ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදු විය.Sri Lanka Latest News
පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයෝ ජනාධිපතිවරයා දැනුවත් කළහ.
එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් අනඅනකර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී.ආර්. වීරතුංග, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.








ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-20










