පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් 208 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කර තිබෙන නමුත් 17 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කොට නොමැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම පුවත්පත මෙම තොරතුරු ලබාගෙන තිබේ.
තමන් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන්නේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබදව දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇති බව විශ්වාස කරමින්, තොරතුරු කොමිසම විසින්, අදාල තොරතුරු නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කර තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරු 208 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හෙළි කර තිබෙන අතර අදාල තොරතුරු ලබා දී නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17 කි.
තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබදව හෙළිනොකළ මන්ත්‍රීවරු අතර විමල් වීරවංශ – ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහින්දානන්ද අලුත්ගමගේ – රෝහිත අබේගුණවර්ධන – යදාමනී ගුණවර්ධන – ගෙවිදු කුමාරතුංග, එස් වියලේන්ද්‍රන් – පිල්ලෙයාන් – මහින්ද රාජපක්ෂ – කුමාර වෙල්ගම – පියල් නිශාන්ත යන අය සිටිති.
පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල තොරතුරු ලබා ගැනීමට හැකි බව පුවත්පත වාර්තා කරයි.










