අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව රටේ දේශපාලන වශයෙන් විශාල විපර්යාස සිදුවන බවක් පෙනෙන්නට තිබේ. මෙසේ විපර්යාස සිදුවෙනවා නම් පාලකයා වෙනස් විය යුතුමය. අලුත් පාලකයෙක්ට අලුත් බලාපොරොත්තුවක් සහිතව රට නිර්මාණය කළ හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ඇතුළු බොහෝ දෙනෙක් මේ වනතෙක් හොර නම ගාවාගෙන නැත. දූෂණ වංචා ආදියට සම්බන්ධ වීද නැත. ඍජුව හෝ වක්‍රව ඒ අයට එළිපිට හඳුනාගත හැකි ආකාරයේ චෝදනාද නැත. තැන් තැන්වල අගුපිල්වල කතාකරනා දේවල් දේශපාලනයේදී කොහොමත් තිබේ. ඒ නිසා ඒවා දේශපාලනයේදී සත්‍යයද අසත්‍යයද යන්න පිළිබඳ පූර්ව නිගමනවලට එන්නට කලබල විය යුතු නැත. නමුත් ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව දැන් දැන් වෙන්නේ සංදර්ශන වැඩිවීමය. මෙය අපට වෙන විදියකට කියනවා නම් ලංකාවේ කොහොමත් ඔහොමය. දේශපාලකයෙක් ජනාධිපතිවරයෙක් වූ පමණින් අලුත් පාලකයෙක් පත්වූ සැණින් පොඩි පොඩි මෝඩ චූන් රට පුරාම දකින්නට ලැබේ. (Sri Lanka Latest News)
රනිල් වික්‍රමසිංහ මහතා 2001 බලය ලබාගත් කාලයේත් මේ වගේම මෝඩ චූන් රට පුරා අපට දකින්නට ලැබිණි. ආරක්ෂාව සීමා කිරීම් ආදී වූ විවිධාකාරයේ කයි කතන්දර රට පුරා පැතිරී ගියේය. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බෝල්පොයින්ට් පෑනෙන් අස්සන් කර පුදුමාකාර සරල බවක් අපට පෙන්නුවේය. ඒ සරල බව ඉහවහා ගිය සරල බවක් බවට පත්වූයේ ගෙදරින් ගෙනා බත් එකක් කෙහෙල් කොළයක කන පින්තූරයක් සමාජගත වීමෙන් අනතුරුවය. මහ පොළොවෙන් උපන් මෛත්‍රීපාල සිරිසේන ආයෙත් පොළොන්නරුවට යන්නේ කුරුඳුවත්තේ ගේක අයිතිකාරයෙක් වෙලාය. මෛත්‍රීපාල සිරිසේනට තිබෙනා බරපතළ චෝදනාවක් වන්නේ මරණ දඬුවම ලත් පුද්ගලයෙක්ට සල්ලි අරගෙන ජනාධිපති සමාව ලබාදීම වැනි ජඩ, මුග්ධ චෝදනාවක් සමගය. එවැනි චෝදනාවක් තරම් නරක එකක් අප අසා නැත. ඒ තරමටම එය තක්කඩිකමකි. කළා නම් එය බරපතළ වරදකි. දේශපාලකයා පත්වීමෙන් අනතුරුව දැන් මෙවැනි වූ සෙප්පඩවිජ්ජා රට පුරා දක්නට ලැබීම සාමාන්‍ය බවට පත්වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමත් එහෙමය. එතුමා පත්වුණාට පසු අතිශය ආන්දෝලනාත්මක තීන්දු ගත්තේය. ආර්ථික මධ්‍යස්ථානවලට පයින් ගියේය. තැන් තැන්වල ඇවිද්දේය. දේවල් දැක්කේය. බැලුවේය. හෙව්වේය. සද්දේ දැම්මේය. කෘෂිකර්මය සම්බන්ධව පුදුමාකාර රැඩිකල් තීරණ ගත්තේය. අන්තිමට ජනතාවගෙන් කුණුහරුප අසාගෙන ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ ආයෙත් දේශපාලනයට තියා රටටවත් එන්න පුළුවන් තත්ත්වයකින් නොවේ.
දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රටේ විවිධාකාර වෙනස්කම් සිදුකරමින් තිබේ. ජනාධිපති මන්දිරය අසල පාරවල් විවෘත කරයි. ආරක්ෂක කුටි කඩාදමයි. නව විභවයක්, නව පුනරුදයක් කොළඹ දකින්නට ලැබේ. මිනිස්සුන්ට හිතාගන්න බැරි නිදහසක් ලැබෙමින් තිබේ. නමුත් ජනාධිපතිතුමනි රටේ ජනතාවට අවශ්‍ය වන්නේ මේ පාරවල්වල යන්න ඉඩ ලැබීම, නිදහස උදාකර දීම වැනි සරල ජයග්‍රහණ නොවේ. මිනිස්සුන්ට දේශපාලන වශයෙන් ජයග්‍රහණ අවශ්‍යව තිබේ. රට ණය බරකට ඇද දැමූ මුග්ධ පාලකයන්ගෙන් රට බේරාගැනීමට ඔබට මේ රට භාරදුන් බව ඔබ සිහිපත් කළ යුතුය. මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්න තිබේ. අපේ රටේ මනුස්සයෙකුට මෝටර් රථයක් මිලදී ගැනීම සිහිනයකි. තෙල් මිල අහස උසට ගොස් තිබේ. අනෙකුත් යටිතල පහසුකම් සම්බන්ධව ප්‍රශ්නද එසේමය. රටේ මූලික අවශ්‍යතා ටිකටවත් මුදල් නැත. තෙල් පෝලිම් ගෑස් පෝලිම් අරවා මේවා වින්ද, ඒවායේ පරිප්පුව කෑ මහජනතාවට ආයෙත් එවැනි යුගයක් ගැන හිතන්නටවත් පුළුවන්කමක් නැත. ඉතින් ඒ නිසා දේශපාලනික වශයෙන් ජයග්‍රහණයක් බවට පත්වෙන ද්විපාර්ශ්වික සබඳතා ජාත්‍යන්තර වශයෙන් කරන ගනුදෙනු, තානාපති සබඳතා, මූල්‍ය අරමුදල සමග ඉදිරියට කරගෙන යන විශේෂිත කාරණා ගැන ජනතාව දැනුවත් කළ යුතුය. රට සංවර්ධනය කරා ගෙනයන්නට නම් සංවර්ධන ව්‍යාපෘති දියත් විය යුතුය. සංචාරක කර්මාන්තය නගාසිටුවන්නට නම් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් විය යුතුය. මහජනතාවට අවශ්‍ය කරන්නේ මේ මොහොතේ ඇහැට පෙනෙන මෝඩ චූන් නොව, අනාගතය සඳහා ගැළපෙන ආයෝජන ප්‍රවර්ධන, යටිතල පහසුකම් සංවර්ධන, ණය ගෙවීම්, ණය ලැබීම්, ආධාර, ගොඩනැගීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, පරිසර සංවර්ධනය වැනි යහපත් නිශ්චිත නිවැරැදි වැඩපිළිවෙළක් යටතේ සිදුවන ක්‍රියාකාරකම්ය. එසේ නොමැතිව අප විසින් කරනා කිසිදු ක්‍රියාවක තෘප්තිය මිස යථාර්ථවාදී ප්‍රයෝජනයක් මේ මහ පොළොවට ලැබෙන්නේ නැත.
ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වී සතියෙන් දෙකකින් මේ රට සුරපුරයක් කරන්නට බැරි බව සැබෑය. ඒ තරමටම මේ රට අපායක් කළ දේශපාලකයෝ තවමත් මේ රට හැරදා ගොස් නැති නිසාම එසේ දිව්‍ය ලෝකයක් කරන්නට සැරසෙන ඕනෑම කෙනෙක්ව කටු ඉඹුලේ නග්ගන්නට මේ අය පසුබට වෙන්නේද නැත. නමුත් ජනතාවත් මේ හා සමග එකතුව ජනතාවගේත් මගපෙන්වීම සහිතව ජනතාවගේත් නිසි උදව් උපකාර සහිතව මේ රට සංවර්ධනය කරා මෙහෙයවනවා මිස පාරවල් ඇරිල්ලෙන්, අරවා මේවා කිරිල්ලෙන් තැන් තැන්වල ඇවිදිල්ලෙන් වාහන සංදර්ශනවලින් අපට වැඩක් නැත. කුඩය ඇල්ලුවාද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර, එදිනෙදා පහසුකම්, මාර්ග පද්ධතිය, ප්‍රවාහන පහසුකම් ආදිය සංවර්ධනය කිරීමය. දැන් අපි ජනාධිපතිවරයා ගැන පුදුම හිතන්නේ ‘අනේ බලන්නකෝ කෝට් දාන්නේ නෑ, යට කරලා අඳිනවා, අත් නවනවා, පොකට් ෂර්ට් අඳිනවා, කැබ් එකේ යන්නේ, කුඩේ අල්ලන්න එපා කියනවා, දොර තනියම අරිනවා, ජනාධිපති මන්දිරේ ඉස්සරහා පාර ඇරලා, මුර කුටි කඩලා’ වැනි සරල කාරණා නිසා නම් ජනාධිපතිවරයකුගේ හොඳ නරක මැනිය හැක්කේ මේවායින් නොවන බව රටේ පොදු මහජනතාව අවබෝධ කරගනිත්වා.

ජීවන පහන් තිළිණ










