ඉහළ පොලිස් නිලධාරීන්ට තෑගි බෝග ලබාදීමට මුදල් එකතු නොකරන ලෙසට ලබා දී ඇති නියෝග නොතකා මුදල් රැස්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වා එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණයකර තිබේ.
ඒ අනුව බොහෝ විට අද (17) දිනය තුළ එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුවක් පොලිස්පතිවරයා විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ඇත.
පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ පොලිස්පතිවරයා සූම් තාක්ෂණයෙන් ඊයේ (16) පැවති රැස්වීමකදී ද මේ බව සඳහන් කර ඇත.
පොලිස් ස්ථානවල පැවැත්වෙන වාර්ෂිත සහ අර්ධ වාර්ෂික පරීකෂණවලට සහභාගිවීමට පැමිණෙන ඉහළ පොලිස් නිලධාරීන්ට කන්න බොන්න දීමටත් පොලිස් ස්ථාන ලස්සන කිරීමටත් මුදල් එකතු කිරීම්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් සතුටු කිරීමට මුදල් වෞචර් සහ තෑගි ලබාදීමට මුදල් රැස්කිරීම් සහ ස්ථානමාරු වී ඉහළ පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශයකට යන විට ඒ අයට තෑගි දීමට මුදල් එකතු කිරීම් මෙම පොලිස් ස්ථානාධිපතිවරු 94දෙනා කර ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කෙළේය.
මෙම වාර්තාව පොලිස්පතිවරයා අතට පත්කර ඇත්තේ පොලීසියේ බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශය විසිනි. එම බුද්ධි වාර්තාවන්ට අනුව රුපියල් 3000සිට 10,000 දක්වා විවිධ ප්‍රමාාණයන්වලින් පොලිස් ස්ථානාධිපතිවරු තමන් යටතේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් මුදල් එකතුකර ඉහළ නිලධාරීන්ට රුපියල් ලක්ෂ ගණන් වලින් තෑගි ලබා දී ඇති බවද එම බුද්ධි වාර්තාවල ඇති බව කියයි.
ඉතා සුළු වැටුපක් ලබන පොලීසියේ කොස්තාපල්වරු මේ නිසා දැඩි අසහනයකට පත්ව ඇති බවත් ඒ අය පොලිස්පතිවරයාට යොමු කර ඇති පෙත්සම් රැසක් සැළකිල්ලට ගෙන බුද්ධි අංශ යොදා මෙම තොරතුරු සොයා බැලීමක් පොලිස්පතිවරයා කර ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
එම බුද්ධි අංශ වාර්තාවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මෙවර අලුත් අවුරුද්ද වෙනුවට තෑගි බෝග වෙනුවට මුදල් ලබාගෙන ඇති බවත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු සිය පොලීසිවල සේවයේ නිරත නිලධාරීන්ගෙන් රැස්කර රුපියල් ලක්ෂ දෙක තුන ලබාදී ඇති බවත් එම වාර්තාවල සඳහන්ය.
ගයාන් කුමාර වීරසිංහ