පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද (30) දැසන 7ට පමණ වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ අනතුරකින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි. (Sri Lanka Latest News)
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බව වැලිකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බව වැලිකන්ද වැඩ බල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න පැවසීය.
බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තුවාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවද වැලිකන්ද පොලීසිය පවසයි.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ගේ මෙහෙයවීමෙන් වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
lankasara










