පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානිකරගැනීමට තැත්කිරීමේදී එම උත්සාහ ව්‍යර්ථ වී තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අද අළුයම එකට පමණ සේනක බිබිලේ නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයකදී සිසුවා සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී බිම ඇදවැටී තුවාල ලැබ සිටි ඔහුව සිසුන් විසින් රෝහල් ගතකර ඇති බව පොලිසිය කියයි.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මෙම 25 හැවිරිදි සිසුවා ඊයේ රාත්‍රියේ සෙසු සිසුන් සමඟ රාත්‍රී ආහාර ගැනීමට පිටතට ගොස් නැති අතර, සිසුන් ඔහුට ආහාර රැගෙන පැමිණ කතාකරන අවස්ථාවේ දොර වසා තිබී ඇත.
අනතුරුව සිසුන් අසල ජනේලවලින් කාමරයට ඇතුළු වී සෝදිසි කිරීමේදී මෙම සිසුවා බිම ඇදවැටී සිටින අයුරු දැක ඔහුව රෝහල් ගතකර තිබේ.
අභ්‍යන්තර තොරතුරුවලට අනුව මේ සිසුවා ඉකුත් වසරේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන පෙන්වමින් නවක වදය ලබාදීමට කටයුතු කළ සිසුන් කණ්ඩායම පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී හඳුනාගත් සිසුන් සිව් දෙනාගෙන් කෙනෙකි.
එම සිසුන් සිවුදෙනා නවක වද සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, සිසුන් තිදෙනෙක් මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත.
එහෙත් මෙම සිසුවා මේ වෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නැති බව දැනගන්නට තිබේ.
lankasara









