පළාත් සභා ජන්ද විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර තිබූ පත්‍රිකාව අද (05) දිනයේදී ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජාවට ගෙන ඇති අතර එහිදීද ඊට දැඩි විරෝධය පළව ඇති බව දැනගන්නට ඇත.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වී සිට නැතත් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන් ඊට සහභාගී වී ඇති බව පැවසේ.
මෙහිදී වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසක් යෝජනාවේ තිබූ එක් කොට්ඨාසයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැති බවට වූ වගන්නතියට දැඩි විරෝධය පළ කර ඇති බව දැනගන්නට තිබේ.
මෙම කැබිනට් පත්‍රිකාව ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් දැඩිව විරෝධය පළ කිරීම හේතුකොටගෙන ජනාධිපතිවරයා පවසා සිටියේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා ලෙසටය.
ඒ අනුව අද පැවැති පක්ෂ නායක රැස්වීමේදීද ඊට දැඩි විරෝධය පළවීමෙන් පසු එම යෝජනාව අතහැර දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.










