මේ වන විට සිර දඬුවමට ලක්ව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරනු ලැබ තිබේ.
මෙහිදී අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සමාව දුන් බවයි.
2016 වසරේ ජුනි මස 21 වෙනිදා දින මාදිවෙල මන්ත්‍රී නිවාසයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඩිෆෙන්ඩර් රථයක් පෙන්වා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් පහරදීමකට හා ඝාතනයකට සම්බන්ධ රථයක් දමා ගොස් ඇති බවට චෝදනා කරනු ලැබ තිබිණ.
එහෙත් එම ඩිෆෙන්ඩර් රථය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ නොවන බව පසුව සනාථ විය.
එම සිද්ධියෙන් පසු තමන්ට සිදු වූ හානිය පදනම් කරගෙන රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොණු කිරීමට කටයුතු කර තිබිණ.
එහෙත් මේ වන විට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුවන තත්ත්වය හමුවේ මෙම නඩුවද විභාග වී ඔහුට තවත් වසර කිහිපයකට හෝ සිරගත වීමට සිදුවන හෙයින් තමන් එම නඩුව ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
රන්ජන් රාමනායක අහිංසක මනුස්සයෙක් වන බවත් ඔහුව ඇතැමුන් නොමඟ යවා ඇති බවත් අමාත්‍යවරයා කියාසිටියේය.










