ඉන්ධන හිගය සහ එහි බලපෑමෙන් ජනජීවිතයට සිදුව ඇති පීඩාව පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
එම ප්‍රකාශයෙන්, ඉන්ධන ලැබෙන දින පිළිබදව දිගින් දිගටම බොරු ප්‍රකාශ ලබා දෙමින් ජනතාව නොමඟ යැවීම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, විෂය භාර අමාත්‍යවරයා මෙන්ම ආණ්ඩුවටද එරෙහිව ප්‍රබල විවේචනයක් ගෙන එයි.
ජූනි 17 වන දා අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්රික් ටොන් 30,000 ක නැව්ගත කිරීමක් සදහා රජය ඇමරිකානු ඩොලර් මිලියන 42.6 ක වටිනාකමින් යුත් ණයවර ලිපි විවෘත කළ බවයි.
එම ඇමතිවරයාම ජූනි මාසයේ 19 වන දා කියා සිටියේ, ජූනි 23 සහ 24 යන දිනවල පෙට්රල් සහ ඩීසල් තොග රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙන බවයි.
එම ඉන්ධන තොග වෙනුවෙන් ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කළ බවද අමාත්‍යවරයා කියා තිබුණි.
පසුව, ජූනි 23 වන දා කියා සිටියේ, එදින පැමිණීමට නියමිතව තිබුණු පෙට්රල් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බවයි.
නැවත, ජූනි 24 වන දා විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එම නෞකාව නොපැමිණෙන බවයි.
අවසානයේ දී ජූනි 26 වන ඉරිදා මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, වගකිව යුතු සියළු පාර්ශ්ව බොරු කියමින් ජනතාව රවටා ඇති බව යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය චෝදනා කරයි.
ජූලි 26 වන දා පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ නැවත ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන්නේ කවදාදැයි කිව නොහැකි බවයි.
රටේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් විශ්වාසදායක කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමට රජය අසමත් වී තිබේ.
ඒ පිළිබද නීතීඥ සංගමය කණගාටුවන බව ද පවසයි. ඉන්ධන පෝලිම්වල දින ගණන් නැවතී සිටීමට සිදුවීමත්, ඉන්ධන පෝලිම්වල ගැටුම් ඇතිවීමත්, එවැනි ගැටුම් මැඩපැවැත්වීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ අපොහොසත් වීම සහ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මිය යාම පිළිබදව නීතීඥ සංගමය සිය ප්‍රකාශයෙන් අවධානය යොමු කර තිබේ.
ඉන්ධන සහ ගෑස් හිගය හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවයන් සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.









