සින්නක්කරව එක පවුලක් රට ලියාගෙන මුලු රටම කොල්ල කෑ බවත් වසර දෙකක් රටම අනුගමනය කළේ රාජපක්ෂවාදය සහ පවුල් වාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අලුත් නූතනවාදී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගෙන ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ පිරිසක් හමු වූහ. ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලින් සාතිශය බහුතරයකට සමගි ජන බලවේගයත් සමඟි ජන සන්ධානයත් එකඟ බව පැවසූ විපක්ෂ නායකතුමා මේ කතිකාවත පුළුල්ව දියත් කිරීම උදෙසා විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයෙහි “මහලේකම් කාර්යාලයක් ගොඩනැගීමටත් මීට අවශ්‍ය සම්පත් පහසුකම් ලබා දීමටත් විපක්ෂ නායකතුමා එකඟ විය.
සම්මුතිවාදය තුළින් රට ගොඩනැගිය යුතු බව කී විපක්ෂ නායකතුමා එයින් මෙහා රට ගොඩනැගීමට මගක් නැතැයිද කීය.
අද පවත්නා ආර්ථික කඩා වැඩීමට දේශපාලන හේතු බලපා ඇති බවත් රට ගොඩනැගීම උදෙසා බලවත් ශක්තිමත් ප්රතිසංස්කරණයක් සිදුවිය යුතු බව කී විපක්ෂ නායකතුමා ජාතිවාදය වගවාදය, අන්තවාදය, කුලවාදය, ආගම්වාදය බැහැර කළයුතු බවත් ප්රගතිශීලී ප්රබුද්ධ ගමනක් ආරම්භ කළයුතු බවත් පැවසීය.
ප්රතිගාමී අදහස් වලින් බැහැරව ප්රබුද්ධ අදහස් වලින් සන්නද්ධව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා අද මෙරට මේ තරම් අගාධයකට වැටුණේ ඒකාධිපතිවාදය නිසා බවද පැවසීය.
ආණ්ඩුව විසින් වසර දෙක හමාරක් තිස්සේ රටේ දියත් කරනු ලැබූ අසාර්ථක පාලනය හේතුවෙන් 225ම එපා යනුවෙන් මතවාදයක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,එහෙත් එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන බව ද පැවසීය.























