පසුගිය සතියේ කොළඹ දේශපාලනය උණුසුම් වෙද්දී පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සිටියේ මේ උණුසුමෙන් මිදී කන්ද උඩරට සීතලේය. හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් සතියේ පැවැති අතර එහි මනාලයාගේ පාර්ශ්වයෙන් අස්සන් කිරීම භාරව සිටියේ බැසිල්ය. ඒ නිසා බැසිල් සිය බිරිය වූ පුෂ්පාද සමග පසුගිය සෙනසුරාදා දින නුවරට ගියේ දින කිහිපයක් එහි විවේක සුවයෙන් ගතකොට විවාහ උත්සවයටද සහභාගි වීම සඳහාය. බැසිල් සිය විවේකය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ හන්තානට ආසන්න මනරම් බංගලාවකි. ඒ අනුව බැසිල් එම දින කිහිපය තමන්ට අතිශය සමීප තවත් හිතවතුන් දෙදෙනෙක්ද සමග විවේකයෙන් ගතකරනු දැකගන්නට ලැබිණි.
චාල්ස් නාට්‍යය පිටිපස්සේ බැසිල් හිටියද?
කෙසේ වෙතත් හන්තානේ සිටි දින කිහිපය තුළ ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධ නොවුණත්, බැසිල් ලොකු දේශපාලන සැලසුමක් සකස් කළ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව හන්තානේ සිටම කොළඹ සිටි ප්‍රබල දේශපාලන චරිත කිහිපයකටම බැසිල් ඇමතුම් ලබාදුන් ආකාරයක්ද දැකගන්නට ලැබිණි. සමහරු සැක කරන්නේ මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මිය ඉවත් කිරීම පසුපසද බැසිල්ගේ සෙවනැල්ලක් වැටී ඇති බවකි. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණ වී නොමැත.










