පසුගිය දිනවල රුපියල් ශක්තිමත් වූ බවට ආණ්ඩුව ගෙන ගිය ප්රචාරයට පදනම සපයා ඇත්තේ මහ බැංකුව කෘතීම ලෙස විදේශ විනිමය වෙළඳපොළට බලපෑම් කිරීම බව ආර්ථික විශේෂඥයින් හෙළි කර තිබේ.
මේ අතරින් ප්‍රබල හෙළි කිරීමක් සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන විසිනි.
ඒ මහතා රුපියල ඉහළ යාම පිළිබදවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවීමට නියමිත ණය මුදල පිළිබදවත් අදහස් දක්වා තිබුණේ මෙසේය.
ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළ ගියේ කෘත්‍රිම ලෙස එය පාලනය කිරීමට තැත් කිරීම නිසාය. ආණ්ඩුවට වුවමනා වී තිබුණේ තම ප්‍රතිපත්ති සාර්ථක බව පෙන්වා රුපියලේ වටිනාකම ද ක්‍රමයෙන් ඉහළ යන බව ලෝකයට ප්‍රදර්ශනය කිරීමටය.
මූලික ආර්ථික සිද්ධාන්තවලට අනුකූල නොවුණත් රුපියලේ වටිනාකම ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළේ කෘත්‍රිම ලෙසය. එය අවාසිදායක බව මහ බැංකුවට තේරුණේ පසුවය.
භාණ්ඩ ආනයනය කරන පුද්ගලයන්ටත් පිටරටවලින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ලබාගන්නා පුද්ගලයන්ටත් වාසි වුණත් රටට ඩොලර් ගෙනෙන අපනයනකරුවන්ට පිටරටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණෙන සංචාරකයන්ට එය අවාසිය. එවිට අපට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වෙයි. ඒ බව තේරුම්ගත් පසුව මහ බැංකුව කළේ වෙළෙඳ පොළට මැදිහත් වී වෙළෙඳ පොළට වැඩිපුර නිකුත් කර තිබූ ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීමය. එමගින් රුපියලේ වටිනාකම ඉහළයාම වළක්වා රුපියලේ වටිනාකම යළිත් පහත වැටීමට සැලැස් වූයේ මහ බැංකුවය.
මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ නැග ඇතැයි කියන කතාව අසත්‍යයකි. ඇත්තටම තිබෙන්නේ බිලියන 2.2ක් තරම් ප්රමාණයකි. ඉන් බිලියන 1.5ක්ම මුදල් හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10කි. ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ චීනයෙන් බඩු මිලදී ගැනීමට පමණකි. අනෙක් අතට ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ ලංකාෙව් විදේශ සංචිත ප්‍රමාණය මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් වූ පසුවය. එය චීන කොන්දේසියකි. ඒ නිසා ඒ යුවාන් සංචිතවලට එකතු කිරීම නුසුදුසුය. එහෙත් මහ බැංකුව කියන බිලියන 2.2 ට ඒ යුවාන් ද එකතු කර තිබේ.
ඒ චීන යුවාන් බිලියන 10 අඩු කළ විට මහ බැංකුව සතුව තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 700ක් වෙයි. ඒ මිලියන 700 ඇතුළෙහිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත තිබේ. ඒවා අපට පාවිච්චි කළ නොහැකිය. එසේම රත්තරන් සංචිත ද පාවිච්චි කළ නොහැකිය. ඒ අනුව අපට පාවිච්චි කළ හැකි සැබෑ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් පමණ වෙයි. චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 සංචිතවලට ඇතුළත් කිරීම රටේ ජනතාව නොමඟ යැවීමකි. එහෙයින් ඒ වරද නිවැරැදි කළ යුතුය.
දැන් ලංකාව තමන් ගත් විදේශ ණය වාරික හෝ පොලිය නොගෙවයි. ණය වාරික හා පොලිය ගෙවීම යළි ආරම්භ කළ දාක ලංකාව යළික් අමාරුවේ වැටෙයි. දැඩි සීමා කිරීම්වලට යන්නට යළිත් සිදුවෙයි. සලාක ක්‍රමය යටතේ ඉන්ධන සැපයීමට සිදුවෙයි. රටින් භාණ්ඩ ආනයනය කිරීම තවත් සීමා කිරීමට සිදුවෙයි. සලාක හා පාලන ක්‍රම යළි පනවන්නට සිදුවෙයි. සියල්ලෙන් පෙනී යන්නේ අනාගතය ඉතා අඳුරුසහගත බවය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.
එළැඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ලංකාවට සහන සලසන සැලැස්මට අනුමැතිය ලැබුණොත් අපටත් රටටත් සුළු සහනයක් සැලසෙයි. එහෙයින් ඒ අනුමැතිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එහෙත් එපමණකින් රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළියම් නොලැබෙන බව ආණ්ඩු කරන, කරවන කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය. ආර්ථිකය යළි ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන යාන්ත්රණවලට ඔක්සිජන් සැපයීමෙනි. එහෙත් ඒ සඳහා වූ වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් තවමත් ඉදිරිපත් වී නැත.”