තලතාත් එක්ක යන්න ගිය මන්ත්‍රී ආපහු හැරෙයි!
දිගාව ඇතුළට ගන්න මෙහෙයුම නැවතුණු හැටි!
අනේ අපොයි ෆොන්සේකාට වෙච්ච දෙයක්!
හයිඩ් පාක් කුමන්ත්රණයේ සියල්ල එළියට!
තලතාගේ පිම්ම කලින්ම කිව්වා
‘රාජ්‍ය රහස්’ තීරය යනු මේ රටේ තිරය පිටුපස සිදුවන දේශපාලන කුමන්ත්‍රණ, දේශපාලන ඩීල්, දේශපාලන ගනුදෙනු සියල්ල කාටත් කලින් රටට හෙළි කරන එකම දේශපාලන කොලමය. අනෙක් සියලු පුවත්පත් සිය දේශපාලන කොලම් පල්හෑලිවලින් ඕපාදූපවලින් පුරවද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඒ සියල්ලටම වෙනස් මගක යමින් මාලිගා ඇතුළේ සිදුවන කුමන්ත්‍රණ, කාමර ඇතුළේ සිදුවන සතරකන් මන්ත්‍රණ ජනතාව හමුවට ගෙන ආවෙමු. එහිදී අප කිසිදු අවස්ථාවක ජනතාවට බොරු කියන්න ගියේ නැත. වැරැදි තොරතුරු ජනගත කිරීමට කටයුතු කළේ නැත. තහවුරු නොකළ කරුණු රටට හෙළිදරව් කිරීමට ගියේ නැත. ඒ බව හොඳින්ම තහවුරු වන්නේ පසුගිය වසර ගණනාව පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ කී අනාවරණයන් 100%ක්ම සත්‍ය ඒවා වීම නිසාය.
අප පසුගිය සතියේද මේ ආකාරයෙන්ම කිසිදු පුවත්පතක් සිදු නොකළ අනාවරණයක් කරමින් හයිඩ්පාක් කෝනර් කුමන්ත්‍රණය නමින් යුනියන් පෙදෙසේ පිහිටි සුවිසල් නිවෙසක ඉහළම මහලේ පිහිටි පෙන්ට්හවුසියේ සිදුවූ රහස් සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කළෙමු. අප කළ මෙම අනාවරණයත් සමග මෙම හයිඩ්පාක් කෝනර් කුමන්ත්‍රණයට සහභාගි වී සිටි පිරිස් විශාල ලෙස කැලඹීමට පත්ව ඇති බව අපට ආරංචිය. ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට තොරතුරු විශාල ප්‍රමාණයක් අප සතුව පවතී. එමෙන්ම මෙම කුමන්ත්‍රණයට මන්ත්‍රීවරුන් රැගෙන ආවේ කවුරුන්ද, මන්ත්‍රීවරුන් කීදෙනෙක් එම කුමන්ත්‍රණයට සම්බන්ධ වී සිටියාද, පළමු වටයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටියේ කවුද, දෙවැනි වටයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටියේ කවුද, තුන්වැනි වටයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටියේ කවුද යනාදී සියලු තොරතුරු මේ වනවට අප සතුව තිබේ. ඒවා නිසි අවස්ථාවලදී රටට හෙළිදරව් කිරීමටද අප සූදානම්ය.
මෙන්න අපි කියපු හැටි
පහත පළවන්නේ පසුගිය සතියේ පළමු වරට හයිඩ්පාක් කෝනර් කුමන්ත්‍රණය රටට හෙළිකරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ අනාවරණයය.
හයිඩ්පාක් කෝනර් කුමන්ත්‍රණය
මේ දිනවල ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට විවිධ පිල් මාරුවීම් සිදුවන ආකාරයක් දැකගන්නට පුළුවන. බොහෝ දෙනා චෝදනා කරන්නේ විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන සියලු දෙනාට විවිධ තනතුරු, වරදාන, වරප්‍රසාද, බාර් ලයිසන්, කාර් ලයිසන් ආදිය ලබාදීම නිසා මෙසේ ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එක්වනවා යැයි කියාය. නමුත් ආණ්ඩු පක්ෂයේ සිට මැති ඇමැතිවරුන් විපක්ෂයට එන්නේ කිසිදු වරප්‍රසාදයක්, වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි කියාය.
කෙසේ වෙතත් මේ ආකාරයට පසුගිය සති කිහිපය තුළ විවිධ ආකාරයේ පිල් මාරුවීම් සිදුවෙද්දී විපක්ෂයේ ප්‍රධානීහු මේ සිදුවීම් පිළිබඳ කිසියම් අධ්‍යයනයක නිරත වීමට පියවර ගත්හ. මේ පිල් මාරුකිරීම් සඳහා මුලපුරන ආකාරය, කතාබහ සිදුකරන ආකාරය, හමුවීම් යොදාගන්නා තැන් ආදිය පිළිබඳ ඔවුහු දිගටම සොයාබැලීම් කළහ. එහිදී ඔවුන් මේ සඳහා පසුගිය දින කිහිපය තුළ නම්දැරූ එක්තරා ප්‍රකට ස්ථානයක් සොයාගැනීමට සමත් වී තිබිණි. විශේෂයෙන්ම සජබ මන්ත්‍රීවරුන් සහ මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට බිලීබාගැනීම සඳහා බොහෝ සාකච්ඡා සහ ගනුදෙනු සිදුව ඇත්තේ මේ කියන ස්ථානයේදීය.
මන්ත්‍රීවරිය කවුද?
ඒ සාකච්ඡා සිදුව ඇත්තේ කොළඹ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි එක්තරා සුවිසල් මන්දිරයකය. මේ සුවිසල් මන්දිරයේ ඉහළ මහලේ ඇත්තේ අතිසුඛෝපභෝගී පෙන්ට් හවුස් එකකි. එම මන්දිරයේ හිමිකරුවා වන්නේ මෙරට දේශපාලනයට සම්බන්ධකම් ඇති පවුලක ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයෙකි. ඔහු නිතරම සුදු ඇඳුම් ඇඳගෙන සිටින අයකු ලෙස ප්රකටය. විපක්ෂයේ ප්‍රධානීන් සොයාගත් එම කරුණුවලට අනුව අනාවරණ වී ඇත්තේ මේ කියන නිවසේ පසුගිය දින කිහිපය පුරාම රාත්‍රී 9 පසුවූ වහා නිතරම පාහේ සජබ මන්ත්‍රීවරුන් සහ මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පැමිණ නිරතුරුවම සාකච්ඡා පවත්වා ඇති බවකි. එමෙන්ම එම සාකච්ඡාවන්ට සහභාගි වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කවුද, එම සාකච්ඡාවලදී කතාබහ කළේ මොනවාද, ඔවුන්ට ලබාදුන් ආහාර පාන ආදිය මොනවාද යන්න පිළිබඳ තොරතුරු පවා මේ වනවිට විපක්ෂයට ලැබී අවසානය. එමෙන්ම ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයෙක්ද පසුගිය සතියේ මේ පෙන්ට් හවුසියට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මුණගැසී ඇති බවද ආරංචිය. එදින විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරියක ගොස් ආණ්ඩුවේ මේ ප්‍රබලයා හමුවී සාකච්ඡා කොට ඇති බව පැවසේ. මේ කියන මන්ත්‍රීවරිය නිතරම කතා කරන්නේ නම් සදාචාරාත්මක දේශපාලනය ගැනය. තමන් කිසිම අවස්ථාවක පක්ෂ මාරු නොකරන බවත්, එසේ කිරීමට සිදුවුවහොත් පක්ෂය මාරු නොකර ගෙදර යන බවත් ඇය නිතරම පවසන කාරණයකි. නමුත් ඇයද මේ ප්‍රබලයා සමග අදාළ පෙන්ට් හවුසියේ සාකච්ඡාවකට සහභාගි වී සිටීම විශේෂ සිදුවීමකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවන්ට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු විපක්ෂ නායකයා විසින්ද මේ වනවිට සොයාගෙන අවසානය. ඒ පිළිබඳ මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම්ද දැනුවත්ය. ඒ අනුව මේ සියලු දෙනාම සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන තීරණාත්මක අවස්ථාවකදී විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවත් සමග ඩීල් දැමූ මේ මන්ත්‍රීවරුන්ගේ සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීමටය.
ජනාධිපතිතුමාත් රෑ ආවා
අප කළ එම අනාවරණයට අනුව නම්ගම් කිසිවක් සඳහන් නොකළද මෙවර අප එම සාකච්ඡාවේ සිටි කිහිප දෙනකුගේ නම් සඳහන් කිරීමට සූදානම්ය. එහි අප සඳහන් කළ මන්ත්‍රීවරිය වන්නේ වෙන කවුරුවත් නොව පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ රත්නපුර සජබ මන්ත්‍රීනි තලතා අතුකෝරාලය.
මීට සතියකට පෙර මෙම පෙන්ට්හවුසියේ පැවැති අවසන් සාකච්ඡාවට ගම්පහ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුද වයඹ පළාතේ මන්ත්‍රීවරයකුද සිටි බව අපට ආරංචිය.
කෙසේ වෙතත් තලතා සමග රැස්වීම පැවැති දිනයේ අලි සහීර් මවුලානාද එම සාකච්ඡාවට එක්ව සිටියේය. මෙම පිරිස හයිඩ්පාක් කෝනර් පෙන්ට්හවුසියට පැමිණියේ එදින රාත්‍රී 9ට පමණය. ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට එක්වන විට රාත්‍රී 10 පමණ වී තිබිණී. රාත්‍රී 10 සිට 10.30 පමණ වනතුරු ජනාධිපතිවරයා එහි සිටි අතර, එහිදී පිරිසට රාත්‍රී ආහාරය ඇණවුම් කළේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකිනි.
කපුකම කළේ කව්ද?
මේ ආකාරයට සජිත් සමග සිටි තලතා රනිල් ළඟට ගෙන යෑමට අවශ්‍ය කපුකම සිදුකළේ කවුරුන් විසින්ද? අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යහපාලන ආණ්ඩුවේ තනතුරු කිහිපයක්ම දරා පසුව රටින් පලාගොස් සිට නැවත මේ වනවිට ලංකාවට පැමිණ සිටින අයකු මෙම සිදුවීම් මාලාව පසුපස සිටින බවය. තලතා සජබයෙන් කඩන වැඩේ යම් වැඩකොටසක් ඔහු විසින් සිදුකර ඇති බවක්ද ආරංචිය.
තවත් කෙනෙක් කඩන්න හැදුවා
තලතාට අමතරව සජබයේ දැනට සිටින ජ්යෙෂ්ඨයකුද යළිත් වතාවක් ජනාධිපතිවරයාට සමීප කරවීම සඳහා මේ පිරිස දැවැන්ත උත්සාහයක් දරා තිබූ බවක්ද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව තලතා සහ මෙම පුද්ගලයා අදාළ සජබ ජ්‍යෙෂ්ඨයාට පසුගිය සතියේදී දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් විශාල බලපෑමක් සිදුකොට තිබේ. එමෙන්ම කොළඹදී හමුවීම සඳහා කාලවේලාවද සජබ ජ්‍යෙෂ්ඨයාගෙන් ඉල්ලා තිබේ. නමුත් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කීවා සේ මේ දෙදෙනා උත්සාහ කරන්නේ තමාව බිලීබාගැනීම සඳහා බව වටහාගත් මේ සජබ ජ්‍යෙෂ්ඨයා කරදරයෙන් බේරෙන්නට බැරිම තැන තමාගේ ජංගම දුරකතනය දින දෙකක් විසන්ධි කිරීමට කටයුතු කොට තිබිණි.
හරීස්ටත් සල්ලි වෙන් කරලා
තලතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බදාදා දිනයේදීම සජබයෙන් තරග කොට පාර්ලිමේන්තු පැමිණී මුස්ලිම් කොංග්‍රසයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එම්.එම්. හාරිස් මහතා ආණ්ඩුවට එක්කර ගැනීම සඳහාද මේ පිරිස විශාල උත්සාහයක් දැරූහ. ඒ අනුව, ඔහුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදලෙන් විශාල මුදලක් වෙන්කිරීමටද පියවර ගැනිණි. මේ බව හාරිස් පසුගිය සතියේ සිය පක්ෂ නායකයා වූ හකීම්ටද දැනුම් දීමට පියවර ගෙන තිබිණි. හකීම් ඒ බව සජිත්ට දැනුම් දෙමින් කියා තිබුණේ බලෙන් කිසිවකුත් නවතා ගැනීමට අවශ්‍ය නැති බවත්, මුදල් හෝ වෙනත් වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වන්නේ නම් ඒ සියලු දෙනාට යෑමට ඉඩ දෙන ලෙසත්ය. නමුත් පසුව සජිත්, හකීම් හා හාරිස් යන දෙදෙනා සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කිරීමට පියවර ගත්තේය. මේ සාකච්ඡාව අවසන් වූයේ හාරිස් ආණ්ඩුවට එක්වන අඩිය ආපස්සට ගනිමින්ය.
කෙසේ වෙතත් තලතා පසුගිය සතියේ සජබ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවද ඇය පසුගිය වසර ගණනාව පුරාම සිටියේ ජනාධිපතිවරයා සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යමිනි. ඊට හේතු වූයේ තලතා පසුගිය 2020 මහ මැතිවරණයේදී රත්නපුර ලැයිස්තුවේ අන්තිමයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසාය. ඇය එම මැතිවරණයෙන් මනාප ඡන්ද 45,000ක් ලබාගනිද්දී තරුණ මන්ත්‍රීවරයකු වන හේෂා විතානගේ මනාප 60,000ක ප්‍රමාණයක් ලබාගත්තේය. පළමු වරට රත්නපුරෙන් තරගවැදුණු වරුණ ලියනගේ මනාප 47,000ක් ලබාගත්තේය. තව මනාප කිහිපයක් එහා මෙහා වුණා නම් තලතාට පාර්ලිමේන්තුවටවත් එන්නට ලැබෙන්නේ නැත.
තලතා වෙනස් වුණු තැන
එවර ලැබුණු අඩු මනාප සංඛ්‍යාව හේතුවෙන් ඊළඟ මහ මැතිවරණයේදී තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීම ඉතා අසීරු බව තලතාට වැටහෙන්න ඇත. මේ නිසා පසුගිය කාලය පුරාම තලතා සිටියේ සජිත්ගේ ටීම් එකටත් වඩා රනිල්ගේ ටීම් එකට සමීපවය. එපමණක් නොව තලතා දිගින් දිගටම සජබය හා එජාපය එක්විය යුතු බවට වූ මතයේද සිටියේය. අනෙකුත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන් පක්ෂය ඉහළට ගෙන ඒමට කටයුතු කරද්දී තලතා රත්නපුරේ ඒ කිසිවක් කරන්නට ගියේ නැත. අඩුම තරමින් කරන මන්ත්‍රීවරයකුටවත් වැඩ කරන්නට සහාය දුන්නේ නැත. ඒ නිසාම ආසන සංවිධායකවරු දිගින් දිගටම තලතාට එරෙහිව සජිත්ට පැමිණිලි කළත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වීම නිසාත්, මුල් කාලයේදී සජිත්ට සමීපව කටයුතු කිරීම නිසාත් සජිත් තලතා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පියවර ගත්තේ නැත. අවසානයේදී තලතාගේ නායකත්වය යටතේ සජබයටද රත්නපුරේදී අත්වූයේ එජාපයට රත්නපුරේදී අත්වූ ඉරණමමය.
ඒ කෙසේ වුවත් තලතාගේ ඉල්ලා අස්වීමත් සමග මේ වනවිට රත්නපුරේ සජබ ආසන සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් අතර විශාල පිබිදීමක් ඇතිවී ඇති ආකාරය දැකගන්නට පුළුවන. තලතා ගිය දිනයේදීම රත්නපුරේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වූ තලතාගේ ආසනය වූ බළන්ගොඩ, නිවිතිගල ඇතුළු අනෙකුත් ආසන නියෝජනය කරන සංවිධායකවරුන් පැහැදිලිවම කියා සිටියේ තලතා ගියද කිසිදු ආසන සංවිධායකවරයකු හෝ පාක්ෂිකයකු තලතා සමග නොයන බවකි. එමෙන්ම තලතා ගිය දිනයේදීම ඌව පළාත් සභාව නියෝජනය කළ ශ්‍රීලනිප හිටපු පළාත් සභා අමාත්‍යවරයකු භානු මනුප්‍රිය සජිත්ට සහාය පළකරමින් සජබයට එක්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඊට පසු දින රත්නපුර සියලු ආසන සංවිධායකවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත්ට සහාය පළකිරීමටද පියවර ගත්හ.
වේලුකුමාර් දිගා ගැටුම
මේ දිනවල දේශපාලන වේදිකාවේ කියවෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ බාර් ලයිසන් හෙවත් මත්පැන් බලපත්‍ර ගෙන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු වීමේ ප්‍රවණතාවක් ඇතැයි කියාය. මෙම චෝදනාව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මතු කළ අතර, පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා එය දේශපාලන වේදිකාවේද මතුකරනු ලැබීය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු වතාවට දයාසිරි විසින් එසේ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත්කිරීමය. එහිදී දයාසිරි කියා සිටියේ මෑතකදී ආණ්ඩුවට එකතු වූ වේලුකුමාර් මන්ත්‍රීවරයා හට මත්පැන් බලපත්‍ර 3ක් ලබාදී ඇති බවකි. එම එක් මත්පැන් බලපත්‍රයක වටිනාකම රුපියල් කෝටි 5ක් බවද කියවිණි. කෝටි 15ක ගනුදෙනුවක් මේ හරහා සිදුව ඇති බවද දයාසිරි කියා සිටියේය. වේලුකුමාර්ට අමතරව ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම හා ලොහාන් රත්වත්ත යන මන්ත්‍රීවරුන්ද මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති බව කී දයාසිරි ඉදිරියේදී සියලු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට අනාවරණ කරන බවද කියා සිටියේය.
කෙසේ වෙතත් දයාසිරි කළ මේ අනාවරණයේ හොඳම කෑල්ල දැකගන්නට ලැබුණේ ඊට දින කිහිපයකට පසු සිරස ශක්ති නාලිකාව විසින් පවත්වනු ලැබූ ‘සටන’ දේශපාලන සංවාද වැඩසටහනේදීය. එදින ඔවුන් ඒ සඳහා ආරාධනා කර තිබුණේ වතුකරයේ ප්‍රබලයකු වූ පී. දිගම්බරන්ටත්, බාර් ලයිසන් ගෙන ආණ්ඩුවට එකතු වූ බවට චෝදනා එල්ල වී ඇති වේලුකුමාර්ටත්ය. සංවාදය අතරතුරදී දිගම්බරන් මෙම බාර් ලයිසන් කතාව මතුකොට වේලුකුමාර් හට ‘බාර් කුමාර්’ යනුවෙන් කතා කිරීමත් සමග වේලුකුමාර්ද පෙරළා දිගම්බරන්ට අභූත චෝදනාවන් නගමින් ‘කුඩු දිගා’ යැයි කියන්නට විය.
දිගම්බරන් යනු බදුල්ලේ සාමාන්‍ය කම්කරු පවුලක ඉපිද ඉතා අසීරුවෙන් නම කැතකර නොගෙන දේශපාලනයේ ඉහළට ආ චරිතයක් නිසා මෙම චෝදනාවත් සමග දිගම්බරන්ට උන්හිටි තැන් අමතක විය. දිගින් දිගටම හිතාමතා උසිගන්වන ආකාරයෙන් වේලුකුමාර් එල්ල කළ මෙම චෝදනාවත් සමග වහා නැගී සිටි දිගම්බරන් සජීවී සංවාදයක් හෝ යැයි නොතකා වේලුකුමාර්ට පහර කිහිපයක් එල්ල කළේය. ඒ සමගම වේලුකුමාර්ද දිගම්බරන් බදාගෙන පොර බදන්නට වීමෙන් සජීවී සංවාදය මොහොතකින් එකම ගුටිකෙළියක් බවට පත්විය. පසුව විනාඩි කිහිපයකට පසු මාධ්‍යවේදීන් ඉදිරිපත්ව එම ගැටුම සමතයකට පත් නොකළේ නම් එය දරුණු ගැටුමක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.
පොල් බූරුවා
කෙසේ වෙතත් මෙහි ඊළඟ හොඳම ජවනිකාව දැකගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේය. මේ සිදුවීම දඩමීමා කරගෙන මාලිමාව විසින් මෙහෙයවන ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ජාලවල දිගට හරහට ගහන්නට වූයේ සජබෙ සිටින මන්ත්‍රීවරුන් සජීවී දේශපාලන සංවාදවලදී හරියට කතාකරන්නට, හරියට හැසිරෙන්නට නොදන්නා බව කියමිනි. නමුත් මෙය මාලිමාවට පාරාවළල්ලක් වීමට පැය 24ක්වත් ගතවූයේ නැත. ඒ, දෙරණ වාදපිටියේදී අතින් පයින් ගුටි ඇන නොගත්තත් ඒ හා සමාන සිදුවීමකට මාලිමා නියෝජිතයෙක් වූ මහින්ද ජයසිංහ මැදිහත් වීම නිසාය. ඊට සම්බන්ධ වූයේ සංවාදයට එක්ව සිටි සජබ හේෂා විතානගේ මන්ත්‍රීවරයාය. වසර ගණනාවක් තිස්සේ මහින්ද ජයසිංහ ගුරුවරයකු වශයෙන් දරුවන්ට ඉගැන්වීම සඳහා පාසලකට නොගොස් වැටුප් ගන්නා බවට එල්ල කළ චෝදනාවත් සමග කෝපයට පත් මහින්ද ජයසිංහ ‘පොල් බූරුවා’ යනුවෙන් කියමින් සජීවී සංවාදයේදී හේෂාට බැණවදින්නට විය. එම චෝදනාව ප්‍රතික්ෂේප නොකළ මහින්ද ජයසිංහ කියා සිටියේ ආයතන සංග්‍රහය අනුව වෘත්තීය සමිති නායකයකුට එසේ කළ හැකි යැයි කියාය. කෙසේ වෙතත් මහින්ද ජයසිංහ ‘පොල් බූරුවා’ යැයි කියමින් කෑගැසීමෙන් පසු දිගම්බරන් හා සජබය ඉලක්ක කර මාලිමාවෙන් ගෙනගිය සමාජ මාධ්‍ය ප්රචාරක වැඩපිළිවෙළද හිටිහැටියේම නැවතුණු ආකාරයක් දැකගන්නට ලැබිණි.
ප්‍රබලයෙක් දිගාට කතාකරයි
කෙසේ වෙතත් සටන සජීවී සංවාදයේදී දිගම්බරන්ගෙන් ප්‍රහාරයට ලක්වූ වේලුකුමාර් වැඩසටහන අවසන් කිරීමෙන් පසු කෙළින්ම ගියේ ජනාධිපති ලේකම් කාර්යාලයටය. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එක්තරා හිටපු ප්‍රබල ඇමැතිවරයකුගෙන් දිගම්බරන්ට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී මේ හිටපු ප්‍රබලයා දිගම්බරන්ට කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළහොත් දිගම්බරන්ව අත්අඩංගුවට ගැනීමකට පවා ලක්විය හැකි බවකි. මේ හිටපු ප්රබලයාගේ කතාව ගණනකට නොගත් දිගම්බරන් ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
‘අයියෝ ඒක මේ වෙලාවේ කොච්චර හොඳද? මොකද මම මිනීමරලා හොරකම් කරලා නෙවෙයිනේ ඇතුළට යන්නේ. මම සතියක් ඇතුළේ ඉඳලා එළියට එන්නම්. ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම කළොත් ඒක මගේ කැම්පේන් එකටත් නියමයි. මොකද මට දැනට වතුකරයේ 75%ක් විතර ඡන්ද තියෙනවා. මාව ඇතුළට දාලා එළියට එද්දී ඒක 95%කට විතර නගිනවා. ඒ නිසා මමත් කියන්නේ මාව කොහොමහරි ඇතුළට දාන්න කියලයි…’ යනුවෙන් දිගම්බරන් පිළිතුරු ලබාදීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන වැඩේ එතැනින්ම අවසන් විය.
සන්ධාන සන්ධාන
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග ජයටම සිද්ධ වෙන තවත් කටයුත්තක් වන්නේ සන්ධාන ගැනීමය. දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්ධානය ගොඩනගමින් මෙවර ඒ සඳහා මූලාරම්භය ලබාදුන්නේ වෙන කවුරුවත් නොව සජිත්ය. ප්‍රධාන දේශපාලන පක්ෂ පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මන්ත්‍රිවරුන් පවා මේ වනවිට සිටින්නේ සජබය සමග සන්ධානගතවය.
කෙසේ වෙතත් සජබ සන්ධානය ගොඩනැගීමෙන් පසු ආණ්ඩුව පැත්තෙන්ද කියැවුණේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් ආ කණ්ඩායම, පොහොට්ටුවෙන් ආ කණ්ඩායම සහ එජාපය එක්ව දැවැන්ත සන්ධානයක් ගොඩනගන බවකි. එම සන්ධානයේ මහලේකම් ධුරය අමාත්‍ය රමේෂ් පතිරණ හට හිමිවන බවත්, පුටුව ලකුණ යටතේ මෙම සන්ධානය බිහිවන බවත් ඉන් වැඩිදුරටත් කියැවිණි. නමුත් අවසානයේදී පුටුව ලකුණින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පෙරටු කොටගෙන සන්ධානයක් බිහිවුවද එහි මහලේකම් ධුරය රමේෂ්ට හිමිවූයේ නැත. ඒ සන්ධානය හැදුණේ අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙනි.
මේ ආකාරයට හදිසියේම ආණ්ඩුව ඇතුළේ අලුත් සන්ධාන හැදීමට හේතුව වෙන මොකක්වත් නොව ජනාධිපතිවරණය පවත්වා අවසන් වීමත් සමග ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඊළඟ පැය 48 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමය. වත්මන් ජනාධිපතිවරයා නියත වශයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී තුන්වැනි හෝ හතරවැනි ස්ථානයට පත්වන බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැනටමත් වටහාගෙන සිටීම නිසා ඔවුන්ගේ දැන් එකම අරමුණ වී ඇත්තේ කෙසේ හෝ ඊළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමය.
ඒ අනුව අනුර ප්රියදර්ශනලාගේ සන්ධානයෙන් රමේෂ් පතිරණ එළියට වීසිවීමත් සමග පොහොට්ටුවෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායමද දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට වෙනම සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව මේ වනවිට ආණ්ඩුව ඇතුළේ අනුර ප්‍රියදර්ශන කණ්ඩායම, දිනේෂ් ගුණවර්ධන කණ්ඩායම සහ එජාප කණ්ඩායම වශයෙන් කණ්ඩායම් 3ක් බිහිවෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. එජාපයද පසුගිය සතියේ මහ මැතිවරණය ඉලක්ක කර හදිසියේම ආසන සංවිධායකවරුන් පත්කිරීමට කටයුතු කළේ මෙවැනි පසුබිමක් යටතේය.
සිලින්ඩරේ ගැලවෙයි
මේ අතර පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මේ වනවිට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ එජාප ලකුණ වන අලියා වැසෙන පරිදි ගෑස් සිලින්ඩරයක ඡායාරූපයක් එල්ලා ඇති බවකි. ඩී.එස්. සේනානායකයන් විසින් එජාපය නිර්මාණය කොට එහි ප්රතාපවත් සලකුණ ලෙස අලියා තෝරාගැනීමෙන් අනතුරුව පළමු වතාවට පක්ෂ මූලස්ථානය තුළ අලියා වැසෙන්නට වෙනත් සලකුණක් ප්‍රදර්ශනය කොට ඇති බවක්ද අපි එහිදී අනාවරණ කළෙමු.
කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් පසු පසුගිය සඳුදා රාත්රියේදී සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ විශේෂ මෙහෙයුමක් දියත් විය. ඒ, කාටත් නොපෙනෙන්නට අලියා වැසෙන පරිදි ප්‍රදර්ශනය කොට තිබූ ගෑස් සිලින්ඩරය ගලවා ඉවත් කිරීමට පියවර ගෙන තිබීමය. ඒ අනුව, මේ වනවිට ඒ ගලවනු ලැබූ ගෑස් සිලින්ඩර සලකුණ සහිත බැනරය සිරිකොත පිටුපස කාටත් නොපෙනෙන ආකාරයට බිත්තියකට හේත්තු කර ඇති බවක් ආරංචිය.
අන්තිම මතවිමසුම
ජනාධිපතිවරණය ඉලක්ක කොට විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ලද මත විමසුම් පිළිබඳ අවස්ථා කිහිපයකදීම ‘මව්රට’ පාඨකයන් දැනුවත් කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී ජාත්‍යන්තරය පවා පිළිගත්, කීර්තිමත් ආයතන මගින් සිදුකළ සමීක්ෂණ පිළිබඳ තොරතුරුද, ඔත්තු සේවාවන් මගින් අනාවරණ කර තිබූ තොරතුරුද, යම් යම් පිරිස් විසින් දෙන ලද කොන්ත්‍රාත්තු අනුව ආචාර්ය රවී රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරන ලද හොර සමීක්ෂණයක තොරතුරුද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින් වර අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. මෙහිදී ජාත්‍යන්තරය පිළිගත් ආයතනය සහ ඔත්තු සේවා මගින් මීට මාස 06කට පෙර සිදුකර තිබූ මත විමසුමට අනුව සජිත් 36%ක්ද, අනුර 22%ක්ද, පොහොට්ටුව 9%ක්ද, රනිල් 5%ක්ද හිමිකරගනු ඇතැයි අනුමාන කොට තිබූ බව අපි පෙන්වා දුන්නෙමු. එමෙන්ම මීට මාසයකට පෙර අවසන් වරට එම ආයතනය මගින් සිදුකළ මත විමසුම හරහා සජිත් 43.5%ක ප්‍රතිශතයක් ලබා ඉදිරියට පැමිණ ඇති බවත්, ජවිපෙ 22% සිට 15% දක්වා පහත වැටී ඇති බවත්, රනිල් 5% සිට 12 දක්වා ඉදිරියට පැමිණ ඇති බවත් පෙන්වා දුන්නෙමු. එමෙන්ම ඔත්තු සේවා මගින් සිදුකර තිබූ මත විමසුම්වල ප්‍රතිඵලද මේ හා සමාන බව අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට දින ළං වීමත් සමග මේ කී ජාත්‍යන්තර ආයතනය මගින් සිය අවසන් මත විමසුම සිදුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය 15 වැනිදාය. එහි කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 26, 27 යන දිනවලය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පළමු වතාවට පොහොට්ටුවේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂගේ නමද සහිතව මෙම මත විමසුම සිදුකිරීමය. මීට පෙර සිදුකරනු ලැබූ මත විමසුම් දෙකේදීම පොහොට්ටුව විසින් අපේක්ෂකයකු නම් කර නොතිබීම නිසා පොහොට්ටුව යනුවෙන් පමණක් නම්කොට සිදුකළද මෙවර නාමල් සටනට ඉදිරිපත්ව සිටීම නිසා නාමල්ගේ නම සහිතව මත විමසුම සිදුකිරීමට මෙම ආයතනය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙවර ප්‍රතිඵලය පෙර තිබූ ප්‍රතිඵලයට වඩා තරමක් වෙනස් විය හැකි වුවත් බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ නිශ්චිත වශයෙන්ම එම මත විමසුමේ ප්‍රතිඵල අනුවද සජිත් පළමු ස්ථානයටත්, අනුර දෙවැනි ස්ථානයටත් පැමිණෙනු ඇති බවය. තුන්වැනි ස්ථානය සඳහා ජනාධිපතිවරයා හා නාමල් අතර සටනක් ඇතිවනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
‘සයි-ඔප්‘ එකක් ආයෙත්
මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව පැත්තෙන් පසුගිය සතියේ තවත් මානසික මෙහෙයුමක් හෙවත් ‘සයි-ඔප්’ එකක් දියත් කරනු ලැබ තිබිණි. ඒ, සජබයෙන් තලතා අතුකෝරාල ඉවත් වීමත් සමග අනුරගේ ජනප්‍රියතාව සජිත්ටත් වඩා ඉහළ ගොස් ඇති බවට මතයක් මාධ්‍ය අතරත්, සජබය අතරත් ගෙන යෑමට කටයුතු කිරීම හරහාය. තලතා සජබයෙන් ඉවත් වෙමින් කළ පාර්ලිමේන්තු කතාවේදීද මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් කරමින් කියා සිටියේ 3%ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටි ජවිපෙ මේ වනවිට විශාල බලවේගයක් බවට පත්ව ඇතැයි කියාය. එය වළක්වා ලීමට සියලු දෙනාම එක්ව කටයුතු නොකළහොත් සියලු දෙනාටම දිවි නසාගැනීමට සිදුවනු ඇති බවද තලතා සඳහන් කර සිටියාය. තලතා කොලයක් බලාගෙන මෙම ප්‍රකාශය කළේද සජබය බියවද්දා සජබ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත රැගෙන යෑමේ මානසික මෙහෙයුමක් ලෙසටය. නමුත් මේ බොරු මානසික මෙහෙයුම පිළිබඳ දැන සිටීම නිසාත්, සියලු මත විමසුම් මගින් සජිත් ඉදිරියෙන් සිටින බව හොඳින්ම තහවුරු වී ඇති නිසාත් තවත් කිසිම සජබ මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක්කර ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැත.
මස්ක් එනවා
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් ජනතාවට විවිධ සහන දෙමින් සිටින බවක් දැකගන්නට පුළුවන. 2025 සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට මේ වනවිට ආණ්ඩුව යෝජනා කර ඇති අතර, දැනටමත් විදුලි බිල අඩුකිරීම, ජල බිල අඩුකිරීම, විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩිකිරීම, ධීවරයන්ට සහන ලබාදීම, වැඩිහිටි තැන්පතු පොලී ඉහළ දැමීම ආදිය ආණ්ඩුව විසින් සිදුකර තිබේ. නමුත් මැතිවරණ සමයකදී මෙවැනි ආකාරයේ කටයුතු නීති විරෝධි වීම හේතුකොටගෙන මින් යම් යම් යෝජනා අත්හිටුවීමට මැතිවරණ කොමිසම පසුගිය සතිය වනවිට පියවර ගෙන තිබිණි. කෙසේ වුවත් මැතිවරණ සමයන්හිදී පත්වීම් ලබා දීම සිදුකළ නොහැකි වුවද ජනාධිපතිවරයා පසුගිය සතියේදීත් වඩිවේල් සුරේෂ්ට සහ අලි සහීර් මවුලානාට අමාත්‍ය ධුර ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරවලින් ඉවත් කරනු ලැබූ හරීන් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට ඔවුන් දැරූ අමාත්‍යාංශවලම කැබිනට් බලතල සහිත ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය. මීට අමතරව මැතිවරණ ප්රචාරක සමය අතරතුරදී විවිධ විජ්ජා පෙන්වා ජනමතය තමන් වෙත ඇති බවට රටට පෙන්වීමේ සැලසුම් රැසක්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ වනවිටත් දියත් කර අවසානය. ඉන් එක් සැලසුමක් වී ඇත්තේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ පිලට ගැනීමය.
මේ සියල්ලට අමතරව තවත් විශේෂ කාරණාවක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අවධානය මේ දිනවල යොමුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ටෙස්ලා ආයතනයේ නිර්මාතෘ ලෝ ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් ලංකාවට ගෙන්වා දැවැන්ත ප්‍රචාරයක් සිදුකොට ඒ හරහා යම් වාසියක් ජනාධිපතිවරණය කට මුල තියා ලබාගැනීමටය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ ලබන 15 වැනිදා, එනම් ජනාධිපතිවරණයට හරියටම සතියක් තබා ඉලෝන් මස්ක් ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව සැලසුම් සකස් කොට ඇතැයි කියාය.
කව්ද කපුකම කළේ?
මේ තොරතුරු අපට වාර්තා වීමත් සමග මෙය පසුපස ඇති කතාව පිළිබඳ විශේෂ සොයාබැලීමක් කිරීමට අපිද කටයුතු කළෙමු. එහිදී අපට වාර්තා වූයේ ඉකුත් සතියේ අප අනාවරණ කළ හයිඩ්පාක් කෝනර් කුමන්ත්‍රණ කතාව හා යම් සම්බන්ධයක් මේ ඉලෝන් මස්ක් ලංකාවට ගෙන ඒම පසුපසද ඇති බවය. පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ තලතා ඇතුළු සජබයෙන් ආ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ටවුන්හෝල් ප්‍රදේශයේ පිහිටි හයිඩ්පාක් කෝනර් ආසන්නයේ ඇති සුවිසල් නිවෙසක පෙන්ට්හවුසියේදී ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූවා යැයි කියාය. ඒ අනුව අපට දැනගන්නට ඇත්තේ මෙම නිවෙසේ හිමිකරු සහ ඔහු සමග සිටින සමීපතම හිතවතියක විසින් ටෙස්ලා හිමිකරු වන ඉලෝන් මස්ක් ලංකාවට ගෙන ඒමේ මෙහෙයුම පසුපසද සිටින බවකි. මීට අමතරව ඉලෝන් මස්ක්ට අයත් ස්ටාර් ලින්ක් අන්තර්ජාල සමාගම ලංකාවට ගෙන ඒමේ ගනුදෙනුව පසුපස සිට ඇත්තේද මේ කියන හයිඩ්පාක් කෝනර් නිවෙසේ හිමිකරු සහ ඔහුගේ සමීපතම හිතවතියය.
ජනාධිපතිවරයා මීට වසරකට පමණ කලින් ලන්ඩනයේ සංචාරය කළ අවස්ථාවේදී මේ කියන හයිඩ්පාක් කෝනර් නිවසේ හිමිකරු සහ ඔහුගේ හිතවතිය ද ලන්ඩනයේ සංචාරය කර තිබූ බවක් අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. එවර අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයේදී ලන්ඩනයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන අලි රාජා සුබාස්කරන් හෙවත් ලයිකා මොබයිල් හිමිකරු හා ජනාධිපතිවරයා අතර හමුවක් සංවිධාන කිරීමට මෙම හයිඩ්පාක් කෝනර් නිවසේ හිමිකරු සහ ඔහුට සමීප හිතවතිය කටයුතු කර තිබුණා යැයි කියාය. එම සාකච්ඡාවේදී ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිට්ල් ආයතනය අලිරාජා සුබාස්කරන්ට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබූ බවක්ද අපි එහිදී අනාවරණ කළෙමු. අප කී පරිදිම මීට මාස කිහිපයකට ඉහතදී ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් ආයතන පෞද්ගලීකරණය කිරීමේදී අලිරාජා සුබාස්කරන්ද ඊට ලංසු ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී ඔහුගේ ලංසු ප්‍රතික්ෂේප වී තිබිණි.
ඡන්දෙ අස්සේ එයිද?
ඒ කෙසේ වෙතත් එම ගනුදෙනුව සිදුකිරීමට මැදිහත් වූ හයිඩ්පාක් කෝනර් නිවෙසේ හිමිකරු සහ ඔහුගේ සමීපතම හිතවතිය මෙවර ස්ටාර් ලින්ක් සහ ටෙස්ලා හිමිකරු වන ඉලෝන් මස්ක් ලංකාවට ගෙන ඒමේ ගනුදෙනුව පසුපස සිටින බව මේ වනවිට තහවුරු වී තිබේ. නමුත් ගැටලුව වන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන මොහොතකදී ඉලෝන් මස්ක් වැනි ලෝකප්‍රකට ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ තමන්ගේ ප්‍රතිරූපයට හානියක් කරගනු ඇතිද කියාය.
මේ ආකාරයටම ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාවද ලංකාවට ගෙන ඒමට උත්සාහ කළේය. මෝදි, අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට ගිය ජනාධිපතිවරයා එහිදී මේ කාලය තුළ ලංකාවට පැමිණෙන ලෙස මෝදිට ආරාධනා කිරීමට පියවර ගත්තේය. එවකදී මාධ්‍ය වාර්තා කොට තිබුණේ ජනාධිපතිවරයාගේ ආරාධනය මෝදි පිළිගත් බවකි. ඒ අනුව මෝදි ලංකාවට පැමිණෙන උත්සවයේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිගත්තද මැතිවරණයක් පැවැත්වෙන මොහොතක් නිසා මෝදි ලංකාවට පැමිණියේ නැත. ඒ අනුව දින වකවානු තීරණය කළද පවතින තත්ත්වය යටතේ ඉලෝන් මස්ක්ද ලබන 15 වැනිදා ලංකාවට පැමිණේදැයි කීමට තවම කල් වැඩිය.
ගිවිසුම වෙනස් කරනවා
මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම මැතිවරණ වේදිකාවේදීද ප්‍රධාන මාතෘකාවක් වී ඇති අයුරු දැකගන්නට පුළුවන. ඒ, සජිත් මෙන්ම සජබයේ ආර්ථික විශේෂඥයන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් විසින් අලුත් ආණ්ඩුවක් පිහිටවූ වහා මූල්‍ය අරමුදලේ ගිවිසුමේ යම් යම් වගන්ති ජනතාවට හිතකර අයුරින් වෙනස් කිරීමට කටයුතු කරන බවට සහතික වී තිබීම නිසාය. සජිත් ඇතුලු මෙම කණ්ඩායම ඒ පිළිබඳ මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගෙන තිබූ අතර, අවසන් වරට පැවැති සාකච්ඡාවේදී ඔවුන්ද ඒ සඳහා යම් නම්‍යශීලීභාවයක් දැක්වීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුනුත් මුල සිටම කියා සිටියේ මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමේ එකදු ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ වෙනස් කිරීමට නොහැකි යැයි කියාය. එසේ වෙනස් කිරීමට කටයුතු කළහොත් ගිවිසුම බිඳවැටී රට නැවත වතාවක් පෝලිම් යුගයකට ගමන් කරනු ඇති බවද ඔවුහු කියා සිටියහ.
කෙසේ වෙතත් මේ ආකාරයට ගිවිසුමේ කිසිදු වගන්තියක් වෙනස් කළ නොහැකි බවට තරයේම කියා සිටි ජනාධිපතිවරයා පසුගිය සතියේ කාටත් හොරෙන් මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කොට ඇත්තේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින නිසා එහි සංශෝධනයක් සිදුකිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටය. නමුත් ඊට මූල්‍ය අරමුදලෙන් කොයි ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී තිබේදැයි තවමත් දැනගන්නට නැත. කෙසේ වෙතත් මෙහි දැකගන්නට ඇති හොඳම සිද්ධිය වන්නේ මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කිසිවක් වෙනස් කළ නොහැකි බවට කී ආණ්ඩුවම මේ වනවිට සජබය ප්‍රකාශ කළ අයුරින්ම ගිවිසුම වෙනස් කරගැනීමට උත්සාහ දරමින් සිටීමය.