පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා වන ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යවා නොමැති බව පවසමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට අයිති නැති කටයුත්තක් සිදු කොට ඇති බවකි.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම කොමිසම සතු රාජකාරියක් බව කී ඒ මහතා නියමිත වේලාවට ගැසට් පත්‍රය නිකුත් කරන බවද කියා සිටියේය.
2018 වසරේ පැවැති අවසන් පළාත් පාලන මැතිවරණයේදීද කොමිසම කටයුතු කළේ ඒ ආකාරයෙන්ම බව පෙන්වා දුන් ඒ මහතා, හිටපු මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා එය දන්නා බවද සදහන් කර සිටියේය.
ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ගත හැකී නීතිමය ක්‍රියාමාර්ග පිළිබදවද කොමිසමේ අවධානය යොමුව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මෙම නිවේදනයට ආණ්ඩුවට සම්බන්ධ වෙබ් අඩවි විසින් විශාල ප්‍රචාරයක් දී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනය!











