්වද්දන්න.



ජීවන පහන් තිළිණ

Exit mobile version