ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනාකර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා පල වී ඇත.
එම තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
- ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (Sri Lanka Telecom PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
- එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
- ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
- එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
- මෙතෙක් කලක් එසේ ටෙලිකොම් පී එල් සී වෙතින් භාණ්ඩාගාරයට ලැබුණු ආදායම මින් ඉදිරියට ලබාගන්නා ආකාරය මේ සභාවට පැහැදිලි කරන්නේ ද?
- එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
- මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි ද?
- රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින ලංකා හොස්පිටල්ස් පීඑල්සී (Lanka Hospitals PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
- එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
- ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
- එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
- එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
- මලයාසියාවේ කහ්සානා මොඩලය (Khazanah Nasional Berhad) සහ සිංගප්පූරු තමසෙක් මොඩලය (Temasek Holdings Limited) වැනි රාජ්‍ය වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් (Sovereign Wealth Fund Management) තුළින් රාජ්‍ය හිමිකාරීත්වය දරන ව්‍යවසායයන් (SOEs) ලාභදායී ලෙසත් රටට හිතකර ආයෝජන අවස්ථා ඇති කරන ආකාරයෙනුත් සංවර්ධනය කිරීමට රජය උත්සාහ නොකරන්නේ මන්ද? එසේ කරන්නේ නම් එම වැඩසටහන හෙලි කරන්නේ ද?
- රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයට සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය හෝ වෙනත් ආර්ථික විශේෂඥයින්, උපදේශකයින් සතුව ඇති එකම ක්‍රමෝපාය රාජ්‍ය වත්කම් විකිණීම පමණක්ම ද?