පොලිස් නිලධාරීන් පිරිසක් විනිවිදභාවයකින් තොරව සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නිසා පාසල් සිසුවෙකුට උසස් පෙළ විභාගයට මුහුණදීමේ අවස්ථාව අහිමි වී වූ පුවතක් කුරුණෑගල රිදීගම වාගොල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
කුරුණෑගල රිදීගම වාගොල්ල ප්‍රදේශයේ පදිංචි කංචන ප්‍රගීත් ධර්මතිලක කලා විෂය ධාරාවෙන් 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවෙකි.
උසස් පෙළ විභාගයට දින දෙකක් තිබියදී කංචන 2020 ඔක්තෝබර් 11 වැනිදා ගොකරැල්ල පොලිසියේ දූෂණ මර්දන විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කංචනව නිවසින් පිටතට ගෙන්වා ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ බව සැලවීමත් සමග එහි පැමිණි කංචනගේ ඥාතින් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
කෙසේවෙතත්, පොලිසියට රැගෙන ගිය කංචනට සහ තමන්ට අමානුෂික ලෙස පහරදුන් බව අත්අඩංගුවට පත් කංචනගේ මිතුරා පැවසීය.
ගංජා ළඟ තබාගත් බවට අත්අඩංගුවට ගෙන තිබූ එම සිසුවා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ල කරමිනි.
එහිදී කාංචනට මාස දෙකක සිරදඬුවමක නියම කෙරෙන අතර එහෙත් ඔහු තවමත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේය.
සිය පුතුට සාධාරණයක් සොයා තැනින් තැනට යන කංචනගේ අසරණ වූ මව්පියන් මානව හිමිකම් ආයතනයක උපදෙස් ලබාගෙන තිබේ.
ඉන් පසුව ඇය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට ලිපි යොමුකරණු ලබන්නේ තම පුතාට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉල්ලමිනි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන එවක පොලිස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉන් හෙළිවන්නේ, කඩඉම් විභාගයකට පෙනිසිටීමට සූදානම්ව සිටියදී කංචන අත්අඩංගුවට ගැනීම විනිවිදභාවයකින් තොරව සිදුකර ඇති බවය.
ඉන් උසස් පෙළ සිසුවාට අගතියක් වී ඇති බවට ද කොමිසම නිර්දේශ කර තිබුණි.
එසේනම් මෙම සිසුවාට සාධාරණය ඉටු වන්නේ කවදා ද?










