කුලියාපිටිය මහේස්ත්‍රාත් සම්පත් ආරියසේන මහතාට අයත් පිළියන්දල මඩපාත, පින්නවල පාරේ නිවෙස කුලියට ගැනීමේ මුවාවෙන් පැමිණ මහේස්ත්‍රාත්වරයා නිවසේ සිර කර නිල මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා අත්අඩංගුවට ගනිමින් මෝටර් රථය ද සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.
WP KR 2300 අංකය දරන මෝටර් රථය පොලීසිය සොයාගනු ලබන්නේ වත්තල හුණුපිටිය පාරේ නතරකර තිබියදීය. දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු විද්‍යාත්මක විමර්ශනයක් ඔස්සේත් ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේත් කළ දීර්ඝ සහ වෙහෙසකර විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම සැකකරු අවුරුදු 25ක් පමණ වයසැති අයෙකි. අත්අඩංගුවට ගන්නා විට ඔහු තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ වත්තල පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් කුළියට ගෙනය.
මෙම සැකකරු දෙමළ ජාතිකයෙක් වන අතර ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ කතෝලික පාසලකිනි. මෙම සැකකරුගේ පියා රාජ්‍ය බැංකුවක සේවයකර ඇති අයෙක් බවත් සහෝදරයා යුරෝපීය රටක උසස් රැකියාවක නිරතව සිටින්නෙක් බවත් සඳහන්ය.
පියාත් මවත් වෙන්වී ජීවත්වන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මේ තත්ත්වය මත මෙම සැකකරු වත්තල කුලී නිවසේ පදිංචිව සිටිමින් වංචාවන්වල නිරත වෙමින් ජීවත්වීමට පෙළඹී ඇති බව පෙනී ගොස් තිබේ.
සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල ඇති දැන්වීම්වලට අනුව ඔහු කෝටි ගානක වංචාවල නිරතව සිට ඇති බවත් මෙම පුද්ගලයා කළ ඇතැම් වංචා කිරීම් ගැන පැමිණිලි පොලිසිවලට ලැබී නැති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
කුළියට සහ බද්දට නිවාස ලබාදෙන බවට පළවී ඇති පුවත්පත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල දැන්වීම්වලට අනුව නිවාස කුළියට ගැනීමේ මුවාවෙන් ගොස් එම නිවාසවල ඇති වටිනා කියන දේවල් සොරා ගැනීම මොහුගේ පුරුද්දක් බවත් මහේස්ත්‍රාත්වරයාගේ නිවස පවා කුළියට ගැනීමේ මුවාවෙන් එහි ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
එහෙත් එම නිවස හිස් නිවසක් ලෙස පැවැති බැවින් ඔහුට සොරා ගැනීමට තිබී ඇති එකම වටිනා කියන දේ බවට පත්ව ඇත්තේ මෝටර් රථය පමණක් බැවින් සැළසුම් සහගතව මෝටර් රථය සොරාගෙන ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙසේ ඔහු විසින් කළ වංචා කිරීම් ඇතුළු අපරාධ ගොන්නක්ම මේ වන විට හෙළිවෙමින් ඇති බව කියැවෙති.
ඒ සඳහා ඔහු භාවිතකර ඇත්තේ මිය ගිය කාන්තාවකගේ හැදුණුම්පත් පිටපතකට මිලදී ගත් සිම්කාඩ්පතකි. එම කාන්තාව දෙහිවල පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කරයි. එම කාන්තාවට පුතෙක් සිටින බවත් ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවත් හෙළිවී තිබේ.
විනිසුරුවරයාගේ නිල මෝටර් රථය මෙම සැකකරු විසින් පැහැරගනු ලබන්නේ පසුගිය 11 වෙනිදා සවස් කාලයේදීය. මෙම සැකකරු පස්සේ පැන්නීමට පොලීසියට තිබුණු එකම හෝඩුවාව වී තිබුණේ ඔහු මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් දුන් දුරකතන අංකය පමණි.
එම අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී ඔහු මෑත දින කිහිපය තුළ දිගින් දිගටම ඇමතුම් ලබාගත් අංක 11ක් පොලීසිය හඳුනා ගත්තේය. ඒ එක් අංකයක් වූයේ වත්තල කාන්තාවකගේය. එම කාන්තාව ඇය සතුව තිබුණු අමෙරිකානු ඩොලර් 1000ක් අලෙවි කිරීමට දැන්වීමක් පළකර තිබී ඇත. එම ඩොලර් මිලදී ගැනීමේ මුවාවෙන් එම නිවසට ගොස් ඩොලර් කොල්ලකා පළායාම ඔහුගේ සැළසුම වී තිබී ඇත.
එම කාන්තාව ඔහු අතට ඩොලර් ලබානොදීම හේතුවෙන් ඔහුට එම කොල්ලය සිදුකිරීමට නොහැකි වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් මෙම පුද්ගලයාගේ මුහුණුවර හඳුනා ගැනීමට සමත්ව ඇත. ඊට අමතරව ඔහු මොරටුවේද පුද්ගලයකුගෙන් ඒ ආකාරයටම ඩොලර් කොල්ලකෑමට සූදානම් වී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ඒ හැරුණු කොට ජංගම දුරකතන අලෙවි කිරීමට ඇතැයි දැන්වීමකට අනුව තවත් ස්ථානයකට ගොස් ජංගම දුරකතන කොල්ලකෑමක්ද ඇති බව හෙළිවී තිබුණි.
මෙම පුද්ගලයාට දෙමළ සිංහල සහ ඉංශ්‍රීසි භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට හැකි බව පෙනී ගොස් ඇත. මෝටර් රථය පැහැරගැනීමෙන් පසු මෙම සැකකරු මෝටර් රථයේ ඇති වටිනා ලියකියවිලි කිහිපයක් ඇතැයි සඳහන්කරමින් එම ලියකියවිලි ලබාදීමට රුපියල් ලක්ෂ 05ක මුදලක්ද මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් ලබාදී ඉල්ලා තිබේ.
ඒ බව දැනගත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා විසින් මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයෙක් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරු සමඟ දුරකතනයෙන් කථාකරමින් ලක්ෂ පහක මුදල ලක්ෂ 03 දක්වා අඩුකර එම මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංකයක් ඊයේ ඉල්ලා සිට ඇත.
එහිදී ඔහු කෙටි පණිවුඩයක් ඔස්සේ බැංකු ගිණුම් අංකයක්ද ලබාදී තිබේ. එම බැංකු ගිණුම රාජ්‍ය බැංකුවකට අයත් එකකි. එම ගිණුම මෙම සැකකරුගේම ගිණුමක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඊට අනුව ඔහුගේ පදිංචි ස්ථානය ලෙස සටහන්ව තිබී ඇත්තේ හෝමාගම පැත්තේ ලිපිනයකි.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් තිබී ඇත. ඒ අතර වංචා කිරීම් ඇතුළු අපරාධ බොහෝ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ










