මේ වන විට මෙරට බරපතළ අර්බුදයක්ව පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ (DASL) උප සභාපති, වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ පවසනවා.
ඔහු කියන්නේ මේ මරණ කිසිවක් ස්වාභාවික මරණ නොවන බවයි.
“අපි දන්නවා මේ වෙනකොට කිසිවෙකුට හෝ කිසිම ආයතනයකට, කිසිම සේවාවකට ප්‍රමාණවත් තරම් ඉන්ධන් නොලැබෙන බව. ඒ හේතුව නිසාමත් තවත් හේතු ගණනාවක් නිසාමත් අපේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක් වෙමින් තියෙන්නේ. මේ තත්වය ප්‍රශ්නකාරී තත්වයක් නෙමෙයි. මේක අර්බුදයක්. මේ අර්බුදයට ඍජුවම ආණ්ඩුව වග කියන්න ඕනේ. ඒකේ ආයේ විවාද කරන්න දෙයක් නැහැ. සෞඛ්‍ය සේවාව වගේම අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය ආදී හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. දැන් ආණ්ඩුව තීරණය කරන්න ඕනේ සෞඛ්‍ය කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක්ද නැද්ද කියන එක. ඒ වගේම යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් හැටියට නම්කරන්නේ ඇයි, කොහොමද ඒ සේවාව ඊට පස්සේ පවත්වාගෙන යන්නේ කියලා ආණ්ඩුවේ උදවිය දැනගන්න ඕනේ. නිකමට කියන්නන් වාලේ ‘සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්’ කියලා කිව්වට වැඩක් නැහැ.අපේ සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටම සිද්ධවෙලා තියෙන්නේ තමන්ගේ වෘත්තීය වුණු සෞඛ්‍ය සේවය ඉටු කිරීම පැත්තක තියලා තෙල් පෝලිම්වල ඉන්න. ඒ ඉද්දී අපි දැක්කා මේ රටේ පුරවැසියෝ 15 දෙනෙක් දැනටමත් තෙල් පෝලිමේ ඉද්දී මිය ගිය කතාව. මේක ඛේදවාචකයක්. මේවා ස්වාභාවික මරණ නෙමෙයි. මේ හැම මරණයක්ම මනුෂ්‍ය ඝාතනයක්” බව වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ කියනවා.










