විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ත්‍රීවිල් රථ රියදුරන් වෙනුවෙනුත්, වාහනවල දුක් විඳින ජනතාව වෙනුවෙනුත්, කුසගින්නේ පෝලිම් වල සිටින ජනතාව වෙනුවෙනුත්, පෝලිම්වල මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙනුත්, දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මිය ගිය අහිංසක තරුණයා වෙනුවෙනුත් ආණ්ඩුවට බලකර සිටින්නේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන ලෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද බවද ඒ මහතා පැවසීය.,නිවසේ කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.
මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
වැඩ බැරි, වැඩ නොදන්නා ආණ්ඩුව මොහොතින් මොහොත සිදුකරන්නේ ජනතාවගෙන් පලිගැනීමත් ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමත් බව පැවසූ විපක්ෂ නායකතුමා වහාම මේ ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දෙන ලෙසද ඉල්ලා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.









