IMF සල්ලි එනවා! චීනය අලුත් කොන්දේසියක් දමයි!
නැග්නා නැග්නා කියපු රුපියලට අන්තිමට වෙච්ච දේ!
මහලොකුවට කෑගහපු 13ට මොකද වුණේ!
රාජපක්ෂ පවුලේ ආයෙමත් අර්බූදයක්!
අවුරුද්දට කලින් ආණ්ඩුව තියන්න ගිය මහා මංගල්ලය!
ආණ්ඩුව මේ වන විට සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීමට ප්‍රථම විශාල මංගල්ලයක් ආකාරයෙන් තවත් මහා උත්සවයක් සැමරීමට සැලසුම් කරමින් සිටින ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ. ඒ, වෙන කිසිවක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබා දීමට නියමිත ණය මුදල සම්බන්ධයෙන් අනුමැතිය ලැබෙන බවට වූ පුවතය. ඒ අනුව එම මංගල්‍යය සැමරීමට ප්‍රථම තවත් විවිධ සිදුවීම් රැසක්ම එම මංගල්‍යයේ පූර්ව සිදුවීම් ලෙස ප්‍රචාරය කරන්නටද ආණ්ඩුව පියවර ගෙන තිබිණි.
නැග්ගා නැග්ගා නැග්ගා…!
ඉන් එකක් වූයේ රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය කඩා වැටී රුපියල ශක්තිමත් මුදල් ඒකකයක් බවට පත්වෙමින් ඇති බව රටට පෙන්වීමය. ඒ අනුව පසුගිය සතිය ආරම්භයේ සිටම ආණ්ඩුවට සම්බන්ධ සියලුම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඒකාබද්ධව දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් රුපියල ශක්තිමත් වීම ආරම්භ වී ඇති බවත්, ඒ හරහා රටේ ආර්ථිකය යළි ශක්තිමත් වෙමින් ඇති බවත් දිවා රෑ නොබලමින් ප්‍රචාරය කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ ප්‍රචාරය කොතෙක් දැඩිව සිදුවූවාද කියනවා නම් ඇත්ත වශයෙන්ම රටේ අතිබහුතරයක් ජනතාව මේ ප්රචාරයට හසුව ඊට රැවැටී රුපියල යළි නැගිටීමට පටන්ගෙන ඇති බවට රැවටුණේය. ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙන බවට රැවටුණේය. ඇත්තම කියනවා නම් ජනතාව මේ ප්රචාරයට රැවැටුණා නොව, ඊට මූලිකත්වය ගත් මාධ්‍ය විසින් ජනතාව නැවත වතාවක් රැවැට්ටුවා කිවහොත් එය නිවැරැදිය. මන්ද, මෙවරද ජනතාව රැවැට්ටීමට පෙරමුණ ගත්තේ එදා 2019දී රටේ ජනතාවට නයි පෙන්වමින් ගෝඨාභය බලයට ගෙන ඒමට ජනතාව රැවැට්ටූ මාධ්‍යමය. මෙවර ඊට ජනාධිපතිවරයාගේ මාමාට අයත් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් ජාලයද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මේ සියලු මාධ්‍ය එකතුව ආණ්ඩුවේ මහා මංගල්‍යයට පෙරමඟ සකස් කරමින් රුපියල ශක්තිමත් වී රට ස්වයංපෝෂිත වන බවට දිගින් දිගටම පුවත් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
අපි නම් නැග්ග එක ගැන මුල සිටම ඇත්ත කිව්වා!
නමුත් 2019දී මෙන්ම මෙවරද ‘මව්රට’ පුවත්පත සහ ‘මව්රට’ වෙබ් අඩවිය දිගින් දිගටම ජනතාවට සත්‍ය අනාවරණ කරමින් කියා සිටියේ ආණ්ඩුව කියන ආකාරයට රුපියල ශක්තිමත් නොවන බවත්, ඉතා නුදුරේදීම රුපියල දරුණු කඩාවැටීමකට ලක්වීමට නියමිත බවත්ය. අප කළ එම අනාවරණය තහවුරු කරමින් පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රකට වෙබ් අඩවියක් වූ ෆිච් රේටිංග්ස් ආයතනයද විශේෂ පුවතක් පළකරමින් රුපියලේ අගය කඩාවැටීම පිළිබඳ විශේෂ පුරෝකථනයක් සිදුකර තිබිණි. ඒ බව අප www.mawratanews.lk වෙබ් අඩවිය පළ කළේ මේ ආකාරයටය.
ෆිච් කියපු කතාව!
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීම පිළිබද බලාපොරොත්තු මධ්‍යයේ වසරේ මුල් කාර්තුව තුළ ඉහළ ශක්තිමත් භාවයක් අත්කරගෙන තිබෙන ශ්‍රී ලංකා රුපියල, වසර අවසානය වන විට නැවත බිඳ වැටෙනු ඇති බවට ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම නුදුරේදීම අනුමත විය හැකි වුවද, ආර්ථික අර්බුදය සහ පළාත් පාලන මැතිවරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගනු ලබන එකඟතා මත රැඳී සිටීමට බාධාකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසයි.
වසර අවසන් වන විට ඩොලරයක වටිනාකම රුපියල් 390ක් දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් රේටිංග්ස් ආයතනය අනුමාන කර තිබේ.’
ජනතාවත් ආයෙ රැවටුණා!
මේ ආකාරයට අප රුපියල නැවත වැටෙන බව අනාවරණ කරමින් ෆිච් රේටිංග්ස් ආයතනය පවා පුරෝකථනය කළ තොරතුරු වාර්තා කළත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරණයට ගිනිකන වැටී සිටි බොහෝ දෙනා කියා සිටියේ එය සම්පූර්ණ අසත්‍යයක් යැයි කියාය. ඔවුන් කීවේ රුපියලේ නැගීම සහ ආර්ථිකයේ නැගීම පිළිගත නොහැකි පිරිස් විසින් මෙවැනි මඩ අවලාද ප්‍රචාරය කරනවා යැයි කියාය. ෆිච් රේටිංග්ස් ආයතනයට පිස්සු යැයි කියාය.
කියපු විදහටම කඩන් වැටෙන්න ගත්තා!
නමුත් අප කළ අනාවරණය සහ ෆිච් රේටිංග්ස් කළ පුරෝකථනය 100%ක්ම සාර්ථක බව පෙන්වමින් දින කිහිපයක් යෑමට මත්තෙන් යළි රුපියලේ කඩාවැටීම ආරම්භ විය. පරණ පුරුදු ආකාරයටම ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ යන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව අතේ පැළවෙන බොරු ප්‍රචාරය කරමින් ජනතාව රැවැට්ටූ නයි මාධ්‍යත්, ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන්ට අයත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් ජාලයත් වැල්ලේ ඔළුව සඟවාගත් පැස්බරුන් සේ මුල් පුවතට දුන් තරමේ ප්‍රචාරයක් නොමැතිව උඩින් පල්ලෙන් මේ පුවත පළකරන ආකාරයක් දැකගත හැකි විය.
නමුත් ගැටලුව ඇත්තේ ජනතාව රැවැට්ටීම සඳහා මෙසේ පුවත් පළකිරීම නොව, රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන දේශපාලන කටයුතු සඳහා අවභාවිත කිරීමය. අප එසේ කියන්නේ රුපියල කෘත්‍රිමව ඉහළ නැංවීමට තීන්දු කළේ කවුරුන්ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට මතුව ඇති නිසාය. එම තීන්දුව මහ බැංකුව විසින් ගත්තාද, එසේම නැත්නම් දේශපාලන අධිකාරිය විසින් එම තීන්දුව ගත්තාද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ විවාදයකි. කෙසේ වෙතත් මෙසේ රුපියල හදිසියේම ඉහළ නැගීමට බලපා තිබුණේ පසුගිය දිනෙක ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමය. ඒ ඔස්සේ රුපියල ඉහළ නැගීම සිදුව තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබූ කොන්දේසි අනුව ඉදිරියේදී රුපියල පා කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඒ අනුව බොහෝ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී රුපියල තවදුරටත් කඩා වැටීමේ අවදානමක් මතුවනු අතැයි කියාය.
IMF සල්ලි අනුමතයි!
කෙසේ වෙතත් රුපියල සම්බන්ධයෙන් වූ මෙම තොරතුර වාර්තා කළ ආකාරයටම අප, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පිළිබඳවද තවත් විශේෂ අනාවරණයක් මෙවර ‘රාජ්‍ය රහස්’ පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ය. එම තොරතුර වන්නේ මෙම මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය ලබාදීම අනුමත කිරීමට සූදානම් සිටින බවත්, එහි පළමු පියවර වශයෙන් මුල් වාරිකය වූ ඩොලර් මිලියන 350ක මුදල නිදහස් කිරීමට සැලසුම් කොට ඇති බවත්ය. එය බොහෝ දුරට ණය මුදලට අනුමැතිය ලබාදුන් බව ප්‍රකාශයට පත්කොට දින දෙක තුනක් ඇතුළත ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.
මාධ්‍ය ආයෙමත් ගහපු අලි බොරුව!
කෙසේ වෙතත් මෙම ණය මුදල සම්බන්ධයෙන් මේ වන විට මෙරට මාධ්‍ය විසින් තවත් විශාල බොරුවක්ද සමාජගත කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, මූල්‍ය අරමුදලේ මෙම පළමු වාරිකය ලංකාවට ලැබුණු පසු රටේ සියලු ප්‍රශ්න විසඳෙන ‘වෙද පප්පාගේ මැජික් අරිෂ්ටය’ ලැබුණා හා සමාන අයුරින් මෙය උලුප්පා දැක්වීමට පියවර ගෙන තිබීමය. බොහෝ මාධ්‍ය මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයන්ද මේ වන විට මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු සැණින් ජපානයෙන් ඩොලර් බිලියන 2ක ණය මුදලකුත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 4ක ණය මුදලකුත් ලංකාවට ලැබීමට නියමිතව ඇති බවත්, ඉන් පසු ලංකාවේ සියලු ප්‍රශ්න විසඳෙනු ඇති බවත්ය.
රනිල් එද්දිත් මේ විදිහටම කිව්වා!
මේ ආකාරයේම මහා බොරුවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමට පෙර සිටම එජාප ප්‍රධානීන් විසින් ප්‍රචාරය කරමින් තිබිණි. එහිදී ඔවුන් කියා සිටියේ රනිල් රටේ අගමැති වී පැය 48ක් ඇතුළත ජපානයෙන් ඩොලර් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බවත්, තවත් රටවල් ගණනාවක්ම ලංකාවට මුදල් ලබාදීමට සූදානමින් සිටින බවත්ය. නමුත් ‘මව්රට’ පුවත්පත මෙන්ම අප වෙබ් අඩවියද ඒ මොහොතේදී පෙන්වා දී තිබුණේ එජාප නායකයන් කියන ආකාරයට රනිල් බලයට පත්වූවා යැයි කියා ලංකාවට ඩොලර් නොලැබෙන බවය. අප කී එම පුවත සනාත කරමින් රනිල් බලයට පත්වී මේ වන විට මාස 09ක කාලයක් ඉක්ම ගොස් ඇතත්, තවමත් ජපානයෙන් එකදු ඩොලරයක් හෝ ලංකාවට ලැබී නැත. සිදුවූ එකම දේ වූයේ ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කර තිබූ දැවැන්ත ජපන් සමාගම් වූ මිට්සුබිෂී, තායිසෙයි වැනි ලොව ප්‍රකට සමාගම්ද ලංකාව හැර යෑම පමණි.
දැන් තමයි භයානකම කොටස පටන් ගන්නේ! මාස 6න් සමාලෝචනයක්!
ඒ ආකාරයටම යමින් මේ වතාවේදීද අප රටේ සිටින මාධ්‍ය නාඩගම්කාරයන් මේ දිනවල කියමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු සැණින් ලෝකය වටෙන්ම ඩොලර් වැසි ලංකාවට වසින්නට නියමිතව ඇතැයි කියාය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන්ද මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය සම්බන්ධයෙන් සුවිශේෂ අනාවරණයක් කිරීමට සූදානම්ය. ඒ, මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලංකාවට ලබාදී මාස 06ක කාලයක් ඇතුළත සිදුකිරීමට නියමිත පළමු සමාලෝචනය (රිවීව්) පිළිබඳවය. මෙම සමාලෝනය සිදුකිරීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් දෙවැනි සතියේදීය. ඇත්ත වශයෙන්ම මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලබාගැනීම සඳහා ලංකාව විසින් සපුරා තිබුණේ පළමු අදියරේ වන සුළු සුළු කොන්දේසි රැසක් පමණි. මෙහි බරපතළම කරුණු කාරණා ඇතුළත් වන්නේ දෙවැනි අදියරේදීය. එනම්, පළමු වාරිකය ලබාගැනීමෙන් පසුව එළැඹෙන මාස 06 තුළදී ලංකා ආණ්ඩුවට ඉටුකිරීමට සිදුවන බරපතළ කොන්දේසි රැසක් තිබේ.
ණයහිමියොත් එක්ක සාකච්ඡා පටන් ගන්න!
ඉන් පළමුවැන්න වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කිරීමය. මෙහිදී දැනට ලංකාවේ ණය හිමි ප්‍රධාන රටවල් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවට වූ ලිපිය පමණි. ඒ අනුව පළමු ණය වාරිකය නිදහස් කිරීමෙන් අනතුරුව මෙම ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය පිළිබඳ ඒ සියලු රටවල් සමග සාකච්ඡා ආරම්භ කළ යුතුව තිබේ. මෙහිදී බරපතළම ගැටලුව වී ඇත්තේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ විටදීය. මන්ද යත් අනෙක් සියලු රටවල් කාලසීමාවක් නොදක්වා ලංකාවේ ණය ප්‍රතිව්‍යුගත කිරීමට එකඟතාව පළකොට ඇතත්, චීනය සිය ලිපිය මගින් මූල්‍ය අරමුදලට දැනුම් දී ඇත්තේ වසර දෙකක කාලයකට සඳහා පමණක් ණය ප්‍රතිව්‍යුහත කිරීමට තමන් එකඟ බවකි. ඒ අනුව චීනය සූදානම් වන්නේ මෙම සාකච්ඡාවලදී තම ස්ථාවරයට ලංකාවට ණය දී ඇති අනෙකුත් ණය හිමි රටවල්ද එකතු කරගැනීමටය. නමුත් අනෙක් රටවල් සූදානමින් සිටින්නේ තමන්ගේ ස්ථාවරයට චීනයද ඈඳා ගැනීමටය.
චීනයෙන් දාන්න යන කොන්දේසිය!
කෙසේ වෙතත් අප ඉකුත් සතියේදී චීනය මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින කොන්දේසියක් පිළිබඳ විශේෂ අනාවරණයක් කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් චීනයට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට කියන්නට ප්‍රථම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යනාදී ආයතන විසින් විවිධ රටවලට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්වන ලෙසටය. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා සිතන තරම් සරල සහ පහසු නොවනු ඇත.
දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියයිද?
නමුත් මෙහිදී බරපතළම කාරණය වන්නේ මෙය නොවේ. අපට ඇති තොරතුරුවලට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාවේ ණය හිමියන් මෙම සාකච්ඡාවලදී තවත් බරපතළ කොන්දේසියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ. එහිදී ඔවුන් සූදානමින් සිටින්නේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්වන ලෙසටය. සාකච්ඡාවලදී ඉදිරිපත් වනු ඇති බවට අනුමාන කළ හැකි බරපතළම කොන්දේසිය වී ඇත්තේ මෙම කොන්දේසියය. එවිට සිදුවන්නේ භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් යනාදිය මගින් ලංකා ආණ්ඩුව මෙරට බැංකු පද්ධතියෙන් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කර පෙන්වීමටය. මෙරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ එවැනි කොන්දේසියක් ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම ආණ්ඩුව මෙරට බැංකු පද්ධතියෙන් ලබාගෙන ඇති ණයවලින් 20%ක පමණ ප්‍රමාණයක් එකවර කපාහැරීමට සිදුවනු ඇති බවකි. එය රුපියල් බිලියන ගණනක මුදලක් වන නිසා එවැනි කපාහැරීමක් සිදුකිරීමට ආණ්ඩුවට සිදුවුවහොත් බැංකු පද්ධතිය තුළ බරපතළ අස්ථාවරභාවයක් මතුවීමේ අවදානමක් මතුවිය හැකි බව එම ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
අර්ථසාධක අරමුදලත් අමාරුවේ වැටෙයිද?
අනෙක් අතට ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගෙන ඇති බිලියන ගණනක ණයද මේ හරහා කපාහැරීමේ අවදානමක් මතුවන බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ. එසේ වුවහොත් සේවක අර්ථසාධක අරමුදලද පත්වන්නේ බරපතළ අර්බුදයකටය. ඒ අනුව මෙම කොන්දේසි ඉටුකිරීමට හැකිවනු ඇද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. මේවා නොකළහොත් පළමු මාස හය ඉක්ම යෑමෙන් අනතුරුව මූල්‍ය අරමුදල විසින් සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත සමාලෝචනයේදී දෙවැනි වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවනු නොඅනුමානය. ඒ අනුව ලබන 20 වැනිදායින් පසුව එළැඹෙන්නේ ලංකාවට සැමරිය යුතු කාලසීමාවක් නොව, ඉතා අසීරුවෙන් යුතුව ගත කළ යුතු කාලපරිච්ඡේදයකි. මේ බව අප දැන් තියාම රටට අනාවරණ කරන්නේ ආණ්ඩුව සහ ඇතැම් මාධ්‍ය නටන නාඩගම් හේතුකොට ගෙන රටේ ජනතාවද මෙය ඉතා සැහැල්ලුවෙන් ගෙන උත්සව පැවැත්වීමට සූදානමින් සිටින බවට ලැබී ඇති තොරතුරු මුල් කරගෙනය. එසේත් නැතිනම් මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණාට පසු ඔක්කොම හරි යැයි කියමින් උත්සව පවත්වමින් බාල් නැටීමට සූදානමින් සිටින මාධ්‍ය නාඩගම්කාරයන්ට සිහි කැඳවනු පිණිසය. වරක් මාධ්‍ය නැටූ නාඩගම් හේතුකොට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ජනතාව රැවැටී මුළු රටම බංකොලොත් වන තැනට වැටීමෙන් සිදුවූ විනාශය නැවත වතාවක් රටට සිදු නොවනු පිණිසය.
චීනෙට කතා කරගන්න බැරිවෙයි!
අනෙක් අතට චීන ලියුම ලැබීම මුල් කරගෙන මූල්‍ය අරමුදලේ සාකච්ඡා ඉදිරියට ගියද එම ලිපියේ වසර දෙකක කාලසීමාව සටහන්ව තිබීම බරපතළ අර්බුදයකට මුලපුරන්නක් බව පසුගිය සතියේද අප මෙම තීරුවේ තොරතුරු වාර්තා කර සිටියෙමු. ආණ්ඩුවද මේ බව නොදන්නවා නොවේ. මේ නිසා ආණ්ඩුවද පසුගිය සති දෙක තුන පුරාම චීන බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ ගත් බවද අපි සඳහන් කර සිටියෙමු. විශේෂයෙන් ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හට දුරකතන ඇමතුමක් ලබාදීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ ගෙන තිබුණද පසුගිය සතිය වන තුරුම එම උත්සාහය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නැත. කෙසේ වෙතත් ලබන හය මාසය තුළ මෙම සාකච්ඡා සාර්ථක කොට ගෙන මාස හයේ සමාලෝචනයට පෙර ගැටලු විසඳා නොගතහොත් තත්ත්වය බොහෝ බරපතළ වනු ඇත.
ඉන්දියාවට යයිද?
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා හට ඉන්දියාවට පැමිණෙන ලෙස මේ වන විට ආරාධනා ලැබී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ ජනාධිපති මූල්‍ය අරමුදලේ ණය මුදල් ලංකාවට හිමිවීමෙන් පසු මාර්තු අවසන් සතියේදී පමණ ඉන්දියාව බලා පිටත්ව යෑමටය. එම ඉන්දීය සංචාරය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර දේශපාලනය තුලනය කරමින් ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇත්තේ චීනයේද සංචාරයක නිරත වීමටය. නමුත් තවමත් චීනය පැත්තෙන් ඒ පිළිබඳ සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොතිබීම හේතුකොට ගෙන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයද මේ වන විට ඇත්තේ වැට උඩය.
කිව්වේ නම් ඡන්දෙ තියන්නෙම නෑ කියලා!
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා මුලින් සැලසුම් කර තිබුණේ කුමන බලපෑම් පැමිණියද පළාත් පාලන මැතිවරණය කිසිසේත්ම නොපවත්වා ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වා ඉන් අනතුරුව මහ මැතිවරණයත්, ඊටත් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්ය. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ කටින්ම අවස්ථා ගණනාවකදීම මේ බව එළියට ආ අතර, ඔවුන් මුදල් නොමැතිකම ඉදිරියට දමමින් කියා සිටියේ මාර්තුවේ හෝ අප්‍රේල්වල පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත්ය. මේ බව අපිද පසුගිය අවස්ථාවකදී ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
ජාත්‍යන්තර බලපෑම දැඩි වෙයි!
කෙසේ වෙතත් ආණ්ඩුව මැතිවරණ සිතියම ඒ ආකාරයෙන් දිගහැරීමට සැලසුම් කර තිබුණද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවවත්, ආණ්ඩුවේ ප්රධානීන්වත් නොසිතූ පරිදි ජාත්‍යන්තර බලපෑමක් වර්ධනය වෙමින් පවතින ආකාරය පසුගිය සතිය වන විට නිල වශයෙන් දැකගන්නට ලැබිණි. එය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබීමද විශේෂ සිදුවීමක් විය.
ජුලී චන්ග් කෙළින්ම කියයි!
මින් ප්‍රධානම සිදුවීම වාර්තා වූයේ පසුගිය සතියේ නීති ක්ෂේත්රයේ ඉහළම පිරිස් සහභාගි වෙමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයේදීය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෙරට ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියද සහභාගි වී සිටියාය. එහිදී ඇය ඉතා ආන්දෝලනාත්මක කතාවක් සිදුකළ අතර, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බවත්, පළාත් පාලන මැතිවරණය නියමිත ආකාරයට පැවැත්විය යුතු බවත් ඇය එහිදී අවධාරණය කර සිටියාය.
IMF එකටත් බලපායිද?
මීට අමතරව සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමේදී දේශපාලන න්යායපත්රවලට අනුගත නොවුණද ප්රජාතන්ත්රවාදී පැවැත්ම පිළිබඳ අවධානයෙන් පසුවීම සිදුකරනු ලබයි. ඒ අනුව මූල්‍ය අරමුදලේ මාස හයේ සමාලෝචන කාලසීමාව ඇතුළත මැතිවරණ කල්දැමීම සිදුකරමින් ප්රජාතන්ත්ර විරෝධී ආකාරයට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට අහිතකර ලෙස බලපෑම වැළැක්විය නොහැකිය. එම නිසා එකී කාලසීමාව ඉතා ප්‍රවේශමෙන් පසුකිරීම ආණ්ඩුවේ වගකීමකි.
මීට අමතරව ජාත්‍යන්තරයේ වෙනත් ප්‍රබල රටවල් රැසක්ද මේ වන විට විවිධ ක්‍රම මගින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනටමත් දැනුම්දීම් කර ඇති ආකාරයක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
අගෝස්තුවේ ඡන්දය තියන්නම වෙනවා!
මෙම පසුබිම යටතේ ලබන වසර දක්වා කල්දැමීමට සූදානමින් සිටින පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ මේ වසරේ පැවැත්වීමට සිදුවන තැනට ප්‍රබල පීඩනයක් ජාත්‍යන්තරයෙන් එල්ල වෙමින් ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ඉතා වගකීමෙන් යුතුව සඳහන් කර සිටින්නේ කුමන උපක්‍රම යෙදුවද ආණ්ඩුවට ඉදිරි මාස කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියත වශයෙන්ම සිදුවන බවය. ජනාධිපතිවරයාද මේ තත්ත්වය නොදන්නවා නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා සිය සැලසුම් වෙනස් කරමින් මේ වන විට තීන්දු කොට ඇත්තේ කෙසේ හෝ ලබන අගෝස්තු දක්වා පළාත් පාලන මැතිවරණය කල් දමාගෙන අගෝස්තුවේ එය පවත්වන්නටය. ඒ බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ජාත්‍යන්තර බලවේගවලට දැනුම් දීමට දැනටමත් පියවර ගෙන ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.
එච්චර දුරවත් යන්න පුලුවන් වෙයිද?
කෙසේ වෙතත් ගැටලුව ඇත්තේ ජනාධිපතිවරයාට අගෝස්තු දක්වා හෝ පළාත් පාලන මැතිවරණ්‍ය ඇදගෙන යා හැකි වේද යන්න සම්බන්ධයෙනි. දැනටමත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සලසන ලෙසට අධිකරණය මගින් තීන්දු 2ක් ලබාදී අවසානය. මැතිවරණ කොමිසමද සූදානමින් සිටින්නේ අනෙකුත් ආයතනවලින් අවශ්‍ය සහාය ලැබෙන්නේ නම් නියමිත දිනට මැතිවරණය පැවැත්වීමටය. අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළහොත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ මුක්තියක් ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණද අනෙකුත් නිලධාරීන්ට එවැනි මුක්තියක් හිමිව නොමැති නිසා විපක්ෂය සූදානමින් සිටින්නේ මෙම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු වැළක් පැවරීමටය.
පාර්ලිමේන්තුවෙන් අධිකරණයට ගිය ලියුම!
මීට අමතරව ආණ්ඩුව ඡන්දය කල්දැමීමට තවත් උපායයන් කිහිපයක්ම ක්‍රියාත්මක කොට ඇති ආකාරයක්ද මේ වන විට දැකගන්නට තිබේ. ඉන් ප්‍රධාන එකක් වන්නේ අධිකරණ නියෝගය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව කියමින් අධිකරණ විනිසුරුවරුන් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කිරීමට දරන උත්සාහයය. මීට අදාළ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන ප්‍රේමනාත් දොළවත්තත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී විපක්ෂය අවධාරණය කර කියා සිටියේ මේ හරහා ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බවත්, විනිසුරුවරුන් බියවැද්දීමට කටයුතු කරමින් සිටින බවත්, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. මීට අමතරව පසුගිය බ්‍රහස්පතිනදා දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව විසින් දැනටමත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දුන් නියෝගය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපියක් යොමුකොට ඇති බවය.
දේශප්‍රිය ගහන්න යන ගේම!
එමෙන්ම පසුගිය සතියේදීද අප පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය හරහාද පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ එක් මෙහෙයුමක් ආණ්ඩුව විසින් දියත් කර ඇති බවකි. ජනාධිපතිවරයා විසින් අලුත් සීමා නිර්ණය කිරීමේ කොමිසමක් පත්කොට එහි සභාපති ධුරය මහින්ද දේශප්‍රියට බාරදුන්නේත්, විශ්‍රාම ගොස් තිබුණද මහින්ද දේශප්‍රිය විසින් මැතිවරණ කොමිසමේ සභාපති ධුරය සඳහා නැවත වතාවක් අයැදුම්පතක් යොමු කරන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙසටය.
සජිත් මල්වතු අස්ගිරි නාහිමිවරුන් දැනුවත් කරයි!
ආණ්ඩුව මේ ආකාරයට මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමට සැලසුම් සකස් කරද්දී විපක්ෂයද නිකන් සිටියේ නැත. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියම ගත කළේ මැතිවරණය නියමිත දිනට පවත්වා ගැනීම සඳහා කළ යුතු නීතිමය කටයුතු මෙන්ම අනෙකුත් කටයුතු පිළිබඳවද පක්ෂය සමග සංවාදයක නිරත වෙමිනි. ඒ අනුව විපක්ෂ නායකවරයා පසුගිය සතිය ආරම්භයේදීම මහනුවර බලා පිටත්ව ගියේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් මුණගැසී ආණ්ඩුව සිදුකරන මෙම ප්රජාතන්ත්ර විරෝධී කූඨ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. පසුගිය කාලයේදී සිදුවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මුල් කරගෙන මල්වතු මහා නාහිමියන් දේශපාලනඥයන් මුණගැසීම තාවකාලිකව අත්හිටුවා තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දෙවතාවක් ඔහුගේ ඉල්ලීම මත හමුවීම සඳහා වේලාවන් ලබාදීමට උන්වහන්සේ පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සඳහා කාලය වෙන් කිරීමටද මල්වතු මහා නාහිමියෝ පියවර ගත්හ. ඒ අනුව මෙම සාකච්ඡාවේදී මල්වතු නාහිමියන්ට සහ අස්ගිරි නාහිමියන්ට වෙන වෙනම ආණ්ඩුව සිදුකරන මෙම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාදාමය සහ ඉන් ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට සජිත් පියවර ගත්තේය. එහිදී උභයපාර්ශ්වීය මහා නාහිමිවරුන් කියා සිටියේ තමන්ද මෙම අදහස් දැක්වීම පිළිගන්නා බවයි. ඒ අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේලා සජිත්ට දැනුම් දී සිටියහ.
සජිත් රහස රකියි!
කෙසේ වෙතත් මහා නාහිමිවරුන් විසින් කරන ලද මෙම දැනුම්දීම සජිත් විසින් කිසිම තැනක දී කිසිවකුටත් හෙළි නොකිරීමට වගබලාගනු ලැබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත නිවේදනයක් නිකුත් කරන ලද අතර, ඉන් දැක්වුණේ පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි කියාය. කෙසේ වෙතත් ‘මව්රට’ වෙබ් අඩවිය පමණක් මහා නාහිමියන්ගේ නිවේදනයේ ඇතුළත්ව තිබූ මැතිවරණය සම්බන්ධ එම කොටස රටට අනාවරණ කිරීමට පියවර ගත් නමුත් අනෙකුත් සියලු මාධ්‍ය එම කොටස අතහැර ලිපියේ තිබූ වෙනත් කරුණු සඳහා ප්‍රසිද්ධියක් ලබාදීම විශේෂ සිදුවීමක් විය.
කාදිනල් හිමිපාණනුත් සටනට පිවිසෙයි!
මහා නාහිමිවරුන්ට අමතරව පසුගිය සතියේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුව වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව අවධාරණය කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී උන්වහන්සේ කියා සිටියේ ආණ්ඩුව ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතින් උල්ලංඝනය කිරීමට කටයුතු නොකළ යුතු බවත්, නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය. එමෙන්ම වරප්‍රසාද ප්‍රශ්න මතුකරමින් ආණ්ඩුව අධිකරණයට බලපෑම් කිරීමට සූදානම් වීමද උන්වහන්සේගේ බරපතළ විවේචනයට ලක්වූ කාරණයක් විය.
සබ්රි ඉන්දියාවට ගියාම වෙච්ච අවුල!
මීට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවේ නවදිල්ලි නුවර ජී-20 සමුළුවට අයත් රාජ්‍ය නායකයන්ගේ විශේෂ සමුළුවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ විදේශ අමාත්‍ය අලි සබි්ර මහතාය. මෙම අවස්ථාව ලංකාවට වඩාත් වැදගත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරයකු ඉන්දියාවට යන ප්‍රථම අවස්ථාව එය වීම නිසාය. එම නිසා සබි්‍රද එම සාකච්ඡාවට සහභාගි වූයේ ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සමුළුවේදී එළිදැක්වීමේ අරමුණ ඇතිවය.
සබ්රි එද්දී මිලින්ද නෑ!
නමුත් සබි්‍රට නවදිල්ලියට ගොඩබසිද්දීම ලැබුණේ එතරම් යහපත් අත්දැකීමක් නොවේ. සාමාන්‍යයෙන් රටක විදේශ අමාත්‍යවරයකු වෙනත් රටකට යන්නේ නම් එරට සිටින එම රට නියෝජනය කරන තානාපතිවරයා පැමිණ, විදේශ අමාත්‍යවරයාව පිළිගැනීම සාමාන්‍ය සම්ප්රදායය. ඒ අනුව, සබි්‍රද නවදිල්ලියෙන් ගොඩබසිද්දී සිතා සිටියේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි ගුවන් තොටුපළට පැමිණ සිටිනු ඇතැයි කියාය. නමුත් සිදුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. මිලින්ද වෙනුවට සබි්රව පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියේ මහකොමසාරිස් කාර්යාලයේ වෙනත් කණිෂ්ඨ නිලධාරියෙකි. ඒ අනුව කළ සොයාබැලීමකදී සබි්‍රට දැනගන්නට ලැබුණේ ජී-20 වැනි විශේෂ සමුළුවක් නවදිල්ලියේ පවතිද්දී මිලින්ද ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇතැයි කියාය. ඒ අනුව සබි්‍රට ගුවන් තොටුපළේදී මුහුණ දීමට සිදුවූයේ විශාල අපහසුතාවකටය.
මොනවා කරන්නද?
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයේ තොරතුරු පැතිර යද්දී බොහෝ රාජ්‍යතාන්ත්‍රිකයන් සබි්‍රට කතාකොට මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා, ඒ පිළිබඳ ජනාධිපතිවරයාට පැමිණිලි කරන ලෙසට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එහිදී ඒ සියලු දෙනාට සබි්ර කියා සිටියේ එකම පිළිතුරකි.
‘ඒ කතාව නම් ඇත්ත. ‘බට් වට් ටු ඩූ? මට කනගාටු මේකෙන් මට වෙච්ච ප්‍රශ්නෙ නෙවෙයි, රටට වෙච්ච හානිය ගැනයි….’ යන්න එහිදී සබි්ර දී තිබූ පිළිතුර විය.
13ට වෙච්ච දේ!
මේ අතර පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්රය උඩු යටිකුරු කළ තවත් මාතෘකාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. මෙය මහත් ආන්දෝලනාත්මක එකක් වූයේ ජනාධිපතිවරයා හදිසියේම නිදහස් දිනට පළමුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට උතුරු නැගෙනහිරට බලතල ලබාදීමට පියවර ගන්නා බවට කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව දකුණේ යම් යම් විරෝධතා මතුවුවත් ජනාධිපතිවරයා ඒ කිසිත් නොසලකා දෙමළ ජාතික සන්ධානය සමග කොළඹදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට මේ බව දැනුම් දීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව හැමෝම සිතා සිටියේ මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා උතුරට ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය.
රහස් සාකච්ඡාවක්!
කෙසේ වෙතත් පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට ජනාධිපතිවරයාට අමතරව සහභාගි වී සිටියේ අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, අලි සබි්ර යන කැබිනට් ඇමැතිවරුන්ය. මෙහිදී සාකච්ඡා වූයේ ආණ්ඩුව ඉන්දියාවටද පොරොන්දු වී ඇති පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ සාකච්ඡාවේදී විජයදාස රාජපක්ෂ මහතාත්, අලි සබි්ර මහතාත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට අනුමැතිය ලබා දෙමින් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. නමුත් දිනේෂ් සහ ප්‍රසන්න ඊට එරෙහිව අදහස් දක්වමින් මේ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළ යුතු නැති බවත්, ඒ හරහා නැති ප්‍රශ්නයක් රට ඇතුළේ මතුවිය හැකි බවත් පෙන්වා දී ඇති බව ආරංචිය. ජනාධිපතිවරයාද ඒ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ස්ථාවරයේ සිට අදහස් දක්වා නොමැති බවක් දැනගන්නට ඇත. ඒ අනුව අවසානයේදී නිරායාසයෙන්ම එම සාකච්ඡාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු තැනට ඇදීගොස් ඇති ආකාරයක්ද වාර්තා වේ. ඒ අනුව එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කී විජයදාස සහ අලි සබි්‍රද අවසානයේදී කට වහගත්තේ වැඩේ නොවන තැනට වැඩ සිද්ධ වී ඇති බව තේරුම් ගැනීම නිසාය. මහා ඝෝෂාවක් නගමින් මතුවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව හිටිහැටියේම අතුරුදන් වී ගියේ මෙම සාකච්ඡාවෙන් පසුවය.
රාජපක්ෂ පවුලේ යළි අර්බූදයක්!
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රාජපක්ෂ පවුල යළි ඒකාබද්ධ වූ ආකාරයත්, ඒ හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයේ පිහිටුවීමේ සටන ආරම්භ කළ ආකාරයත් අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ එම මෙහෙයුමේ පළමු රැස්වීම මොනරාගලින් පැවැත්වීමට තීරණය කළ බවත්, එහි සංවිධාන කටයුතු රාජපක්ෂ පවුලේම ප්රමුඛ නියෝජිතයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත භාරදී ඇති බවත්ය. කෙසේවෙතත් බැසිල් ශෂීන්ද්‍ර වෙත මෙම රැස්වීම සංවිධාන කිරීමේ වගකීම භාරදුන්නේ ආවාට ගියාට නොව, ඒ පිළිබඳ හොඳින් කිරා මැන බලා කළ තේරීමකට අනුවය. බැසිල්ගේ ගණන් බැලීමට අනුව රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස අභිෂේක ගැන්වීමට තීන්දු කොට ඇත්තේ වෙන කවුරුවත් නොව ශෂීන්ද්‍ර රාජපක්ෂය. මහින්දගෙන් කෙසේ වෙතත් ඊට ශිරන්තිගේ සහ නාමල්ගේ වැඩි කැමැත්තක් නොමැති බව දැනටමත් ප්‍රකාශ වී ඇති කරුණකි. ශිරන්තිගේ ඉලක්කය වී ඇත්තේ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන ප්‍රබලයා ලෙස නාමල් අභිෂේක ගැන්වීමය.
ශෂීන්ද්‍ර එළියට එයි! නාමල් ඇතුළට යයි!
කෙසේ වෙතත් තමන්ට භාරදුන් මෙහෙයුම තිතටම අවසන් කරමින් ශෂීන්ද්‍ර පසුගිය සතියේදී මහින්දව යළි අගමැති කිරීමේ සටන අරඹමින් මොනරාගල රැලිය සඳහා විශාල ජනකායක් ගෙන්වීමට පියවර ගෙන තිබිණි. ඇත්ත වශයෙන්ම මොනරාගල රැලිය මෑත කාලයේදී පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි පොහොට්ටුවේ සාර්ථක වූ එකම රැස්වීම විය. කෙසේ වෙතත් මෙහිදී කැපී පෙනෙනම සිදුවීම වූයේ මහින්ද ඊට පැමිණියද නාමල් ඊට සහභාගි නොවී තිබීමය. ඒ අනුව නැවත වටයකින් රාජපක්ෂ පවුල ඇතුළේ ඇති අර්බුදය මොනරාගල රැලිය හරහා එළියට පැමිණ ඇති ආකාරයක් දැකගත හැකි විය.
මහින්ද පොහොට්ටුව යළි අතට ගනී!
මේ අතර පසුගිය කාලය පුරාම අයාලේ ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යළිත් එක මිටකට ගැනීමේ මෙහෙයුමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව මහින්ද සැලසුම් කර ඇත්තේ මින් ඉදිරියට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිය නිල නිවෙස වූ විජේරාමේ පිහිටි නිවෙසේ පැවැත්වීමටය. පසුගිය කාලයේදී කෝටි ගණනක් වැයකර මෙම නිවෙස අලුත්වැඩියා කෙරුණු අතර, මන්ත්‍රීවරුන් විශාල පිරිසකට සහභාගි විය හැකි පරිදි අලුත්ම ශාලාවක්ද එහි ඉදිකොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මහින්ද මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ අලුතෙන් ඉදිකළ ශාලාවේය. මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ලෙස 95 දෙනකු පාර්ලිමේන්තුවේ සිටියද ඉන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා සමග කටයුතු කරන නිසා තවත් සැලකිය යුතු ප්‍රමාණයක් එහාමෙහා විය හැකි බව රාජපක්ෂවරුන්ගේ ගණන් හැදීම වී තිබේ. කෙසේ වෙතත් මේ සියලු දෙනාම එකතු කොට ගෙන ලබන මැයි, ජුනි මාස වන විට පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම රාජපක්ෂවරුන්ගේ අරමුණ වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ආණ්ඩුවේ ඉන්න සුපිරි මන්ත්‍රී!
ආණ්ඩුව ඇතුළේ මේ වන විට සුපිරි මන්ත්‍රීවරු කණ්ඩායමක් බිහිව ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ මන්ත්‍රීවරුන් තමන්ට හිතවත් පුද්ගලයන් ඇමැතිවරුන් බවට පත්කොට, ඒ ඇමැතිවරුන්ටත් වඩා සුපිරි ජීවිත ගතකරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට යන්නේ එවැනි එක් සුපිරි ජීවිතයක් ගතකරන මන්ත්‍රීවරයකු පිළිබඳවය. මේ මන්ත්‍රීවරයා මේ දිනවල ජීවත් වන්නේ කොළඹ හදවතේ පිහිටා ඇති ඉතා සුපිරි පන්නයේ හෝටලයක සුඛෝපභෝගී නිවාස ඒකකයකය. මෙම සුපිරි හෝටලයටද විශේෂ ඉතිහාසයක් තිබේ. මේ සුපිරි හෝටලය නිර්මාණය වන්නේ පසුගිය රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේදීය. එම හෝටලය ඉදිකිරීමට ඉඩම ලබාදීම සම්බන්ධයෙන්ද එකල මහත් ආන්දෝලනයක් මතුව තිබිණි.
ඒ අනුව එකල ප්‍රබල රාජපක්ෂවරයකු මෙම හෝටලයේ පිහිටා ඇති නිවාස ඒකකයේ දිගු කාලයක් නවාතැන් ගෙන සිටි ආකාරයක්ද, සිය රාජකාරි කටයුතු පවා එම කාමරය තුළ සිදුකළ අකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම මේ හෝටලයේ දේශීය හිමිකරුවා වශයෙන් සැලකෙන කුප්‍රකට ව්‍යාපාරිකයාද රාජපක්ෂවරුන් සමග අතිශය සමීප අයකු ලෙස සැලකුණද රාජපක්ෂවරුන්ගේ දේශපාලන ඇදවැටීමත් සමග මේ වනවිට වත්මන් ආණ්ඩුව සමගද ඩීල් දමාගෙන සිටින අයකු ලෙස සැලකේ.
තරුණායටත් ගාඩ් එකක්!
කෙසේ වෙතත් මේ දිනවල එම හෝටලයේ නිවාස ඒකකයේ සුපිරි ජීවිතයක් ගතකරන ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තවත් විශේෂ කතාබහක්ද දේශපාලන ක්ෂේත්රයේ පැතිර යමින් තිබේ. ඒ, මෙම සුපිරි මන්ත්‍රීවරයා මෙම සුපිරි හෝටලයේ සිට ඊට ආසන්නයේ ඇති තවත් සුපිරි හෝටලයක නිවාස ඒකකයකට නිතර නිතර යන එන සිද්ධියක් පිළිබඳවය. මෙම ගමනේදී මෙම මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටින ආරක්ෂකයන් හය දෙනකු එම නිවාස ඒකකයේ පදිංචිව සිටින තරුණයකු හට ආරක්ෂාව සලසමින් එහා මෙහා ගමන් කරන ආකාරයක් දැකගන්නට ලැබී තිබේ. ඇතැම් අවස්ථාවලදී එම තරුණයා හෝටලයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත ගමන් කරන්නේද මෙම සුපිරි මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයන් හයදෙනා පිරිවරාගෙන බවද බොහෝ දෙනකුට දැකගන්නට ලැබී තිබේ. ඒ අනුව එම සිදුවීම මේ දිනවල ආණ්ඩුවේ තැන් තැන්වල තළුමරමින් රසවිඳින පුවතක් බවට පත්ව ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.