පාල්… පාල්… ට්‍රීන්… ට්‍රීන්… අපෝ දෙයියනේ මේ අර සයිකලයක කිරි අරන් එන කොලුවා…

ඌදා පූ සීසන් එක ඉවරයි. බිම් සවාන් මල් පිපෙන පූනාකරී (පුනරින්) සංචාරයෙන් පස්සේ මේ ගමන අපි තීරණය කළේ මන්ජල් පූ බලන්න යන්න. කලින් මඟ දිගට යාපනයේ සංචාරයේ මම ගියේ මන්නාරම පාර දිගේ සංගුපිටි පාලම පහුකරගෙන ඌදා පූ (දම් පාට මල්) බලන්න.

මේ පාර නම් තීරණය කළේ යාපනේ ටවුන් එකේ ඉඳන් කේ.කේ.එස්. පාර දිගේ ගිහින් සන්ගුවේලි ගිහින් මන්ජල් පූත් බලලා, ලංකාවේ හිස් මුදුන ස්පර්ශ කරන්න.

පාල්………….පාල්………………….

ටී්‍රන්……….ටී්‍රන්………………

අපෝ දෙයියනේ…

ඒ අර මහ පාන්දරම නල්ලුර් කෝවිල පාරෙ ඉඳන් සයිකල් එකක් දක්කාගෙන කිරි අරන් එන කොලුවා.

‘අපි තාම නිදි………..

ඉර මුදුන් වෙන්න කලින් ගියේ නැත්නම් ඉතින් කාෂ්ටක අව්වේ පිච්චි පිච්චී ඇසුත් පොඩිකරන් තමා ෆොටෝ එකක් ගන්න වෙන්නේ…’

ඒ මගේ සගයා.

මොන දේ වුණත් සතියේ මුළු දවස් හතෙන් හයකම වැඩ කරලා ලැබෙන හැම ඉරිදාවකම එහෙ මෙහේ ගාටන්න තරම් මගේ හිතත් මුරණ්ඩු වෙලා.

ටිං……….ටිං……………
ඒ මරතනාමඩම් කෝවිලේ උදේ පූජාව.

කොකුවිල් , ඉනුවිල් කියන ගම් පහුකරන් ඉස්සරහට යනවා. ඔය අතරමඟදී තමා දකින්නේ මරතනාමඩම් ශ්‍රී අන්ජෙයිනගර් කෝවිල. ඉස්සරහම තියෙන්නේ ගාම්භීර විදිහට හදලා තියන හනුමාන් පිළිමයක්.

හනුමාන් කියන්නේ සුළඟේ දෙවියා වූ වායුගේ පුත්‍රයා. දැන් ඉතින් ප්‍රශ්න ගොඩයි. සුළං දෙවියන්ගේ පුත්‍රයා වංශාධිපතියකු නොවී වඳුරකු වුණේ කොහොමද?

මේවා තමා ප්‍රශ්න…

කුඩා කාලයේදීම හනුමාන්ට විශාල බලයක් තිබිලා තියනවා. එක් උදෑසනක හිරු උදාවීම දැකපු හනුමාන් හිතලා තියෙන්නේ ඒක කහ පාට බෝලයක් කියලා. ඉතින් මේ කහ පාට බෝලේ එක්ක සෙල්ලම් කරන්න හිතපු හනුමාන් අහසට පනිනවා. ඒත් ඉර කියන්නේ දෙවිවරුන්ගේ රජවූ ඉන්ද්‍ර. මේක දැකපු ඉන්ද්‍ර කෝපයට පත්වෙලා ඔහුව නවත්වන්න තම ආයුධය වූ වජ්රාව (ගිගුරුම්) හනුමාන්ට විසි කරනවා. හනුමාන් පොළොවට වැටිලා තුවාල වෙනවා.

හනුමාන්ගේ කෝපයට පත්වුණු පියා වායු, තම දරුවාට රිදවන තැනැත්තාට දඬුවම් ලැබෙන තෙක් වැඩ වර්ජනයක යෙදීමට දැන් ඉතින් තීරණය කරනවා.

කොහොමද ඒ කාලේ වැඩ වර්ජන…?

පෘථිවියේ සුළඟක් නොමැති වුණොත් කොහොමද ඉතින්, හිතලා බලන්නකෝ…

හිරු බැසයන විට මෘදු සිසිල් සුළඟක් නෑ. වැසි සහිත වලාකුළු චලනය කිරීමට බලයක් නෑ. ඇයි? යම් කාලයකට පසුව මිනිසුන්ට සහ සතුන්ට හුස්ම ගන්න ඕනේ වායුත් නෑ. වායුගේ වැඩවර්ජනය නිසා පෘථිවියේ ජීවිතය දුෂ්කර වෙනවා.

අපහසුව තේරුණු දෙවිවරු තීරණය කරනවා වායුට සමාව දෙන්න ඕනෙ කියලා. ඉතින්, ඔවුන් දරුවාට ආශීර්වාද රාශියක් ලබාදෙනවා. කිසිම ආයුධයක් කිසි විටෙකත් හනුමාන්ට හානියක් නොවන විදිහට, තම අභිමතය පරිදි තම ස්වරූපය වෙනස් කර ඔහු තෝරාගත් ඕනෑම තැනකට ගමන් කළ හැකි විදිහේ බලයක් තමා මේක. ඉන්ද්‍රගේ ආශීර්වාදය නිසා තමා ඔන්න ඔහුගේ ශරීරය ආයුධයට වඩා ශක්තිමත් බවක් ලැබිලා තියෙන්නේ. මේක බලන් ඉන්න සාගරයේ දෙවියා වන වරුණත් ඔහුට ජලයෙන් ආරක්ෂාව ලබාදෙනවා.

මරතනාමඩම් කෝවිල තියෙන්නේ කේ.කේ.එස්. පාර දිගේ යද්දී චුන්නාක්කම් ටවුන් එකට කලින් පාරෙන් වම් පැත්තේ.

කවුරුත් දන්නවනේ චුන්නාක්කම් නැත්නම් ඒ කාලේ විදියට හුණුගම කියන්නේ යාපනයේ අර්ධද්වීපයේ තියෙන දෙවන විශාල නගරය කියලා. ඒ වගේම වැදගත් වාණිජ මධ්‍යස්ථානයක්. නගරයේ මුල් නම මයිලානි කියලා තමා මට අහන්න ලැබුණේ. ශතවර්ෂ කීපයකට මත්තෙන් චුන්නාක්කම්, ශ්‍රී ලාංකික දෙමළ ජනයා වැඩි වශයෙන් ආධිපත්‍ය දැරූ ප්‍රදේශයක් වූ අතර අසූව දශකය වන තුරුම සුළු සිංහල ජනගහනයක් ජීවත් වී ඇති අතර ඉන්දියානු ද්‍රවිඩයන්, මුවර්ස් සහ මලයාලි වැනි දකුණු ඉන්දියානු නොවන ද්‍රවිඩයන් චුනාකාම්හි ජීවත්වී ඇති බවත් මගේ ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මට අසන්නට ලැබුණා.

කලින් දවසක මම ගිය 768 පාර දීගේ සංචාරයේදී නම් චුන්නාක්කම්වලින් හැරිලා තමා කන්දරොඩෙයි විහාරය බලන්න ගියේ. ලංකාවේ මුල්ම ජනාවාස ගැන වැදගත් සාක්ෂි ගොඩක් ලැබුණු ස්ථානයක් මේ කන්දරොඩෙයි.

මේ ගමන නම් කොහෙන් කොහෙන් ගිහින් හරි කෙළවර වුණේ අර මන්ජල් පූ යාය ගාව. ඒ, බලන්න ලස්සන. යායට වවපු උලුඳු, තල වගාවට එහායින් මන්ජල් පූ. මම මොකෝ මේ මල් මන්ජල් පූ කියලා කියන්නේ පාට කහ පාට නිසා. මේ ශාකයේ නම නම් දන්නේ නෑ. ඒත් ඉහළ නයිට්‍රජන් තිර කරගැනීමේ හැකියාවක් මේ ශාකවලට තියෙන නිසා තමා වගා බිම්වලට නුදුරින් මේවා වැවෙන්න සලස්වලා පස්සේ කොම්පෝස්ට් වෙන්න කපලා දාන්නේ. අතුරු භෝග විදිහට වගාබිම්වලින් තියෙන්නේ බණ්ඩක්කා, එළබටු, වම්බටු, කැකිරි එහෙම.

වගාබිම් ගාවම ගොවියෝ ඉතින් වෙළෙඳාම් කරනවා. කන්න ලැබුණා එක කැකිරි වර්ගයක් ‘වෙල්ලාරේ පලම්’. තල් කොළේක හදපු ගොට්ටක දාලා තමා විකුණන්නේ. ගෙදර අරන් ඇවිත් තල් හකුරු, සූකිරි දාලා රස බලන්න තමා තියෙන්නේ ඉතින්.

අර්ධද්වීපයට වර්ෂාවක් නම් ලැබෙන්නේ ඉතින් මෝසම් සුළං සහිත වර්ෂාවෙන්. මහ පොළොව තෙත් කරගෙන ගොවිකමට පොළොව එක්ක ඔට්ටුවෙන එක නම් මෙහෙ ගොවියෙක්ට ලේසි වෙන කාර්යයක් නෙවේ කියන දේ තමා මගේ මතය.

ඒ නිසාම දෝ කොහෙද ගොවිබිම් ආශ්‍රිතව ජලය පිරුණු විශාල ජල මූලාශ්‍රයක් මොවුන් විසින්ම ගොඩනගාගෙන තියෙනවා. හරියට අපේ අර වැව් බැඳි රාජ්‍යයේ එල්ලංගා පද්ධතිය වගේ.

එතැනත් මම දකින්නේ අපේ රජරට සංකල්පේ.

‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’

මෙහෙ ඉතින් තියන වෙනස දාගැබ වෙනුවට කෝවිල. මේ සංස්කෘතීන් හරිම සුන්දරයි. ගවේෂණය කළොත් තමා අමුතුම අත්දැකීම් එකතු වෙන්නේ.

මන්ජල් පූ ගවේෂණය හමාරයි. ඌදා පූවලින් පස්සේ මන්ජල් පූ කතාව මගේ ඔළුවට දැම්මේ අපේ තෙලිප්පලේ හොස්පිටල් එකේ ඉන්න මගේ හිත මිතුරු ජනානි ඩොක්ටර් අක්කා. (Janani Wijethunga)

‘මේ පාර නම් යන්නම ඕන කීරමලේ’

ඒ මම. දැන් ආයෙත් ඉතින් මම කේ.කේ.එස්. පාර දිහාවට සුක්කානම කරකවනවා.
‘ඉස්සරෝම අපි යමු නගුලේෂ්වරම් කෝවිල බලන්න’
ඒ මගේ ගයිඩ් විනෝ අක්කා.

ඔය යන පාර දෙපැත්තේ සශ්‍රීක බව නම් හරිම අඩුයි. කාරණේ නම් ඔයිට නුදුරින් තමා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව තියෙන්නේ. ඒ කාලේ සිමෙන්තිවලට අවශ්‍ය හුණුගල් කපන් තියෙන්නෙ ඒ අවටින්. දැන් නම් ඉතින් පස සාරවත් බවක් නම් නෑ. ඉදිකිරීමකට තරම්වත් සුදුසු බිම්කඩක් නෙවේ.

ටිං……………..ටිං………………
ඒ කෝවිලේ හඬ.

නගුලේෂ්වරම් කෝවිල පැරණි ඉතිහාස කතාවක් තියන සිවන් කෝවිලක්. ශ්‍රී නගුලාම්බිගා දේවි සමග නගුලේෂ්වරම් ස්වාමි සිටි ලක්දිව ඇති ප්‍රධාන ඊෂ්වර කෝවිල් හතරෙන් එකක්. විජයාවතරණයෙන් පස්සේ විජය රජතුමා මේ කෝවිල ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. කවුරුත් දන්න කීරමලේ පොකුණ තියෙන්නෙ මීට මඳක් නුදුරින්. දමිළ බසින් නම් මෙය ලකන්ඩගි තිර්ක්තටිල ලෙස හඳුන්වනවා.

මේක ඔසුපැන් පොකුණක්ලු.

රාම, රාවණා, අර්ච්චුනන් ඔසුකිසිද යන රජවරු මේ පොකුණේ ස්නානය කරලා කෝවිලට පුද පූජා පවත්වලා තියෙනවා විතරක්ම නෙවේ අපල උපද්‍රව වගේම ශාපයන් දුරුකරගෙනත් තියෙනවා.

මේ ඔක්කොටම වඩා රසවත් කතාව හාත්පසින්ම වෙනස් එකක්.

ශිව දෙවියන් විසින් යමදක්ති මුතිවර යන දේව ගැත්තාට කරන ලද ශාපයක් නිසා ඔහුගේ මූණ මුගටි ස්වරූපයක් අරන් තියෙනවා. පස්සේ මේ කීරමලේ පොකුණ ගැන සැලවීමෙන් ලක්දිව පැමිණි මුණිවරයාණන් පොකුණේ ස්නානය කර කෝවිලට පුද පූජා පවත්වා නැවත මුල් ස්වරූපය ලබාගත් බවයි සඳහන් වෙන්නේ.

ඒ කාලෙත් මේ කාලෙ වගේ තමා. ශාපවල නම් අඩුවක් නැති පාටයි.

මාර්දපුර වල්ලි කුමරිය කියන්නේ සෝල රජුගේ දුව. කරපු ශාපයක් නිසා ඇයට ලැබිලා තියෙන්නේ අශ්ව මූණක්ලු. ඔන්න ඇයත් ශාපෙන් මිදිලා තියෙන්නේ මේ කීරමලේ පොකුණේ නාලා.

පොකුණට යද්දී තියෙනවා පරණ අම්බලමකුත් ඔන්න. මේ පැරණි අම්බලම සිරප්පාර් මඩම් ලෙස හඳුන්වන්නේ. එය රටේ විශාලතම අම්බලම් නොවේ. මෙය යාපනය අර්ධද්වීපයේ ඇති අම්බලම් කිහිපයෙන් එකකි. බොහෝදෙනා මෙහි ඉතිහාසය නොදන්නා නමුත් බොහෝ විට ඉදිකර ඇත්තේ නකුලේශ්වරම් කෝවිල් සහ කීරමලේ මිරිදිය වසන්තයේ බැතිමතුන් සඳහාය.

වර්තමාන නටබුන් සලකා බලද්දී නම් බිත්ති කොරල් ගල්වලින් සාදා ඇති අතර මුළුතැන්ගෙය, ගබඩා කාමර සහ කුටිවල නටබුන් අදටත් හඳුනාගත හැකිය. පරිශ්‍රයට පිවිසෙනුයේ පැන්ඩල් සහිත ආකර්ෂණීය ආරුක්කු හරහාය. පැන්ඩලය හින්දු සම්ප්‍රදායේ විවිධ සංකේත හා ප්‍රතිමාවලින් පිරිලා තියෙනවා.

ඔය කීරමලේ යන ගමන අතරමග කාපු එක කටෝර පලතුරක් අමතක කරන්නත් බෑ ‘ඉලන්තායි පලම්’ හරියටම වෙරළු වගේ. විටමින් සී හරිම ඉහළ ප්‍රතිශතයක් තමා තියෙන්නේ.

පරේ අයිනෙම තිබුණු ගහක් දැකලා තමා මගේ ගයිඩ් ෂර්මිලා අක්කා මේක මට ඉන්ට්‍රඩියුස් කළේ.

ආයෙත් ඉතින් රථය පැදවෙන්නේ කන්කසන්තුරේ දක්වා. පරණ නැව බලන්න. ඈතින් ප්‍රදීපාගාරේ පේනවා පාර දිගේ ඉස්සරහට ‍යන කෙනෙක්ට නම්. පාරෙන් දකුණු පැත්තේ ‍යාල් දුම්රියේ ගමනාන්තය වෙන කන්කසන්තුරේ දුම්රිය නැවතුම්පොළ පේනවා.

අපි දැන් ඉතින් ඔන්න ලංකාවේ හිස්මුදුණ ස්පර්ශ කරන්න සූදානම් වෙනවා.

මේ පාර මගේ ගමන් සගයා වෙන්නේ යාපනයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියක්, නිවේදිකාවක්, ලේඛිකාවක් වගේම පරිසරවේදිනියක් වෙන ෂර්මිලා අක්කා. මේ අක්කා තරම් යාපනේ අස්සක් මුල්ලක් නෑරම දන්න තව කෙනෙක් නෑ ඉතින්. මොකෝ අක්කා කරන්නෙම ඉතින් වාර්තාමය වැඩසටහන් නිසා.

Thanks Sharmila Vinothini Thirunavukarasu Akka…

එන්න අපි ඇවිද යමු යාපනයේ……….



විදුනි බස්නායක

Exit mobile version